ජගත් ගේ සතියේ සටහන - 124
ආණ්ඩුවෙන් සතියකට වරක් ලැබෙන එක එක පාට පාට ටොපි
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බවට, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කොළඹ නීතිඥ සංගමය ඇතුළු නීතිඥ සංගම්, දේශපාලන පක්ෂ සහ මහජන සංවිධාන චෝදනා නඟනවා.
ආණ්ඩුවේ එම ක්‍රියාවට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සෙනසුරාදා (04) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී මහජන අදහස් විමසීම සඳහා විශේෂ මහජන රැස්වීමක් ද පැවැත්වූවා.
එම සංගමය පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචණාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වා දීර්ඝ කිරීමටත් ආණ්ඩුව කටයුතු කරගෙන යන බවයි.
එහෙත් විනිශ්චයකාරවරුන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවක් ගැන කැබිනට් මණ්ඩලයේ දී කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා නොවූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළා. අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේ දී මේ ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් කියා සිටියේ විනිශ්චයකාරවරුන් ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම ගැන මෙතෙක් ආණ්ඩුව තීරණය කොට නැති බව යි.
එසේ වුවද නීතිඥ සංගම් දිගින් දිගට ම පවසන්නේ ආණ්ඩුව විනිශ්චයකාරවරුන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ස්ථිර වශයෙන් ම ක්‍රියාත්මක කරනු ඇති බව යි.
මේ අතර සියලු අධිකරණය විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කර ගැනීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරි සති දෙක තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රකාශ කළේ යැයි සති අන්ත පුවත්පතක් ඊයේ සිය ප්‍රධාන පුවතින් වාර්තා කොට තිබුණා.
අත්දැකීම් සහිත විනිශ්චයකාරවරුන් අධිකරණ පද්ධතිය තුළ තව දුරටත් රඳවා ගැනීමේ අරමුණින් මෙම සංශෝධනය ඉදිරිපත් කිරීමට රජය පිවයර ගෙන ඇති බවත්, මීට පෙරාතුව උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් ගේ සංඛ්‍යාව වැඩි කර ගැනීමට ගැනීමට කටයුතු කළ නමුත් ඊට අදාළ අත්දැකීම් සහිත විනිශ්චයකාරවරුන් ගේ වැඩිවීමක් සිදුවී නැති බවත් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයා පැවසූ බවත් එම පුවතේ වැඩි දුරටත් සඳහන් වුණා.
ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට යන්නේ, වර්තමාන අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සුරසේන මහතා ගේ සේවා කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට බව විපක්ෂයේ දේශපාලනඥයින් චෝදනා කරනවා.
''ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේ අග්‍රවිනිශ්චයකාරවරයා ගේ සේවය දීර්ඝ කර ඔහු ලවා ආණ්ඩුවට අවශ්‍ය නඩු තීන්දු ප්‍රකාශ කරවා ගැනීමට" යැ යි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.
''දැනට අභියාචනාධිකරණයේ විනිශ්චයකාර පුරප්පාඩු 4 ක් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4 ක් බැගින් පුරප්පාඩු 8 ක් තිබෙනවා."
දීර්ග කාලක් තිස්සේ මෙම පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම නිසා විනිශ්චයකාරවරුන් රාශියකට සිය උසස්වීම් නොමැතිව විශ්‍රාමයාමට සිදුවන බව ද ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙනවා.
ඊයේ (4) පැවති නීතිඥ හමුවේ දී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා පැවසුවේ ජාතික ජන බලවේග ආණ්ඩුව මැතිවරණයේ දී දුන් පොරොන්දු අනුව ප්‍රථමයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආයුතු අතර එහිදී අධිකරණයේ වෙනස්කම් සිදු කිරීම පොදු එකතාවයකින් සිදු කළ යුතු බව යි.
ඇමරිකාවේ විනිසුරුවරුන් ජීවත්ව සිටින තාක් කල් එම තනතුරුවල!?
මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ හා 'ලෝ ඒෂියා' නීති සමුළුවට ද ශ්‍රී ලංකාවේ ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යාම ගැන දැඩි විරෝධය පළ කර තිබෙනවා.
ඊයේ (4) ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පැවති සමුළුවෙන් පසු ඉන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වූ පිරිසක් පැවසුවේ බ්‍රිතාන්‍ය, ජපානය, දකුණු කොරියාව, නෙදර්ලන්තය ආදි රටවල් රැසක විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 70, 75 ආදි වශයෙන් පවතින බව යි. ඇමරිකාවේ විනිසුරුවරුන් ජීවත්ව සිටින තාක් කල් එම තනතුරු දැරිය හැකි බව ද ඔවුන් පෙන්වා දුන්නා.
පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගය ජයගෙන බලයට පත්වූයේ වංචාව, දූෂණය නැති කොට ඒවාට සම්බන්ධ හොරුන් අල්ලා දඩුවම් දෙන බවට දුන් පොරොන්දු ජනතාව මහත් ඉහළින් පිළිගත් නිසයි.
එහෙත් ආණ්ඩුව බලයට පත්වී මාස කිහිපයක් ගතවූ පසු ''කෝ ඔය හොරු ඇල්ලුවා ද?" කියමින් විපක්ෂයේ බොහෝ දෙනා ජාතික ජන බලවේගයේ නායකයින් ගෙන් අසමින් ඔච්චම් කළා. එයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ''හොරු අල්ලන කොට කෙඳිරි ගාන්න එපා යැයි කියමින්.
මේ වන විට සතියට එක්අයකු හෝ දෙදෙනකු වශයෙන් විරුද්ධ පක්ෂවලට හිතවත්ව සිටි දේශපාලනඥයින් හා රජයේ උසස් නිලධාරීන්, දූෂණ හෝ අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් හා රඳවා ගනිමින් සිටිනවා.
