උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසංස්කෘතික

බැතිබර ලෝ බොදුනුවන්ගේ ඒ අසිරිමත් දිනය අද යි !

දුරලමු පව්කම් - වඩලමු ගුණ දම්! වෙසක් පුන් පෝදා සකල ලක් වැස්සෝ අදිටන් කර ගනිත්වා!!!

සම්මා සම්බුදු මහරජාණන් වහන්සේ මේ පොළෝ තලයේ ජන්මලාභය දිනුවේ අද වන් වෙසක් පුර පසළොස්වක් පෝ දිනෙක ය. සිදුහත් කුුමාරෝත්පත්තිය මෙන් ම උන්වහන්සේ බුද්ධත්වය ලැබීම මෙන් ම පරිනිර්වාණය ද සිදුවූයේ වෙසක් පොදා ය. ඒ තෙමඟුල අනුස්මරණය කරමින් ලෝ වැසි බොදුනුවෝ ඉමහත් භක්තියකින් සැදැහයකින් යුතුව අද දිනය සැමරීම මහත් උත්කර්ෂයෙන් ස්මරණය කිරීම දුරාතීතයේ පටන් ම ඉටු කිරීමෙහි ලා සැදී පැහැද සිටිති.

මේ අසිරිමත් තෙමඟුල මෙන් ම අද දවසේ සිදුවූ තවත් සිද්ධි සමූහයක් ගැන වංශ කතාවේ සඳහන් ය.

 බුද්ධත්වයෙන් පසු අප මහා සර්වඥයන් වහන්සේ ශුද්ධෝදන මහ රජතුමාගේ ඉල්ලීම ප්‍රකාරව කිඹුල්වත් නුවරට වැඩමවා වදාළ අවස්ථාවේ මානයෙන් පිම්ඹී හුන් දී ශාක්‍යයන් ඉදිරියේ යමාමහ පෙළහර පා ඔවුන්ගේ මානය දුරු කිරීම ද වෙසක් පොදා වූ සිදුවීමකි. 

තථාගතයාණන් වහන්සේ තෙවැනි වරට හෙළදිව් හි පාද ස්පර්ශයෙන් පාරිශුද්ධ කරන ලද්දේ ද අව වන් දිනකය. ඒ උන්වහන්සේ ගේ  කැළණියට වැඩමවා වදාරමිනි. 

 එමෙන්ම ම  සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන්  සමනල කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීම ද වෙසක් පොදා දිනෙක සිදුවූ බව ඉතිහාසයේ දැක්වේ. 

 හෙළ රජ දරුවන් ස්වකීය රාජභිාෂ්කය සිදු කරන ලද්දේ ද වෙසක් පෝය පදනම් කර ගෙන  බව ද කියැවේ. 

සිදුහත් කුමාරෝත්පත්තිය සිදුවූයේ කිතු උපතට වසර 624 කට පෙර (ක්‍රි.පූ.624 දී) ය.  උත්තර භාරතයේ (උතුරු ඉන්දියාවේ) ලුම්බිණි ග්‍රාමයේ සල් උයනක දී යැයි බෞද්ධ පොතපතේ සඳහන් වේ.  ඒ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක දී ය.

සිද්ධාර්ථ කුමරුවාණන්ගේ මව්පියෝ, ශාක්‍ය වංශික සුද්ධෝදන රජතුමා හා මහාමායා දේවීන් වහන්සේ වූහ.  උන්වහන්සේ ඉපිද සතියකින් මෑණියන් වහන්සේ, මහාමායා දේවිය,  දිවංගත වූ තැන් පටන් කිරිකැටි බිළිඳු කුමරුුුුුු වාණන් පෝෂණය කර, හදාවඩා රැකබලා ගත්තේ මහාමායා දේවියගේ සහෝදරිය වූ  මහා ප්‍රජාපතී ගෝතමින් වහන්‌සේ විසිනි.

කුමරුවාණන් ගේ නම්තැබීමේ මංගල්‍යයට සපැමිණිනි බ්‍රාහ්මණයෝ දේහ ලක්ෂණ හා තත්කාල හෝරා ආදී දේ අනුව බලා මේ කුමරා දිනෙක ලෝකයට අර්ථයක් සිද්ධ කරන බව දැක සිද්ධාර්ථ යන නාමය  යෝජනා කළහ. එතැන් පටන් මේ පින්වත් කුමරා සිද්ධාර්ථ කුමාරයා ‌ලෙ හැඳින්විණි.

