උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසාහිත්‍යය හා කලාව

වජ්‍රපානි පැදි පෙළ ගැන

දිස්ත්‍රික්ක 3 ක අධිපති කම් කළ මහ දිසාපතිවරයෙකුගෙන් විග්‍රහයක්

වස් කවිය ගංවතුරක් සේ දෙගොඩ පමණක් නොව, ම්හිඳුමක් සේ සිව්දෙසම, සිසාරා පැතිර ගොස් අවසන්‍ ය.එය දුටු දුටු අය කියෙව්වෝ ය. කියවමින් බෙදා හැරියෝ ය. බෙදා හරිමිනුත් කියෙව්වෝ ය.ලද, ලද අයත් කියෙව්වෝ ය. බෙදුවෝ ය.

අවසානයේ ලොව පුරාම සිංහල කියවන අය, වැඩිදෙනෙක් කියවූ ලියවිල්ල බවටද පත්වුණේ ය. මෑත කාලයේ කෙටි කලක් තුළ මෙතරම් ව්‍යාප්ත වුණු, වෙනත්  ලේඛනයක් අප දුටුවේ නැත. මෙසේ වූ වස් කවියේ දොස් දැක, රොස් බස් පළ කළේ,  වස් වදිතැයි බියවූ පුස්සන්‍ ය. ඒ පුස්සන්ට අනුව එය කුමන්ත්‍රණයකි. සුළුපටු කුමත්‍රණයක් නොවේ. ජනාධිපතිවරයාට එරෙහි කුමන්ත්‍රණයකි. තව සමහරුන්ට අනුව සිල්වත් භික්ෂුන්ට, වස් කවි ලිවීම හෝ කියවීම කළ නොහැකිය.

මගේ මේ උත්සාහය වස්කවිය හා බෞධ සංස්කෘතිය ගැන මදක් සොයා බැලීමටය

වස් කවිය යන වචනය මට මුලින්ම අසන්න ලැබුණේ, මා පැටි සන්දියේ අපේ තාත්තාගේ රබර් ගස් වගයක් කවුදෝ කැත්තෙන් පතුරු ගසා තිබෙණු දුටු, තාත්තාගේ මූවින් පිටවුණු  වචනයකිනි.

"මේකට නම්  නිකං ඉන්නෙ  නෑ, මඩවල ගිහින් කියෝනව වස් කවියක්. මේ අපරාධෙ කළ වුන් හැඳි ගෑවිල යන්න."

තාත්තා මඩවලයැයි කිව්වේ මඩවල පන්සලය. මඩවල පන්සලේ තිබූ දේවාලය, අපේ ගම්පැත්තේ අය වස් කවි කියන්නට ගිය එක් ස්ථානයකි. තව සමහරු අලුත්ගම  කන්දෙ විහාරයට ගොස් වස් කවි කීවෝය. වඩාත් දරුණු අපරාධවලට වස් කවි කියන්නට එකල අපේ ගම්වල අය ගියේ මොරවක් කොරළේ  ගැටබරුවට ය. මෙසේ අපේ ගමේ අය එදා වස්කවි කියවන්නට ගිය මඩවල, කන්දේ විහාරය , ගැට බරුව, යන ස්ථාන තුනම බෞධ විහාරස්ථාන ය.

ඒ විහාරස්ථාන වලට වස්කවි කියවන්නට ගිය අපේ තාත්තා වැනි, අහිංසක ගැමියන්ට වස්කවි ලිව්වෙත්, නියමිත පරිදි විහාරස්ථානයේ,  සූනියම් දේවාලයේ දී හෝ විෂ්ණු දේවලයේ දී වස් කවිය කියෙව්වේත් හාමුදුරුවරු ම ය. එසේම වස්කවි, සෙත් කවි සෑදීම, සඳහා අවශ්‍ය දැනුම, බෞධ භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපන ක්‍රමයෙන්, ලබා දුන්නේ ශබ්ද සාස්ත්‍රය නම්වූ විද්වත් ඉගැන්වීමෙනි.

අක්ෂරවල ලඝු ගුරු බේදය, අක්ෂර සංයෝගවල  ගුණදොස්, උච්චාරණ විධි, උච්චාරණය මගින්, බලය ගොඩ නැගීම  ආදිය, ඉගැන්වීම මේ ශබ්ද ශාස්ත්‍රයට අයත් විය. එකල වස්කවිය කියවන්නට යන්නේ, රහසිගත්ව වුවත්, වස්කවි කියවූ බව ගම පුරා පතුරුවා හැරීමට,  කිසිදු බාධාවක් තිබුණේ නැත. කොච්චර රහසින් වස්කවිය කියෙව්වත් සතිදෙකක් යනවිට, අවට ගම්වලත් සැවොම වස්කවි කියෙවූ බව දැන ගනිති. වස් කවි කියවූ බව ආරංචි වීමෙන්ම, අදළ අසාධාරණය කළ  අය තුළ ඇතිවන බිය ජනක හැඟීම, වස් කවියෙ මුල්ම ප්‍රතිපලය යි. ඕනැම  මිනිසෙකුට ම ගැලවෙන්නට නොහැකි, එකම උගුල සිය හෘද සාක්කියේ උගුලයි. මේ නිසා දැනට දශක හය හමාරකටත් එපිට කාලේ, හද්දා පිටිසර ගම්වල උපන් අපේ පරම්පරාවේ අය නම්, ගමේ පංසල්වල සිටින භික්ෂුන් වහන්සේලා. වස්කවි හදන්නත්, කියවන්නත්  සමත් අය බව දනිති. ඒ නිසා මේ වස් කවියත්, හාමුදුරු කෙනෙක් ලිව්වා කියා ගැටලුවක් උපන් ගැමියන් වන  අපට නම් නැත.