හොරුන් ඇල්ලුවාදැයි ඇසූ විපක්ෂයේ නායකයින් දැන් මෙම අත්අඩංගුවට ගැනීම් දේශපාලන පළිගැනීම් ලෙස හැඳින්වීමට පටන් ගෙන තිබෙනවා.
මේ අතර දැනට අත්අඩංගුවේ පසුවන පාතාල ක්‍රියාකාරිකයකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාට බන්ධනාගාරයේ දී පහසුකම් සැලසීම වෙනුවෙන් බව කියමින් ඔහුගේ බිරිඳගෙන් අල්ලස් ගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පසුගියදා සමගි ජන බලවේගයේ හොරණ සංවිධායක චරිත් අබේසිංහ, හිටපු අධිකරණ ඇමතිවරයකු වූ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ගේ පුත් රඛිත රාජපක්ෂ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ අරුණ වරුෂහැන්නැදි යන තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කිරීම ගැන විපක්ෂයේ දේශපාලන පක්ෂ නොසන්සුන් වී සිටිනවා.
මීට පෙර යෝෂිත රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, දුමින්ද දිසානායක, චාමර සම්පත් දසනායක, සජින් වාස් ගුණවර්ධන, ෂාන් විජේලාල් ද සිල්වා ආදීන් අත්අඩංගුවට ගත් අවස්ථාවල මෙවැනි නොසන්සුන්භාවයක් දක්නට ලැබුණේ නැහැ.
විජේදාස රාජපක්ෂ ගෙන් ද ප්‍රශ්න කරාවි!
මේ දිනවල අත්අඩංගුවට ගන්නා අයට විරුද්ධව චෝදනා එල්ල වී ඇත්තේ 2015 – 2019 පැවති යහපාලන ආණ්ඩුව කාලයේ සිදුකළ බව කියන සිදුවීම් සම්බන්ධයෙන් බවයි පැවසෙන්නේ.
විජේදාස රාජපක්ෂ මහතා ගේ පුත් රඛිත ඇතුළු අනෙක් දෙදෙනා ගුවන් මඟින් ඩුබායි වෙත ගොස් එහි සිටින ''හර්බි'' නැමැත්තෙකුගේ නිවසේ දී හරක් කටාගේ බිරිඳ හමුවී සාකච්ඡා කර ඇයගේ සැමියා බූස්ස බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවීම ආදි පහසුකම් සැලසීම සඳහා රුපියල් කෝටි 50 ක අල්ලසක් ඉල්ලූ බවත් පසුව එය කෝටි 20 ක් දක්වා අඩුකර ගත් බවත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ප්‍රකාශ කළා. පසුව ඔවුන් අල්ලසේ අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි 12 ක මුදලක් ලබාගෙන තිබෙනවා. එම මුදල ලබාගත් දිනවල එවකට අධිකරණ ඇමතිව සිටි විජේදාස රාජපක්ෂ මහතා ද ඩුබායි හි රැඳී සිටි බවට තොරතුරු ඇතැ යි අල්ලස් කොමිසම අධිකරණයටකියා සිටියා.
මේ තත්වය යටතේ මේ සතියේ දී බොහෝ විට අල්ලස් කොමිසම විජේදාස රාජපක්ෂ මහතාගෙන් ද ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බව ආරංචි මාර්ග වලින් වාර්තා වෙනවා.
දැනට සැකකරුවන් අත්අඩංගුවට ගනු ලබන අල්ලස් හෝ දූෂණ විමර්ශන පනත සහ මුදල් විශුද්ධි කිරීමට එරෙහි පනත ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගනු ලැබුවේ ද එවකට අධිකරණ ඇමතිවරයා ව සිටි විජේදාස රාජපක්ෂ මහතා විසින් වීම විශේෂත්වයක්.
එජප නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඇතුළු පිරිස හා පක්ෂ කිහිපයක් එක්වී පිහිටුවා ගෙන තිබෙන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයකු ද වන විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු ද වෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාපයේ තවත් ජ්‍යෙෂ්ඨයක් වන රොනල්ඩ් පෙරේරා මහතා සමඟ නාවල විජයබා මාවතේ පිහිටි විජේදාස රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් ඔහුගේ සුවදුක් විමසා තිබෙනවා. මේ අවස්ථාවේ සජප මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ද සිටිය බවත් වාර්තා වෙනවා.
එහිදී වික්‍රමසිංහ මහතා, විජේදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට, පසුගියදා මහනුවර පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැළියේ දී, විජේදාස රාජපක්ෂ මහතා කළ කතාව හේතුවන්නට ඇතැයි පවසා තිබෙනවා.
තවත් බොහෝ දෙනකු අත්අඩංගුවට????
කෙසේ වෙතත් රඛිත ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය හා ඒකාබද්ධ විපක්ෂය අසාමාන්‍ය නිහඩතාවයකින් පසුවන බව දේශපාලන විචාරකයින් පවසනවා.
දැන් විපක්ෂයේ සමහර දේශපාලනඥයින් තමන් කොයි මොහොතේ අත්අඩංගුවට ගනීවිදැ යි සැකයෙන් පසුවන බව ද වාර්තාවෙනවා.
පසුගිය ආණ්ඩු පැවති කාලවල විශේෂයෙන් යහපාලන ආණ්ඩුව පැවති කාලයේ විවිධ පුද්ගලයින් හා සංවිධාන විසින් කරන ලද පැමිණිලි පදනම් කර ගනිමින් දැනට සිදු කෙරෙන පරීක්ෂණ අනුව ඉදිරියේ දී තවත් බොහෝ දෙනකු අත්අඩංගුවට පත්වීමට ඉඩ තිබෙන බව ද ආරංචි මාර්ග පවසනවා.

