උදය ගම්මන්පිල ප්‍රශ්න කරයි
මාලිමා ආණ්ඩුව නැවත වතාවක් අහස උසට තෙල් මිල වැඩි කරලා තිබෙනවා. 2022 දී ලෝක යුද්ධ දෙකක් මැද ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉතිහාසයේ නොවූ විරූ ආකාරයට ඉහළ ගිහිල්ලා ඒ වගේම ඩොලරය රුපියල් 371 දක්වා වටිනාකම වැඩි වෙලා තිබුණු පසුබිමක පෙට්‍රල් වලට මිල නියමක නියම කළ මිලට වඩා වර්තමාන මිල යන්තම් රුපියල් 35 යි අඩුයි.
මේ මිල වැඩි කිරීම අතාර්කිකයි, අසාධාරණයි. ඇයි අපි එහෙම කියන්නේ? 2026 අප්‍රේල් මාසේ ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වුණු නිසා අපේ රටේ තෙල් මිල වැඩි කිරීම තේරුම් ගන්න පුළුවන්. නමුත් දැන් තත්ත්වය වෙනස්.
2026 අප්‍රේල් 29 වෙනිදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල වුණේ ඩොලර් 114 යි. අද වෙනකොට ඒ කියන්නේ මැයි මාසේ 29 වෙනකොට ඒක ඩොලර් 84 දක්වා ඩොලර් 30 කින් නැත්නම් 26% කින් මිල අඩු වෙලා තිබෙනවා. ඒ කියන්නේ මැයි මාසය තුළදී විතරක් බොරතෙල් බැරලයක මිල ඩොලර් 30 කින් නැත්නම් 26% කින් අඩු වෙලා තියෙනවා.
එහෙම දැවැන්ත අඩුවීමක් තිබියදීම තමයි ආණ්ඩුව මේ මිල වැඩි කිරීම කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම සමස්ත ලෝකය පුරාම තෙල් මිල අඩු කරමින් පවතින පසුබිමක තමයි ලංකාවේ මේ තෙල් මිල වැඩි කිරීම සිද්ධ කරලා තිබෙන්නේ. මේ දක්වා අපිට කිව්වේ අපේ පවතින තෙල් තොගය අත්පත් කර ගැනීමට ගිය වියදම බලලා සෑම මාසෙකම තෙල් මිල තීරණය කරනවා කියලා. ඕකටනේ ඔය මිල සූත්‍රය කියලා කිව්වේ.
පසුගිය මාස ගණනාවක් පුරාම ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වෙනකොට අපේ රටේ තෙල් මිල වැඩි වුණා, ඒක අපිට තේරුම් ගන්න පුළුවන් කාරණයක්. හැබැයි, ලෝක වෙළඳපොළේ එසේ මෙසේ නෙවෙයි, දැවැන්ත ලෙස මිල අඩුවීමක් සිදුවෙමින් තිබියදී අපේ රටේ මිල වැඩිවීම සිද්ධ වුණේ කොහොමද? මේක හරි අරුම පුදුම මිල සූත්‍රයක්නේ. ලෝක වෙළඳපොළේ මිල වැඩි වෙනකොටත් ලංකාවේ මිල වැඩි වෙනවා. අනිත් පැත්තට ලෝක වෙළඳපොළේ මිල අඩු වෙනකොටත් ලංකාවේ මිල වැඩි වෙනවා. වැඩි වෙනකොටත් වැඩි වෙන, අඩු වෙනකොටත් වැඩි වෙන අරුම පුදුම මිල සූත්‍රය තිබෙන්නේ ලංකාවේ පමණයි.
අර ජිප්සීස් සුනිල් හිටියා නම් කියයි, "ලංකාවේ ලංකාවේ, එංගලන්තේ එහෙම වෙන්නේ නෑ" කියලා.