මේ කුමරා යම් දිනක ගිහිගෙය හැර ගොස් ආධ්‍යාත්මික දිවියක් ගත  කරනා බව නැකැතියන් විසින් කළ ප්‍රකාශය  ශුද්ධෝන පිය රජාණෝ  දැඩි සේ විශ්වාස කළහ. සිය පුතණුවන් ගිහිගෙයි රඳවා ගැනීමට අවශ්‍ය සියල්ල එතුමෝ   සූදානම් කළහ.  අවට ලෝකය දැකීමට කුමරාට අවස්ථාවක් නො දීම පිණිස මාළිගා භූමිය තුළ සියල්ල සම්පාදනය කළේ ය. එවක උත්තර භාරතයේ සිටි උසස් ම බමුණු ගුරුවරයෙකු වූ, සර්වමිත්‍ර නම් බමුණා මාළිගයට ගෙන්වා, කුමරාට ශිල්ප ලබා පිය රජතුමෝ සූදානම් කළහ.

පුරාණ භාරතීය සිරිතට අනුව සොළොස් හැවිරිදි වූ වහා කුමරුවාණන් ගේ සරණ මංගල්‍යය ද සිදු විය . ඒ කෝලිය වාංශික යශෝධරා නම් කුමාරිය යි.

බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන්නේ, සිද්ධාර්ථ කුමාරයාගේ සරණ මංගල්‍යය දිනයේ ම, නව මාළිගයකට පිවිසීමත්, රාජාභිෂේකයත් යන අවස්ථා ත්‍රිත්වය ම, උදා කර දීමට සුද්ධෝදන රජු කටයුතු කළ බවකි. දහසය දහසක් ස්ත්‍රියන් සහිත අන්තඃපුරයක් ද, කුමරු උදෙසා වූ බව ද ඉතිහාසයේ දැක්වේ. 

 දිනක් උද්‍යාන ක්‍රීඩාවට කුමරුවාණන් යන අතරතුර දී දුටු සතර පූර්ව නිමිත්තක් නිසා ගිහි ගෙය කළකිරුණු එතුම‌ා එතැන් පටන් ජීවිතයේ සත්‍ය සොයා යෑමේ බලවත් ආශාවකින් පසු විය.

 මේ සත්‍යය නො දකින මිනිසා සසර සැරිසරමින් අනන්ත දුක් පීඩා විඳිමින් සිටින බව කුමරුහු දුටුව හ. මිනිසත් බව ලැබීමේ මුඛ්‍ය පරමාර්ථය නොදැක, කා බී සතුටු වීමෙන් පමණක්, සෑහී නිස්සාර දිවියක් ගත කරන ආකාරයත් අවසානයේ දුකට පත්ව පසුතැවෙන ආකාරයත් දුටුව හ. මේ සියල්ලන් වෙනුවෙන් සත්‍ය සොයා ගොස් ඒ සත්‍යය මේ සසරේ දැවෙන,තැවෙන මිනිසුන්ට ද අවබෝධ කොට දීමේ අවශ්‍යතාවයක් උන්වහන්සේ තුළ ඇති විය. එහෙත් මේ සියල්ල සැලසුම් කරන අතරේ උන්වහන්සේට තවත් පණිවිඩයක් ලැබුණි. සිය බිරිඳ කුලුඳුල් දරුවා ප්‍රසූත කළ බවයි. මේ වනාහි සිය අරමුණ වෙත යාමේ දී යළි යළිත් සිතා බැලිය යුතු කාරණාවකි. දරුවා සමග බිරිඳ තනිකොට දමා යෑම උත්තම මිනිස් ක්‍රියාවක් නො වේ. එහෙත් තමා මේ ගමන නො ගොස් සිටීමෙන් සෙත සැලසෙන්නේ සිය පවුලේ සාමාජිකයන්ට ම පමණි. ඒ ද තාවකාලික සතුටක් පමණි.

