උණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංගසතියේ සටහන

ලිමිණි රාජපක්ෂ 12 වැනිදා අනුරාධපුරයේ දී පොහොට්ටුවේ වේදිකාවට!!!??

ජගත් ගේ සතියේ සටහන -  133

සැමරුම් දෙකක් පක්ස දෙකකින්

ශ්‍රී ලංකාවේ පැරණිතම දකුණේ දේශපාලන පක්ෂ දෙකක් වන එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරය සැප්තැම්බර් 6 වැනිදාට යෙදී තිබුණු අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 75 වැනි සංවත්සරය යෙදී තිබුණේ සැප්තැම්බර් 2 වැදාට යි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 75 වැනි සංවත්සර රැස්වීම ඉකුත් 2 වැනි දා ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉමපීරියල් හෝටලයේ ද"ී පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
''ජයග්‍රහණ සිය දහසක්, අභිමානවත් 75 වසරක්. එක්වෙමු !!- ජයගමු!!! " යන තේමාව යටතේ පැවති මෙම උත්සව සභාවට සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ඇතුළු විපක්ෂයේ පක්ෂ රැසක නායකයන් සහ සාමාජිකයින් සහභාගි වී සිටියා.
පසුගිය දසකවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටඅද වන විට පාර්ලිමේන්තුවේ එකම ආසනයක් වත් හිමිවී නැහැ. මෙහිදී කතා කළ පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා, දුමින්ද දිසානායක, ාජ්‍යෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර නායකයින් පසුගිය මැතිවරණයේ දී පරාජය වූ අයයි. පක්ෂයේ ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක මහතා මෙම රැස්වීමේ දී වේගවත් කතාවක් කළ නමුත් ඔශු පසුගිය මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට තේරීපත් වූයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ 'සිලින්ඩරය' ලකුණෙනි.
ගතවූ 75 වසර තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හිමි නොවූ පළමු වතාව මෙයයි.

දයාසිරි ගෙන් මැතිවරණ කොමිසමට ලියුමක්

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 75 වැනි සංවත්සරය පැවැත්වීමට නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක කණ්ඩායමට නිත්‍යානුකූල බලයක් නොමැති බවත් පක්ෂයේ නිත්‍යානුකූල මහ ලේකම් වන තමාට නොදන්වා මෙම උත්සවය පවත්වා ඇති බවත් පවසනවා.
ශ්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, මහ ලේකම් ලෙස දයාසිරි ජයසේකර මහතාත් පත්වී සිටි අතර ඉන්පසු පක්ෂය තුළ හටගත් අර්බුදය මේ වන විට අධිකරණය දක්වා ගොස් තිබෙනවා.
අධිකරණ නියෝගය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයේ හටගෙන ඇති අර්බුදය නිමාවන තුරු එම පක්ෂයට 'අත' ලකුණෙන් කිසිදු මැතිවරණයකට තරග කරන්නට නොහැකියි.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වශයෙන් පත්වී සිටි ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු දේශපාලන කටයුත්තකට සහභාගි වන්නේ නැහැ.
මේ තත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය පිළිබඳව අධිකරණය හමුවේ පවතින නඩු අවසන් වනතුරු එම පක්ෂයට තනිවම මැතිවරණවලට තරග කළ නොහැකි බැවින් ජී. එල්. පීරිස් මහතා ගේ නායකත්වයෙන් යුත් ජනතාවාදී ඒක්බද්ධ විපක්ෂය සමඟ එක්වීම හැර වෙනත් විකල්පයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පැරණි ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රකාශ කළා.
මේ අතර 1946 සැප්තැම්බර් 6 වැනි දින ඩී. එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ගනු ලැබූ එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරය ඊයේ (06) පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මුජිබර් රහුමාන්, ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ජී. එල්. පීරිස්, ශ්‍රීලනිපයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා පොදු පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් යන මහත්වරුන් ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් සහභාගි වී සිටියා.
උත්සවයේ කටයුතු ආරම්භ වුණේ ඩී‍. එස්. සේනානායක මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ පිළිරූ වලට මල්දම් පැළඳවීමෙනුයි. මෙහි විශේෂත්වයක් වුණේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ පියාණන් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මුත්තණුවන් වූ ඩී. ඒ. රාජපක්ෂ මහතා ගේ පිළිරුවට ද මල්මාලාවක් පැළඳවීම යි.
මෙම උත්සව සභාවේ දී කතා කළ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කථිකයින් වැඩි දෙනා ප්‍රකාශ ක‌ෙළ් වර්තමාන මාලිමා ආණ්ඩුව මැතිවරණ නොපවත්වමින්, අධිකරණයේ ස්වාධීනත්වය නැති කරමින්, ශ්‍රී ලංකාව ඒකාධිපති රටක් බවට පත් කිරීමට ක්‍රියා කරගෙන යන බව යි.
මේ ආණ්ඩුව විරුද්ධ පක්ෂ දේශපාලන අත්අඩංගුවට ගෙන සිරගත කරමින් ඔවුන්ගෙන් පළිගන්නා බැවින් ආණ්ඩුව පළවා හැරීමට සියලු පක්ෂ එකාමෙන් නැඟී සිටිය යුතු බව යි.