දෙවනුව මේ වස් කවි පංතිය,  විමසිල්ලෙන් කියවා බලන විට පෙනෙන්නේ, මෙය කොතරම් බෞද්ධ සංස්කෘතියට, බැඳි ඇති දෙයක්ද යන්නයි. බුදු සංස්කෘතියේ අනිවාර්‍ය අංගයක් වන්නේ පිරිත් දේශනාවයි. පිරිත් ධර්මය දේශනා  කිරීම මෙන්ම, ශ්‍රවණය කිරිම බෞධයින්ගේ,  මානසික ශක්තිය වර්ධනයෙහි ලා අත්‍යාවශ්‍ය දෙයක් සේ සැලකේ.

"පරිසමන්තතෝ තායති පරිත්තං "යන්නෙන් පිරිත් ධර්මය, බෞධයාගේ හාත්පස ආරක්ෂාව සඳහාම වන්නක් බව කියවේ. පිරිත් දේශණා පැවැත්වීමේ ක්‍රම, ගණනාවක් පර්ත්‍රාණ ධර්මය ඇතුළත්, 'පිරුවානා පොත්වහන්සේ' නමින් හඳුන්වන ග්‍රන්ථයේ ඇතුළත්‍ ය.. සෙත් පිරිත, වරු පිරිත, තිස් පැයේ පිරිත, තිස් පෑ තුනේ පිරිත, සතී පිරිත ආදී  වශයෙන්, පිරිත් දේශනා කරන ක්‍රම ගණනාවකි. සාමාන්‍යයෙන් අලුත් වැඩක් අරඹන විට, කවුරුන් විසින් හෝ නව සේවා ස්තානයක වැඩ භාර ගන්නා විට, භික්ෂූන් වහන්සේලා වඩම්මවා සෙත් පිරිත් දේශණා කරවති. නිවසකට ගෙවදීම වැනි අවස්ථවල තුන්වරුවක්, එනම් උදේ, සවස, පසුදා උදේ, ලෙස තුන් සූත්‍රය දේශනා කරති.  තිස් පැයේ   පිරිත් දේශනාව, රාත්‍රි නමයට පමණ අරඹා පසුදා අලුයම තෙක්, බණවර හතරක් සමග, සූත්‍ර හතක් දේශනා කරති. මෙහිදී පළමු බණවර ලෙස සරණා ගමනයේ සිට, ධජග්ග පිරිත දක්වා, සූත්‍ර හා ගාථා දාහතරක්, දේශණා කිරීමත්, දෙවන බණවරට බොජ්ජංග පිරිත්  තුනක් හා සූත්‍ර දෙකක් ද,   තුනෙ අණ හා හතරවන බණවර ලෙස, ආටානාටිය සූත්‍රය, දෙවරක් දේශනා කිරීම සිදුවේ. දෙවන හා තුන්වන බණවර අතරට, අතිරේක සූත්‍ර හතක් දේශනා කෙරේ. සති පිරිත යනු ම්ට ද වඩා, චාරිත්‍ර විධින්‍ රැසකින්‍ යුක්ත, පිරිත් දේශනා ක්‍රමවේදයකි. සාමාන්‍යයෙන් සති පිරිත් දේශනා කරවන්නේ, විහාරස්ථාන හෝ ප්‍රධාන දේවාල වැනි පොදු ස්තාන ඇසුරෙනි. සති පිරිතේ පිරිත් මණ්ඩපයට ඇතුළු විය හැක්කේ, උපසම්පදාව සහිත භික්ෂුන්ට පමණි. මේ තිස්පැයේ පිරිතේ හා සති පිරිතේ, ඉතා වැදගත් ස්තානයක් ආටානාටිය සූත්‍ර දේශනාවට ලැබේ. තිස් පැයේ පිරිත් දේශනාවක තුන්වන හා සතරවන බණවර ලෙස, ආටානාටිය සූත්‍ර දේශනාව කෙරේ. සතිපිරිතේ අවසානයද ආටානාටිය සූත්‍ර දේශනාවෙන්  සිදුවේ. සතිපිරිත් දේශනාවේ අනු ශාසනාවේ දැක්වෙන පරිදි, සියලුම දෙවි දේවතාවුන්, යක්ෂ සේනාධිපතිවරුන් ආදින්ට, පුණ්‍යානුමෝදනාවන් සිදුකොට, අවසානයේ අවවාද වලට නැඹුරු නොවූ, අමනුෂ්‍යයින්ගෙන් සිදුවන උවදුරු, දුරුකර සකලෝචර්‍යාභිවෘධි වර්ධනය උදෙසා, ආටානාටිය සූත්‍රය දේශනා කරන ලෙස දක්වා ඇත 

