උණුසුම් පුවත්කාලීන

මීගමු හිරගෙදර ගැටුම ගැන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

මීගමුව බන්ධනාගාරාභ්‍යන්තරය යුදපිටියක්  බවට පත් කරමින් මත්ද්‍රව්‍ය ජවාරමුන් දෙකල්ලියක් අතර ඇතිවූ ගැටුමින් බන්ධනාගාර නිලධාරීන් 7 කු හා රැවියන් 20 කු ඝාතනයට ලක්වී තවත් 100 කට ආසන්න පිරිසක් තුවාල ලැබීමේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මානව හිමිකම් කොමිසම විසින් පරීක්ෂණ අරඹා ඇත.

මීට ටික වෙලාවකට පෙර සැලවූයේ තුවාල ලැබ හුන් තවත් බන්ධනාගාර නිලධාරියකු ජීවිතක්ෂයට පත් වූ බවයි.

මේ සිද්ධිය ගැන පූර්ණ විමර්ශනයක් කිරීම සඳහා විශ්‍රාමික විනිසුරු ප්‍රියන්ත ෆ්‍රනාන්දු මහතා ගේ ප්‍රදානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් ජනාධිපති ලේකම්වරයා විසින් කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව පත් කර ඇත.

ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නීතිඥ මිලින්ද ගුණතිලක යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයින් වේ.

මීගමුව බන්ධනාගාරයේ ගැටුමකට සම්බන්ධ එහි හුන් රැඳවියන් 734 කු වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවිණි.

මේ ගැටුමට මුල්වූ බව කියන කටුවැල්ලේගම සුරේෂ් පුප්ෂකුමාර නමැති රැඳවියා මාරුකර ඇත්තේ බූස්ස බන්ධනාගාරයට යි.

ඊයේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ සම්බන්ධව සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පැවැත්වීමට කතානායකවරයාගෙන් කෙරුණු ඉල්ලීමක් පරිදි පැවති විවාදයේ දී විපක්ෂය විසින් සඳහන් කරන ලද්දේ මීට වගකිව යුතු පුද්ගලයා සේ අධිකරණ ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බව යි.

මීගමුව හිරගෙදර සිදුවූ අවාසනාවන්ත සිද්ධියේ වගකීම ඇමතිවරයා හැටියට තමා බාර ගන්නා බව හර්ෂණ නානායක්කර මහතා පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කළේ ය.