ජගත් ගේ සතියේ සටහන - 122
විපක්ෂයේ දේශපාලන පක්ෂ වන සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය හා සර්වජන බලය ආණ්ඩුවට විරුද්ධව වෙන වෙන ම හා ඒකාබද්ධව රැස්වීම් හා උද්ඝෝෂණ පවත් වන අතර ආණ්ඩුවට සිදුවී ඇත්තේ ඒවාට තනිව මුහුණ දීමට ය.
විපක්ෂය මෙම රැස්වීම්, උද්ඝෝෂණ හා ප්‍රවෘත්ති සාකච්ඡා වලදී ආණ්ඩුවට විරුද්ධව නඟන චෝදනාවලට ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ ලබාදෙන පිළිතුරු හා පතිචාර ප්‍රමාණවත් නොවීමෙන් විපක්ෂයේ චෝදනා සත්‍ය බව පිළිගැනීමට බොහෝ දෙනා පෙළඹී සිටිනවා.
ආණ්ඩුවේ මන්ත්‍රීන් 159 ක් සිටියත් විපක්ෂයේ විපක්ෂයේ විවේචනවලට ප්‍රතිචාර දැක්වීමට සිටින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක, බිමල් රත්නායක, විජිත හේරත්, කේ. ඩී. ලාල්කාන්ත, වෛද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ, ආචාර්ය අනිල් ජයන්ත ෆ්‍රනාන්දු, ආචාර්ය හර්ෂණ නානායක්කාර, සමන්ත විද්‍යාරත්න, ටිල්වින් සිල්වා, සමන්මලි ගුණසිංහ ආදි ස්වල්ප දෙනකු පමණි.
එහෙත් දෙරණ හා හිරු නාලිකා මධ්‍යස්ථ බව පෙන්වමින් ආණ්ඩුවට එරෙහිව ගෙන යන ප්‍රචාරවලට රජයේ මාධ්‍ය ආයතන මඟින් ලැබෙන පිළිතුරු ප්‍රමාණවත් නැති ය.
විපක්ෂය ගෙන යන දැඩි ප්‍රචාර හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට ඡන්දය දුන් ලක්ෂ සංඛ්‍යාත ජනයාගෙන් විශාල පිරිසක් මේවන විට ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයෙන් පසුවන බව නොරහසකි.
පසුගිය නොවැම්බරයේ ඇති වූ දිට්ටා සුළි කුනාටුව හා ඇමරිකා, ඊශ්‍රායල්, ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යෑම, සංචාරක ව්‍යාපාරය පහත වැටීමෙන් ඉන් ලැබෙන ඩොලර් ආදායම අඩුවීම ආදියට මුහුණ දීමට සිදුවීමෙන් මහජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම ප්‍රමාද වෙමින් පවතී.
එසේ වුවද ජාතික ජන බලවේගය මැතිවරණවලදී දුන් සොරකම, දූෂණය හා අල්ලස්තුරන් කිරීමේ පොරොන්දුව නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක කරමින් පවතින බව නම් පෙනේ.
මේ වන විට 2010 – 2019 පැවති යහපාලන ආණ්ඩුව කාලයේ 2010 – 2015 රජයන් හි සිටි මැති ඇමතිවරුන් හා ඉහළ නිලධාරීන්ටවිරුද්ධව මහාධිකරණය හමුවේ නඩු රාශියක් පවරා තිබේ.




ඒ අනුව නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ෆ්‍රනාන්දු, රනිල් වික්‍රමසිංහ, මර්වින් සිල්වා, කෙහෙළිය රඹුක්වැල්ල, ප්‍රසන්න රණවීර, සජින් වාස් ගුණවර්ධන, දොස්තර රාජිත සේනාරත්න, ප්‍රේමලාල් ජයසේකර, ප්‍රසන්න රණතුංග, ශෂීන්ද්‍ර රාජපක්ෂ, චාමර සම්පත් දසනායක, අනුර ප්‍රියදර්ශන යාපා, එස්. වියලේන්ද්‍රන්, ෂාන් විජේලාල් ද සිල්වා, යන මහත්වරුන්ට මේ වන 

විටත් මහාධිකරණවල නඩු පවරා තියෙනවා.