තොණ්ඩ නෑ. රවි ආවා

මෙම සංවත්සර රැස්වීමට පසුගිය මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණෙන් තරග කොට ජයගත් එකම මන්ත්‍රීවරයා වන ලංකා කම්කරු කොන්ග්‍රස් නායක ජීවන් තොණ්ඩමන් මහතා ද පැමිණ සිටිනු දක්නට ලැබුණේ නැහැ. එහෙත් පසුගිය මැතිවරණයේ දී 'සිලින්ඩරය' ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් වූ රවි කරුණානායක මන්ත්‍රීවරයා පැමිණ සිටියා.

නාමල් රිමාන්ඩ් කිරීම රනිල් ගේ දැඩි දෝෂදර්ශයට

මේ අතර සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති පක්ෂයේ 80 වැනි සංවත්සර මහ ඇමතූ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 වැනිදා දකවා රිමාන්ඩ් භාරයට පත්කොට තිබීම දැඩි ලෙස විවේචනය කළා. සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ දී පැවැත්වීමට යන පොදුජන පෙරමුණේ ජනතා රැළිය කඩාකප්පල් කිරීමේ අරමුණින් ආණ්ඩුව කටයුතු කොට ඇති බව කී වික්‍රමසිංහ මහතා ආණ්ඩුව විපක්ෂයේ නායකයින් අත්අඩංගුවට ගෙන නඩු පවරමින් දේශපාලන පළිගැනීම් සිදුකරන බව ද කියා සිටියා.
එහෙත් ආණ්ඩුව පවසන්නේ නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙන්නේ 2014 වසරේ එයා බස් ගුවන් යානා මිලදී ගැනීමේ දී සිදුවී ඇති රුපියල් කෝටි 10 ක අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් බවයි. මෙම සිද්ධිය පිළිබඳව යහපාලන ආණ්ඩුවේ FCID මඟින් සිදු කරන ලද පරීක්ෂණ අනුව මෙම නඩුව පවරා තිබෙන්නේ පසුගිය ආණ්ඩුව කාලයේ දී බවත් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ප්‍රකාශ කළා.
නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේ දැනට ස්ට්‍රේලියාවේ ජීවත් වන නිමල් පෙරේරා නමැති ව්‍යාපාරිකයකු විසින් ලබා දුන් ප්‍රකාශයක් හා දිවුරුම් පෙත්සමක් අනුව නාමල් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එහෙත් නිමල් පෙරේරා විසින් නාමල් රාජපක්ෂ මහතාට මුදලක් දුන්නා නම් ඒ කොහේදී ද, කවදා ද, බැංකුවට මුදල් දැම්මා නම් ඒ කුමන බැංකුවකට ද ආදි විස්තර කිසිවක් නැති බවත් හුදෙක් දිවුරුම් ප්‍රකාශයක සඳහන් වූ පළියට අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බවත්, සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළා.

12 රැළිය මහින්ද ගේ ප්‍රධානත්වයෙන්!!

ආණ්ඩුව මෙසේ නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබු රැස්වීම කඩාකප්පල් කිරීමට බව හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා.
කුමන බාධක ආවත් 12 වැනිදා අනුරාධපුරයේ නගර සභා ක්‍රීඩා පිටියේ දී පොදුජන පෙරමුණේ රැළිය ස්ථිර වශයෙන් ම පවත්වන බව ද ඔහු පැවසුවා.
සැප්තැම්බර් 18 වැනිදා දක්වා රිමානඩ් භාරයට පත්කොට ඇති නාමල් රාජපක්ෂ මහතාට එදින රැස්වීමට පැමිණිය නොහැකි නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැළිය පැවැත්වීමට එම පක්ෂය තීරණය කොට තිබෙනවා.
නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් දිනයේ ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට යාමට පෙර සිය පියාණන් වන මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. තමා ස්ථිර වශයෙන් ම රිමාන්ඩ් කරනු ඇති බවත්, එසේ වුවහොත් අනුරාධපුර රැළිය සාර්ථක කිරීමට සහාය දෙන ලෙස ඔහු පියාණන්ගෙන් ඉල්ලා තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.
ලිමිණි අනුරාධපුර වේදිකාවේ!?? 
තමන් ස්ථිර වශයෙන් ම 12 වැනිදා රැළියට සහභාගි වන බවට මහින්ද රාජපක්ෂ මහතා නාමල් රාජපක්ෂ මහතාට පොරොන්දු වූ බව ද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ජගත්ට පැවසුවා.
එහෙත් තවත් නායකයෙක් පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා එම රැ ළියට පැමිණ වේදිකාවේ සිටියත් අයහපත් සෞඛ්‍ය තත්වය නිසා එහිදී කතාවක් සිදු නොකරනු ඇති බවයි.

මේ අතර පොදුජන පෙරමුණේ තවත් පිරිසක් 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වෙන රැළියට නාමල් රාජපක්ෂ මහතාගේ භාර්යාව වන ලිමිණි රාජපක්ෂ මහත්මිය ගෙන්වීමට කටයුතු කරගෙන යන බව ද වාර්තා වෙනවා.

ලිමිණි රාජපක්ෂ මහත්මිය රැළියට පැමිණෙන බවට ඔවුන් සමාජ මාධ්‍ය මඟින් දැනටමත් ප්‍රචාරයක් සිදුකර ගෙන යනවා.

කෙසේ වෙතත් සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ රැළියට පිට පඝළාත්වලින් බස් රථ මඟින් විශාල සෙනඟක් ගෙන්වීමට කටයුතු කරගෙන යන බවයි දැනගන්නට තිබෙන්නේ.

 - ජගත් -