සුබ ගමන් සිත්තරාණෙනි!


මොටාගෙදර වනිගරත්න නම් අග්‍රගණ්‍ය සිත්තරාණෝ දිවිගමන නිමා කළ බව සාතිශය සංවේගයෙන් සඳහන් කරන්නෙමු.
මොටාගෙදර වනිගරත්නයෝ අනූතුන් වැනි වියේ දිවිසැරිය නිමා කළෝ ය.
මාතර නගරයට නුදුරු මොටාගෙදර 1933 පෙබරවාරි 16 වැනිදින ජන්මලාභය ලැබී ය. ඔහු ගේ මාපියන් සිරියාවතී දේවනාරායන හා අබේසිරිනාරායන වනිගරත්න යුවළ යි. හේ ගමේ පාසලෙන් හෝඩිය කියවා පසුව මාතර සාන්ත සර්වේෂස් විද්‍යාලයට ඇතුළුත් විය. ඔහු රජයේ ලලිත කලායතනය හෙවත් හේවුඩ් හි දී සිය කුසලතා ඔප්නංවා ගෙන සමාජයට පිවිසියේ ය
හේ නමින් ස්වර්ණපාල අබේසිරිනාරායන වූවත් රටක් ලොවක් ඔහු දන්නේ මොටාගෙදර වනිගරත්න යන නමිනි.
තෙලිතුඩට පැටි සංධියේ පටන් ම පෙම් බැන්ද මොටාගෙදර වනිගරත්න නම් සිත්තරා ගේ අතට හුරුවූයේ පින්සල පමණක් නොවේ. ඔහු විටෙක ගල්වඩුවෙකි. විටෙක රන්කරුවෙකි. ප්‍රතිමා හා මූර්ති නිර්මාණයට ද හසල කුසලතාවකින් හෙබි මොටා සමාජයට පිවිසෙන්නේ 'පත්තරකාරයෙක්' හැටියට යි. ඒ ලංකාදීප පුවත්පතෙනි.
අප පැටි සංදියේ වෙසක් පොසොන් පෝ සමයේ අපේ ගම් පළාත් හි තොරන් දැකුම් බොහෝ විය. ඒ තොරන් නිර්මාණය කළ සම්මානනීය සිත්තරුන් තිදෙනෙකි. කෙනෙක් අපේ පාසල වූ රජ්ගම දේවපතිරාජ වදුහලෙහි චිත්‍රකර්ම ගුරුවරයා වූ ඩැනී විමලසිරි සූරීන් ය. ජයසිරි සේමගේ අනෙක් ශිල්පියා යි. මොටාගෙදර වනිගරත්න තෙවැන්නා යි. සේමගේ නින්දානේ ය. මොටා තාර කැකණදුර ය. අපේ ඇදුරිඳු රජ්ගම නාරිගම ය.
මොවුන් තිදෙනා ම යම් වෙනස්කම් ඇතැත් චිත්‍රකරණයේ අප දැක්කේ කිසියම සමාන බවකි. ඔවුන් ගේ සිතුවම් දැක්ක පමණින් ශිල්පියා කවුරුන් දැ යි යන්න අපට වහා සිතා ගන්නට හැකි කරම් වූ ඔවුනට ම අනන්‍ය වූ විශ්මිත ආරක් ඒ චිත්‍රකර්ම වලට මුසු කොට තිබූ බව අවිවාදිත ය.
තුන්දෙනා ම පත්තරවල රූරටා විසුරුවමින් තමන්ගේ සිතුවම්වලින් ජනහදවත් සැනැහූ හ.
මොටාගෙදර ලංකාදීපයෙන් දවසටත් අනතුරුව ඇත්තටත් කළ මෙහෙය සුළුපටු නැත. ඇත්ත පුවත්පතේ 'ඇත්ත' ලාංචනය මොටාගෙදර ගේ නිර්මාණයකි. ඔහු දේශපාලන වශයෙන් කොමියුනිස්ට් වාදය ගරු කළ ශිල්පියෙකි.
සිය තෙලිතුඩින් ඇඳි එක රේඛාවකින් පවා ශ්‍රී ලාංකේය ජන හදවත් හි රසඥතාව දියුණු තියුණු ඔහු කළේ එසේ මෙසේ කාර්යයක් නොවේ.
ඔහු වේදිකාවට, සිනමාවට ද කළ මෙහෙය අනගි ය. හේ මූර්තියෙන් මෙන් ම බතික් කලාවෙන් ද අලුත් යමක් රටට ලොවට දුන්නේ ය. ඒත් ඉතින් අද ඔහු ගේ තෙලිතුඩ නිහඩ ය.
1956 ඔක්තෝබර් 03 සිට 05 දක්වා කොළඹ ජාතික කලාභවනේදී පැවැති “මගේ ලතාව” නම් ඔහුගේ ප්‍රථම ඒකපුද්ගල සිතුවම් ප්‍රදර්ශනය, ඔහුගේ කලා ජීවිතයේ වැදගත් සංධිස්ථානයක් වූවාට සැක නැත. ඒ සිතුවම් දැක්ම විවෘත කරන ලද්දේ එවක අගමැතිඳු බණ්ඩාරනායක සිරිමතුන් ය.
සුබ ගමන් මොටා!!!
හෙළදිව