දැන් මේ පසුබිම යටතේ බලශක්ති ඇමතිවරයා මිල සූත්‍රය ප්‍රසිද්ධ කරලා, ලෝක වෙළඳපොළේ බරපතල ලෙස තෙල් මිල 26% කින් අඩු වූ මාසෙක ලංකාවේ මිල වැඩි වුණේ කොහොමදැයි කියන එක රට ඉදිරියේ පැහැදිලි කිරීමක් කළ යුතුයි.
ඇත්තටම මේ මිල වැඩි කළේ යුද්ධය හින්දා නෙවෙයි, සුද්දය හින්දා. ලංකාව තමයි පහුගිය කාලේ ලෝකයේ ඉහළම මිලට ඩීසල් මිලදී ගත්තේ. අපි එහෙම දැවැන්ත ලෝක වාර්තාවක් තියලා කියලා නිකමට ආණ්ඩුවේ ලොක්කෝ අපිට කිව්වේ නෑනේ අපිට පොඩ්ඩක් ආඩම්බර වෙන්න. ඒකත් අපි දැනගත්තේ HSBC ලොක්කගෙන්.
ලොකු කොමිස් කුට්ටියක් ගැහුවේ නැත්නම් කීයටවත් මේ ලෝකයේ ඉහළම මිලට අපට ඩීසල් මිලදී ගන්න වෙන්නේ නෑ. ඇයි ඒ? අපි ඩීසල් ඇතුළු පිරිපහදු කළ තෙල් මිලදී ගන්නේ මැදපෙරදිගින් නෙවෙයි, සිංගප්පූරුවෙන්. ඒ නිසා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා එන නැව් වලට, රතු මුහුද හරහා එන නැව් වලට අය කළ විශේෂ රක්ෂණ ගාස්තුවට අපේ පෙට්‍රල් ඩීසල් නැව් යටත් වුණේ නෑ.
හැබැයි මේ කතාව අපි කියනකොට මාලිමාවේ ඉන්න මෝඩ මන්ත්‍රීවරු කියනවා අපූරු කතාවක්. ඒ අය කියනවා මේ මාලිමාව, සිංගප්පූරුවෙන් පෙට්‍රල් ඩීසල් අපි ගෙනාවට, සිංගප්පූරුවට බොරතෙල් ගෙනාවේ පිරිපහදු කරගන්න මැදපෙරදිගින්, ඒවාට ඉහළ රක්ෂණ ගාස්තුවක් අය කරපු නිසා තමයි අපිට ඉහළ මිලක් ගෙවන්න සිද්ධ වුණේ. ඒක හතරබීරි කතාවක්නේ. එහෙනම් සිංගප්පූරුවෙන් තෙල් මිලදී ගන්නා ආසියාවේ අනෙකුත් රටවල් සියල්ලටම මේ ඉහළ මිලට ඩීසල් මිලදී ගන්න වෙන්න ඕනේ. එහෙනම් ලංකාව විතරක් ලෝකයේ ඉහළම මිලට ඩීසල් මිලදී ගැනීම සිද්ධ වුණේ කොහොමද?
ඒකට නම් හේතුව රක්ෂණ ගාස්තුව නෙවෙයි, ඔය දේශපාලකයෝ අය කරපු වෙනත් ගාස්තුවක්, පගාවක්, කොමිස් මුදලක් කියන එක තමයි අපිට අනුමාන කරන්න තිබෙන්නේ.
එතකොට යුද්ධය නිසා මිල වැඩි වුණු බව ඇත්තක්, ඒක හැම රටටම බලපෑවා. අපි වැඩි මිල ගෙව්වේ යුද්ධය නිසා නෙවෙයි, සුද්දය නිසා. මාලිමා ආණ්ඩුවේ කවුරු හරි දැවැන්ත කොමිස් කුට්ටියක් ගැහුවේ නැත්නම් අපිට ලෝකයේ ඉහළම මිලට පිරිපහදු කළ තෙල් වර්ග මිලදී ගන්න වෙන්නේ නෑ.