            එහෙත් තමා මේ ගමන ගියහොත් සකල ලෝ වැස්සන්ට ම සදාකාලික සුවයක් අත් වන වග වග ද දුටහ. ඒ අනුව පියෙකුට, ස්වාමි පුරුෂයෙකුට ගත හැකි ඉතා ම අපහසු තීරණයට උන්වහන්සේ පිළිපන් හ. සකල ලෝ වැස්සන් වෙනුවෙන් සිය පෞද්ගලික සුව පහසුව,සතුට,තනතුරු ඇතුළු සියල්ල අත්හැර අභිනිෂ්ක්‍රමණය කිරීමට තීරණය කළහ. හිසකෙස් මුඩු කොට කසාවතින් සැරසී ආරණ්‍යගත වුණු උන්වහන්සේ ජීවිතයේ,සංසාරයේ සත්‍යය සොයා භාර්ගව,ආලාරකාලාම,උද්දකාරාම පුත්ත ආදී නොයෙක් ගුරුවරුන් වෙත ගිය හ. එහෙත් ඒ කිසිවෙකුත් මේ පිළිබඳ සත්‍ය අවබෝධයකින් පසු නො වන බව අවබෝධ කරගත් උන්වහන්සේ තනිව ම සිය ගමන යෑමට තීරණය කළ හ. ඊට අනුව ශරීරයට අධික දුක් දෙමින් අත්තකිලමථානුයෝගය අත්හදා බලන්නට තීරණය කළ හ. නිසි අහරක් නො ගෙන, සියලු සුඛ විහරණයන්ගෙන් ඈත් වී පුරා සය වසරක් මේ මගෙහි ගිය උන්වහන්සේ ඉන් පලක් නො වන වග දැන පසුව නව මගක් පිළිබඳ අවධානය යොමු කළ හ. පුරා නව විසි වසක් උපරිම සුඛ විහරණය කර අවබෝධ කර ගත නොහැකි වූ සත්‍යය, පුරා සය වසක් දුක්විඳ අවබෝධ කර ගැනීමට නො හැකි වූ සත්‍යය මැදි මගෙහි ගොස් අවබෝධ කර ගන්නට උන් වහන්ස් තීරණය කළ හ. ඊට අනුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ උන් වහන්සේ නේරංජනා නදී තීරයේ ගයා ශීර්ෂයේ ඇසතු බෝ රුකක් සෙවණේ දී උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කර ගත්හ.

            බෞද්ධ ජනයා සිතන පරිදි ඒ වනාහි මිනිසෙකුට අත්කරගත හැකි, උත්තරීතරම බුද්ධි තත්ත්වය යි. ඒ සිදුවන්නේ කිතු උපතට වසර 588 කට පමණ පෙර වෙසක් පුන් පොහෝ දිනක ය. එතැන් පටන් පන්සාළික් වසරක් පුරා ලෝ වැස්සන් වෙනුවෙන් ම කැප වූ, අපගේ සම්‍යාක් සම්බුදු බුදුරජාණන් වහන්සේ අසූ වසරක් ආයු සැප ලබා, ආයු සංස්කාරය කර අද වන් දොහක පිරිනිවන් පා වදාළ සේක. ඒ මල්ල රට කුසිනාරා නම් නුවර උපවත්තන නම් සල් වනයේ දී ය. ඒ කිතු උපතින් වසර 423 කට පූර්වයෙනි.

වෙසක් පුණ්‍යමහෝත්සවය සේ බෞද්ධයන් වන අප සමරන්නේ බුදුරජාණන් වහන්සේ ගේ මේ තෙමඟුල යි. මෙය විශාඛ මහෝත්සවය ලෙස ද, වෛශාක්‍ය මංගල්‍යය ලෙස ද  බොදුනුවෝ හඳුන්වත්.

වෙසක් උත්සවයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. එය පැරණි භාරතයේ පවා සැමරූ බව පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවෙන් පෙනෙයි. ලංකාවේ ද ක්‍රි. පූ. දෙ වන ශතකයේ දී පමණ පවා මේ උත්සවය සැමරූ බව මහාවංසයේ සඳහන් වේ.

හෙළදිවට විවිධ කාලවල දී පෙර අපර දෙ දිගින්, එල්ල කෙරුණු විදේශ ආක්‍රමණ අවස්ථාවල දී, රාජ්‍ය මට්ටමේ උත්සවයක් ලෙස පැවත්වීමට නොහැකි වුව ද ලක් වැසි බෞද්ධයෝ  හැකි අයුරින් වෙසක් උළෙල සැමරූ හ.

 ක්‍රි. පූ. දෙවන ශතකයේ ලංකාව පාලනය කළ දුටුගැමුණු මහ රජතුමා වෙසක් උත්සව 24 ක් ද, භාතිය රජු වෙසක් උත්සව 28 ක් ද, වසභ රජු වෙසක් උත්සව 44 ක් ද, පවත්වා ඇත. මීට අමතරව වෝහාරතිස්ස රජු, ජෙට්ඨතිස්ස රජු, දළමුගලන් රජු, දෙවන සේන රජු ආදීහූ වෙසක් උත්සව පැවත්වීම සම්බන්ධයෙන් විශේෂයෙන් ප්‍රසිද්ධ වූහ.