මේ හැර හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු වෙළඳ ඇමති නලීන් ෆ්‍රනාන්දු, හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන, උතුරු මැද හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් හා ඔහුගේ නෑනා (හිටපු ඇමති එස්. එම්. චන්ද්‍රසේන ගේ බිරිඳ) හිටපු ඇමති විමල් වීරවංශ මහතා ගේ බිරිය ශෂී වීරවංශ, හිටපු නියෝජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා ගේ සහෝදරයා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් නිශාන්ත, හා හිටපු ඇමති ඒ. එස්. එම්. ෆවුසි (අත්හිටවූ සිර දඬුවම්) අධිකරණය මඟින් වරදකරුවන් කර සිර දඩුවම් පමුණුවා තිබෙනවා.
වර්තමාන ආණ්ඩුවේ බලශක්ති ඇමති ව සිටි කුමාර ජයකොඩි මහතා 2006 දී පොහොර සංස්ථාවේ සේවය කරද්දී සිදුවී ඇතැ යි කියන දූෂණයක් සම්බන්ධයෙන් මහාධිකරණයේ ඔහුට විරුද්ධව නඩු පවරා තියෙනවා.
අයථා වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් හිටපු ඇමතින් රැසක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වා ගෙන යන බව ද වාර්තා වේ. ඒ අතර චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, මහින්ද අමරවීර, ජොන්ස්ටන් ෆ්‍රනාන්දු, කාංචන විජේසේකර, මනූෂ නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි යන හිටපු අමාත්‍යවරුන් හා අමාත්‍යාංශ ලේකම් ධූර, සංස්ථා සභාපතිකම් ආදි තනතුරු දැරූ රජයේ උසස් නිලධාරීන් ද සිටින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම පරීක්ෂණ විශේෂයෙන් ම සිදුකරනු ලබන්නේ 2020 – 2024 කාලයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරුන් ගේ හා රාජ්‍ය නිලධාරීන් ගේ බව ද එම ආරංචි මාර්ග කියනවා.
මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරුන් තිදෙනාගේ වත්කම් බැරකම් පිළිබඳව ද මේ දිනවල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පරීක්ෂණ පවත්වා ගෙන යන බව ද දැනගන්නට තියෙනවා.
ලැබී ඇති පැමිණිලි අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන පරීක්ෂණ දිගට ම
මෙසේ දිගින් දිගට පරීක්ෂණ පවත්වා නඩු පැවරීම සම්බන්ධයෙන් විපක්ෂයේ දැඩි විරෝධය එල්ල වී තිබෙන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා වෙතට .
තවත් ප්‍රබලයින් කිහිප දෙනකු ළඟදීම අත්අඩංගුවට
පසුගියදා අල්ලස් කොමිසම විසින් ප්‍රශ්න කොට අධිකරණයට ඉදිරිපත් කර ඇප පිට මුදා හැර සිටි ශ්‍රී ලංකාන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සිය දිවි නසාගෙන මරණයට පත්වීම සම්බන්ධයෙන් ද විපක්ෂය රංග දිසානායක මහතාට චෝදනා කරනවා. ඒ කපිල චන්ද්‍රසේන මහතා කොමිසමේ අත්අඩංගුවේ සිටිය දී ඔහුට තර්ජනය කොට බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබාගත් බවට ඔහු රංග දිසානායක මහතාට එරෙහිව අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව යි.
මේ පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් ද දිසානායක මහතාට විරුද්ධව කතානායකවරයාට පෙත්සමක් ද භාර දී තිබුණා.
එසේ වුවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබී ඇති පැමිණිලි අනුව පරීක්ෂණ දිගට ම සිදුකර ගෙන යනවා. ළඟදී තවත් ප්‍රබලයින් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට යන බව ද එහි ආරංචි මාර්ග සඳහන් කරනවා.
රනිල් සජිත් සුහදව හමුවී තීරණයක් අරන්
පක්ෂ දෙකේ එකතුව පිළිබඳව කෙරෙන සාකච්ඡා තමා විසින් සිදු කරන බවත්, පක්ෂයේ වෙනත් අය ඒ ගැන ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බවත් සජිත් දැනුම් දී තිබු බව කලින් වර්තා වුණා.