ඉතින් මාලිමා ආණ්ඩුවේ දූෂණ වල බරපැන ඇයි මේ රටේ ජනතාව දරන්න ඕනේ? ඒක දරන්න ඕනේ පැලවත්තේ ලොකු අයියා. ඒ නිසා අපි ජනාධිපතිතුමාට බල කරලා කියා සිටිනවා, මේ තෙල් මිල වැඩි කිරීම වහාම ඉවත් කරගෙන, පැලවත්ත පක්ෂ අරමුදලෙන්, ලෝක ඉතිහාසයේ ඉහළම මිලට තෙල් මිලදී ගැනීමෙන් සිදුවුණු පාඩුව පැලවත්ත පක්ෂ අරමුදලෙන් අය කරගන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
උගන්ඩාවේ ඩොලර් ගේන්න බැරි අයිඑම්එෆ් එපා කියන නිසා ද?
අපේ සුප්‍රකට කලා කලාකරුවෙක් වෙන සංගීත් විජේසූරිය මැතිතුමා අනුර දිසානායක ජනාධිපතිතුමා ජයග්‍රහණය කළොත්, තමන්ගේ එංගලන්තයේ ඉන්න මිත්‍රයා නිශාන්ත වීරසිංහ ඩොලර් මිලියනයක් පරිත්‍යාග කරනවා කියලා කියනවා මුළු රටම දැක්කා.
සංගීත් විජේසූරිය මහත්තයා බොරුකාරයෙක් නෙවෙයි. එයා මොකද කළේ? මාලිමා ආණ්ඩුව ආපු ගමන් එක ඩොලර් මිලියනයක් වෙනුවට ඩොලර් මිලියන 23 ක්ම අරගෙන එයාගේ එංගලන්ත යාළුවා නිශාන්ත වීරසිංහත් එක්ක ඇවිල්ලා ජනාධිපතිතුමාව හමුවුණා. ජනාධිපතිතුමා ඔය වැඩේ කතා කරගන්න කියලා මුදල් ඇමති කියලා කවුදෝ අද්භූත පුද්ගලයෙක්ව හඳුන්වලා දීලා.
මේ අද්භූත පුද්ගලයා සංගීත් විජේසූරිය මහත්තයාට කියනවා, මොකක්ද අද්භූත පුද්ගලයා නෙවෙයි කවුද, අද්භූත මුදල් ඇමති, සංගීත් විජේසූරිය මහත්තයාට කියනවා, මේ IMF ගිවිසුම නිසා ඩොලර් පරිත්‍යාග බාරගන්න බෑ කියලා.
මේකේ ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා. පළවෙනිම ප්‍රශ්නය, ජනාධිපතිතුමා මුදල් ඇමති කියලා නන්නාඳුනන වෙනත් පුද්ගලයෙක් හඳුන්වා දුන්නේ ඇයි? ගැසට් මගින් ප්‍රසිද්ධ කර තියෙන ආකාරයට අපේ රටේ මුදල් අමාත්‍ය ධූරය දරන්නේ අනුර දිසානායක ජනාධිපතිතුමා. එතුමා මුදල් ඇමති ධූරයේ සිටිමින් වෙනත් පුද්ගලයෙක්ව මුදල් ඇමති ලෙස තමන්ගේ පක්ෂයේ සහෝදරයෙක් වෙන සංගීත් විජේසූරිය සහෝදරයාට හඳුන්වා දුන්නේ ඇයි? අලුතින් මුදල් ඇමති කෙනෙක් පත් කරල ද? පත් කරලා නම් එයාගේ නම ගැසට් මගින් ප්‍රසිද්ධ නොකළේ ඇයි? ඒ විතරක් නෙවෙයි, එහෙම නැත්නම් ජනාධිපතිතුමා තවමත් මුදල් ඇමති ධූරය දරන අතරේ වෙනත් කෙනෙක්ව මුදල් ඇමති විදිහට පෙන්නුව ද?