පොළොන්නරු යුගයේ විසූ මහා පරාක්‍රමබාහු රජු වෙසක් උත්සවයට විශේෂ රාජකීය අනුග්‍රහයක් ලබා දුන්හ. දඹදෙණි යුගයේ විසූ පණ්ඩිත පරාක්‍රමබාහු රජු පැවත්වූ වෙසක් උත්සවයක් පිළිබඳව පූජාවලියේ විස්තර වේ.

            බටහිර ජාතීන් ලංකාව පාලනය කළ සමයේ වෙසක් උත්සවයට මහත් බාධා පැමිණුනි.

ක්‍රි.ව.1770 දී විශේෂ පනතක් මගින් ලන්දේසීන් වෙසක් උත්සවය මෙරට රජයේ නිවාඩු දිනයක් නො වන බව ප්‍රකාශයට පත් කළ හ. එකල ආණ්ඩුකාර විලියම් ෆැල්ක් මේ සමයේ බුදුසමය තදින් ම මර්දනය කිරීමේ නිරත විය.

1815 දී උඩරට ගිවිසුමෙන් බුදුදහම ආරක්ෂා කරන බවට සුදු පාලකයන් එකඟ වුවත් එය හුදු වැකියක් පමණක් ම විය.

1848 නිදහස් අරගලයට පසු ඔවුන් ඒ මත දමා බුදු සසුන පිළිබඳ වගකීමෙන් ක්‍රමයෙන් නිදහස් වී කිතු දහම ප්‍රචාරය කිරීමේ නිරත වූ හ.

1873 ජුනි 12 දින පානදුර වෙස්ලියන් දේවස්ථානයේ එවක දේවගැතිවරයා වූ දාවිත් සිල්වා විසින් බුදුදහම අසත්‍ය මිථ්‍ය ආගමක් සේ හැඳින්වීමේ සිද්ධියෙන් ඇරඹි වාද මාලාවෙන් බෞද්ධයන් ජය ගැනීමෙන් පසු එහි වාර්තා කියවූ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා හා බ්ලැවට්ස්කි මැතිණිය මෙරටට පැමිණිය හ. ඕල්කට් තුමා එවක යටත්විජිත භාර ලේකම් වරයා වූ ඩර්බිසාමිවරයා හා සාකච්ඡා කර වෙසක් පොහොය දිනය ලංකාවේ රාජ්‍ය නිවාඩු දිනයක් බවට පත් කළේ ය.

ඊට අනුව 1885 මාර්තු 27 දින ගෝඩ්න් ආණ්ඩුකරු විසින් වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් බවට නිල වශයෙන් ප්‍රකාශ කළේ ය.

1886 අංක 4 දරන ආඥා පනතින් මේ නිවාඩු දිනය නීතිමය වශයෙන් තහවුරු කරන ලදී. වෙසක් දිනය යළි නිවාඩු දිනයක් බවට පත් කරන්නට ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා කටයුතු කළ සේ 1999 වර්ෂයේ දී දමිළ ජාතික ලක්ෂ්මන් කදිරගාමර් මහතා වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කරන්නට මහත් වෙහෙසක් ගෙන කටයුතු කළේ ය. ඒ මහතාගේ කැපවීම අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2000 වසරේ සිට වෙසක් පොහෝ දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බව ප්‍රකාශයට පත් කළ හ.

ලෝ වැසි බොදු දනන් වෙසක් උත්සවය සමරන්නේ අරුත්සුන් ප්‍රීති උත්සවයක් ලෙස නො වේ. ඔවුන් ප්‍රීති වන්නේ දානය තුළිනි.  දන්සල් පැවත්වීම, බෝධි පූජා, පහන් පූජා, අභය දාන පූජා, ලේ දන්දීම් ආදී පුණ්‍යක්‍රියා බොහොමයක් කරන්නට තත්පර වෙති.  

තොරණ ඉදිකිරිම, පහන්කූඩු නිර්මාණය කර බෞද්ධ හා ජාතික ධජ පතාක ප්‍රදර්ශනය කරමින් ද සැරසිලි කටයුතු ද කරති.මේ උතුම් පුණ්‍ය දිනයේ දී අති බහුතරයක් බොදු ජනයා සීලයට, දානයට හා භාවනාවට ප්‍රමුඛ බවක් පාමින් අද දවස ගත කරන්නට කරනා කැප කිරීම දවිමඟට අර්ථයක් එක්කරන්නට නිබඳව ම යොමු වෙත්වා!!!