මාස පහක පමණ පක්ෂ දෙකේ සාකච්ඡා සිදුවුණේ නැහැ. ඒ අතර පහුගිය සෙනසුරාදා (13) සමගි ජන බලවේගයේ කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර යන නායකයින් හා සජිත් ප්‍රේමදාස මහතා සමීපතමයකු වන ලකී ෆොන්සේකා යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ 7 හි 5 වැනි පටුමඟෙහ පිහිටි නිවසේ දී හමුවී සාකච්ඡා කළ බව ද දැනගන්නට තිබෙනවා.
එම සාකච්ඡාවේ දී කෙරුණු කතාබහ ගැන ඔවුන් සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කොට තිබුණා. එහිදී තීරණය වී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර ඍජුව හමුවක් පැවැත්වීමට යි.
පසුගිය වසරේ දෙසැම්බරයේ සිට වරින් වර කල් යමින් තිබු සමගි ජන බලවේගය හ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීමේ සාකච්ඡා පසුගිය කාලයේ යටගොස් තිබුණ ද දැන් එම සාකච්ඡා නව මුහුණුවරකින් පැවැත්වෙන බව එම පක්ෂ දෙකේ ආරංචි මාර්ගවලින් පැවසෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජයවර්ධන, අකිල විරාජ් කාරියවසම් හා නවීන් දිසානයක යන මහත්වරුන් පක්ෂ දෙකේ එකතුව ගැන පසුගිය දෙසැම්බරයේ දී 'ටාජ්' හෝටලයේ 'කළම්බු ක්ලබ්' හි දී රැස්වී සමගි ජන බලවේගයේ රංජිත් මද්දුම බණ්ඩාර, කබීර්හෂීම් යන මහත්වරුන් සමඟ මූලික සාකච්ඡා පැවැත් වුවා. එම කණ්ඩායම දෙවැනි වටේ හමුවූ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය ද හමුවී තිබුණා.
පසු දිනෙක එක්සත් ජාතික පක්ෂයේ සාගල රත්නායක මහතා සජබය නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා කළ අවස්ථාවේ ප්‍රේමදාස මහතා ඉකුත් ඉරිදා එම හමුව පැවැත්වීමට යෝජනා තිබු නමුදු සජබ නායකයා කලින් යොදාගත්තු කටයුතු නිසා එය බදාදාට කල් දමා තිබෙනවා.
එජප - සජබ දෙපක්ෂයේ එකතුව නිල වඝයෙන් ළඟදීම 
ඒ අනුව පසුගිය බදාදා (17) රාත්‍රී 7.30 ට සජිත් ප්‍රේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතා ගේ නිවසට ගියා. තම නිවහනට පැමිණි ප්‍රේමදාස මහතා වික්‍රමසිංහ මහතා විසින් බො
හොම සාදරයෙන් පිළිඅරන්.
මේ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා වික්‍රමසිංහ මහතා ගේ සෞඛ්‍ය තත්වය ගැන මුලින් විමසා තිබුණා. ඊට පස්සේ, අරගල කාලෙ අරගලකාරයින් විසින් ගිනිතබන ලද සිය නිවසේ වූ පුස්තකාලය වෙත සජිත් කැඳවා ගෙන යන ලද රනිල් එහි ඉතිරිව ඇති වටිනා පොත් පෙන්වා තිබෙනවා. ඉන් අනතුරුව දෙදෙනා පැය එකහමාරක තරම් කාලයක් දීර්ඝ සාකච්ඡාවක නියැළි බවත් ඒ කතා බහ අතිශයින් ම සාර්ථක ව කෙරුණු බවත් මල්පාරේ ආරංචි මාර්ග පවසනවා.
දැනගන්නට තිබෙන අන්දමට එජප හා සජබ ය එකතුව පිහිටුවන සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී තිබෙනවා.
නායකයින් දෙදෙනාගේ මෙම හමුව දැනගත් පක්ෂ දෙකේ ම සෙසු නායකයින් ඒ පිළිබඳ දැඩි සතුටෙන් පසුවන බවත් පක්ෂ දෙකේ එකමුතුව නිල වශයෙන් ආරම්භ කිරීම ළඟදී ම සිදු කිරීමට නියමිත බවත් සජබ ආරංචි මාර්ගවලින් අනාවරණය කෙරුණා.