පරණ කතාවක් තියෙනවා, ඔය තඹුත්තේගම පැත්තේ හිටියාලු අගුරු කුමාර කියලා ජයිපෙ තරුණයෙක්. 87 - 89 භීෂණ කාලේ, දවසක් ගමට හමුදාවෙන් පැනලා කවුද අගුරු කුමාර කියන්නේ කියලා ඇහුවාම, වෙන කෙනෙක්ව අන්න අරයා තමයි අගුරු කුමාර කියන්නේ කියලා පෙන්නලා එයා පැනගත්තාලු. අන්න අගුරු කුමාර හමුදාවට වෙනත් කෙනෙක් පෙන්නපු විදිහටම ජනාධිපතිතුමා තමන් මුදල් ඇමති ධූරයේ සිටිමින් සංගීත් සහෝදරයාට වෙන කෙනෙක්ව පෙන්නුවාද? මේවා ඉතින් සෑහෙන්න හිතන්න ඕනි, මොළේ කරගැට මතුවෙන ප්‍රශ්න.
හැබැයි, ජනාධිපතිතුමා මුදල් ඇමති කියලා පෙන්නපු මේ අද්භූත පුද්ගලයා, අද්භූත මුදල් ඇමතිවරයා කවුදැයි කියලා හොයාගෙන ඔහුට දඬුවම් කිරීම අත්‍යවශ්‍යයි. මොකද ඔහු මේ රටට දැවැන්ත අපරාධයක් කරලා තිබෙන නිසා, ඔහු දේශද්‍රෝහියෙක් නිසා. ඇයි අපි එහෙම කියන්නේ? මේ අද්භූත මුදල් ඇමතිවරයා IMF ගිවිසුම අනුව ඩොලර් පරිත්‍යාග බාරගන්න බෑ කියමින් රටට ගෙනාපු, අපේ සංගීත් විජේසූරිය කලාකරුවාණන් රටට ගෙනාපු ඩොලර් මිලියන 23 ක පරිත්‍යාගයක් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා.
එතකොට ඇත්තෙන්ම මේ IMF ගිවිසුම කීප වතාවක් සම්පූර්ණයෙන්ම කියවපු පුද්ගලයෙක් විදිහට, මම ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා, විදේශීය පරිත්‍යාග බාරගැනීමට තහනම් කරන කිසිම වගන්තියක් IMF ගිවිසුමේ නෑ. එහෙම තිබුණා නම් දිට්වා කාලේ අපි ලෝකය පුරා විවිධ රටවලින්, විවිධ සංවිධාන වලින් ආධාර බාරගත්තේ කොහොම ද?
අපි දන්නේ ඉතින් ඔය සංගීත් විජේසූරිය මහත්තයා කියන ඩොලර් මිලියන 23 ප්‍රතික්ෂේප කිරීමේ කතාව විතරයි. මේ අද්භූත මුදල් ඇමතිවරයා තව කොච්චර නම් ඩොලර් සම්භාරයක් මෙහෙම රට ඇතුළට එන එක නතර කරලා ඇද්ද? ඇත්තම කියනවා නම් වර්තමානයේ පවතින මේ ඩොලර් අර්බුදයට වගකිව යුත්තේ වෙන කවුරුත් නෙවෙයි, මේ අද්භූත මුදල් ඇමතිවරයා. මොකද ඒ ලංකාවට ඇවිත් ඔය අද්භූත මුදල් ඇමතිවරයා ප්‍රතික්ෂේප කරපු ඩොලර් ටික ඇත්තටම බාරගත්තා නම් ඩොලරය මේ ආකාරයෙන් ඉහළ යන එක වළක්වා ගන්න අපට තිබුණා.
ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා ලෙස සංගීත් විජේසූරිය මහත්මයාට හඳුන්වලා දුන්න ඒ අද්භූත පුද්ගලයා වහාම සොයාගෙන මේ රටට කරපු අපරාධයට දඬුවම් කළ යුතුයි. වහාම ඔහුට දඬුවම් කළේ නැතිනම් ළඟදීම සුනිල් හඳුන්නෙත්ති ඇමතිතුමා මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කියනවා, "මගේ කැනඩාවේ මිත්‍රයාවත් මම ඔය මුදල් ඇමතිට හඳුන්වලා දුන්නා, IMF ගිවිසුම පෙන්නලා බෑ කිව්ව හින්දයි ඩොලර් මිලියනය ගේන්න බැරි වුණේ" කියලා.
