බැද්දෙගෙදරමුල්ලේ ඛේදවාචකය

හයිලෙවල් මාර්ගයේ මීගොඩ බැද්දෙගෙදරමුල්ල මංසන්ධිය ආසන්නයේ වෙසක් පොහොය වෙනුවෙන් පවත්වාගෙන ගිය රොටි දන්සැලක පෝලිමේ සිටි පිරිසක් මතට කැබ් රථයක් ධාවනය වීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු ඇතුලු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
රොටි දන්සැලක පෝළිමක රැදී සිටිය දී ඔවුන් අනතුරට පත් කරන ලද්දේ අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක රියැදුරෙකි.
එහිදී පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන විටත් හය දෙනෙකු මියගොසින් බව පොලිසිය කියයි.
එලෙස ජීවිතක්‍ෂයට පත්ව පුද්ගලයන් ගෙන් තිදෙනකු හංවැල්ල සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචි ව සිටි අය යි.
කාන්තාවන් තිදෙනා පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසී ය.
තුවාල ලැබූ තවත් පුද්ගලයන් 7 දෙනෙක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබති.
අනතුර සිදු කළ රියදුරා කැබ් රථය නොනවත්වා ධාවනය කරමින් පලාගොස් ඇත. ඒ සමඟ ම ක්‍රියාත්මක වු පොලිස් නිලධාරීන් ගොඩගම හංදිය ප්‍රදේශයේදී පලා ගිය රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. හේ ගරාජ් සේවකයෙකු යැ යි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකාර රියදුරා බීමත්ව සිටි බවටද තහවුරු වූ බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