එතකොට අපේ බිංදුපුර වැසියා ටිල්වින් සිල්වා මහලේකම්තුමාත් කියාවි, "අපි පක්ෂයේ ජාත්‍යන්තර ශාඛා වලට මාසෙට ඩොලර් බිලියන, මිලියන එහෙම නෙවෙයි, ඩොලර් බිලියන එකහමාරේ ගානේ ගේන්න සියල්ල ලෑස්ති කරලා තිබියදී මේ මුදල් ඇමතිවරයා IMF ගිවිසුම පෙන්නලා මේවා කරන්න පුළුවන් වැඩ නෙවෙයි කිව්වා, ඒකයි මට ඩොලර් ගේන්න බැරි වුණේ" කියලා.
ඔක්කොටම වඩා ගැලවිජ්ජාව හොයාගන්නේ කවුද? උගන්ඩා කුමාරි. උගන්ඩා කුමාරි කියාවි, "උගන්ඩාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා හංගලා තිබ්බ ඩොලර් බිලියන 20 ම මම හොයාගත්තා. අංජනන් දේවි මට උදව් කරා, ඒක ගේන්න හදනකොට අපේ මුදල් ඇමතිතුමා කිව්වා හෝව් හෝව් IMF ගිවිසුම කඩවෙන වැඩක් ඕකනම් කරන්න එපා කියලා, ඒකයි අර ඩොලර් බිලියන 20 ගේන්න බැරි වුණේ. අපිට නම් ඔන්න දොස් කියන්න එපා IMF ගිවිසුම අත්සන් කළේ අපි නෙවෙයි, රනිල් වික්‍රමසිංහ මහත්තයා" කියලා.
ඒ නිසා මේ IMF ගිවිසුම නිසා, IMF ගිවිසුම පෙන්වමින් අද්භූත මුදල් ඇමතිවරයා මේ රටට අහිමි කළ මුදල් ගැන සොයා බලා, ඒ අද්භූත මුදල් ඇමතිවරයාට දඬුවම් කිරීමට නිර්දේශ කිරීම සඳහා වහාම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කළ යුතුයි අපි යෝජනා කරනවා. එතනදී, ජනාධිපතිතුමනි, ඔන්න දැන් 1948 සිට ප්‍රතික්ෂේප කළ සියලුම පරිත්‍යාග මොනවාද කියලා හොයන්න යන්න එපා, එතකොට වර්තමාන මුදල් ඇමති ගාවට එනකොට තවත් විශාල මුදල් ප්‍රමාණයක් රටට අහිමි වෙලා තියේවි. ඒ නිසා 2024 ඉඳන් මේ පැත්තට හෙව්වාම හොඳටෝම ඇති.
ප්‍රශ්නය තියෙන්නේ මේ රටේ ජනතාව මේ පට්ටපල් බොරු තවමත් විශ්වාස කරනවානේ. මම මගේ උදය ගම්මන්පිල යූටියුබ් නාලිකාවේ ජනමත විමසුමක් දැම්මා, "සංගීත් විජේසූරිය මහතා පවසන අයුරින් ශ්‍රී ලංකාවට ඩොලර් පරිත්‍යාග බාරගැනීමට තහනම් කරන කොන්දේසියක් IMF ගිවිසුමේ තිබේද? ඔව් / නැත". 10% ක්ම ඔව් කියලා තිබ්බනේ.
ඉතින් මේ වගේ පට්ටපල් බොරු විශ්වාස කරන ජනතාවගෙන් 10% ක් ඉන්නවායි කියන්නේ ඊළඟ මැතිවරණයේදීත් ලංකාවට අබ සරණයි කියන එක තමයි.