ආටානාටිය සූත්‍ර දේශනාව යනු, දිඝ නිකායේ සුත්‍ර තිස් හතරෙන් එකකි.මේ සූත්‍රය දේශනා කරන්න්ට හේතුව වී ඇත්තේ, බුදුන් වහන්සේගෙන් වෛශ්‍රවණ  දිව්‍යරාජයා විසින්, කළ ඉල්ලීමක් නිසාවෙනි. සතර දිශා භාරව සිටින්නේ යැයි, විශ්වස කරන ධ්‍රතරාෂ්ට, විරූඩ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සතර වරම් දෙවිවරු, සපිරිවරින්  බුදුන්වහන්සේ හමුවට පැමිණ, උන්වහ්න්සේ කෙරෙහි තමන්ගේ ගෞරවය, ප්‍රකාශ කර සිටි බව කියවේ. එහිදී තම තමන් භාරයේ සිටින, ගන්ධර්ව, නාග, කුම්භන්ඩ, හා යක්ඛ යන මනුෂ්‍යයින් නොවන, අමනුෂ්‍ය කොටස් වලින් බුධ ශ්‍රාවක, භික්ෂු, භික්ෂුනී,  උපාසක, උපාසිකා සිව්වනක් පිරිස වලට, සිදුවිය හැකි හිරිහැර කරදරවලින්, ආරක්ෂා වීම සඳහා, ආටනාටිය සූත්‍රය ශ්‍රාවකයින්ට උගන්වන්න  යැයි, ඉල්ලා සිටියේ යක්ෂයින්ට අධිපතිසේ සැලකෙන,  වෛශ්‍රවණ දිව්‍ය රාජයා ය. වෙසමුණි යනු, එහි සිංහල අර්ථය යි.  බුදුන්වහන්සේ එය අනුදැන වදාළෙන්   ආටානාටිය සූත්‍රය, ශ්‍රාවක සංඝයාට දේශනා කරන ලදී. මේ සූත්‍රයේ සඳහන් අන්දමට, සතර වරම් දෙවිවරුන්ටත් පාලනයක් නැති, අමනුෂ්‍යයින් අතින්, යම් හිරිහැරයක් භික්ෂු, භික්ෂුනී, උපාසක, උපාසිකා ආදී පිරිසට සිදු වුවහොත්, ඒ බව යක්ෂ සේනාධිපතින් වෙත හඬගා පැමිණිලි කළ යුතු වෙයි. එසේ පැමිණලි කළ යුතු යක් සෙනවීවරුන්ගේ නම්, තිස් හතරක් ආටානාටිය සූත්‍රයේ  සඳහන් වේ.

මේ යක්ෂ සේනාධිපතීන්ගේ නම් අතර ඉන්ද්‍ර, වරුණ හා පර්ජුන්‍ය යන නම් ද  සඳහන්වේ. මේ නම් මට සිහිපත් වුණේ, මේ සුප්‍රකට වස් කවි පංතියේ දැක්වෙන, යක්ෂ දේව  රාජයන්ගේ නම්, දුටු විටය. වස්කවි පංතියේ සඳහන් වජ්‍රපානී යනු, සක් දෙවිඳුගේ යක්ෂ අවතාරයක් සේ සැලකේ.

ආටානාටිය සූත්‍රයේ බෞද්ධ ශ්‍රාවකයින්ට, අමනුෂයින්ගෙන් හිරිහැර වන විට, ඉන්ද්‍ර නම් යක් සෙනවියෙකුට, පැමිණිලි කළ යුතු බව සඳහන්‍ ය. ඉන්ද්‍ර යනු ද සක්‍ර දෙවියන්ටම, කියවෙන නමකි. ඒ අනුව වස්කවියේ, වජ්‍රපානී හා ආටානාටිය සූත්‍රයේ, ඉන්ද්‍ර දෙදෙනාම එක් අයෙකු සේ, සැලකීමේ වරදක් නැත. වස් කවියේ සඳහන් තවත් දේව රාජයෙක් වන්නේ, උත්පල වර්ණ යි. උපුවන් දෙවියන්ට, වරුණ කියා නමක්ද ඇති බව කියවේ. ආටානාටිය සූත්‍රයේ පැමිණිලි කළ යුතු, යක් සෙනවියන් අතර වරුණ ද සිටී. වස් කවි පංතියේ නම් සඳහන්, ඊළඟ දෙවියා පර්ජුන්‍ය ය. අකුණු සැරවලට අධිපති ලෙස සැලකෙන, පර්ජුන්‍යගේ නම ද, ආටානාටිය සූත්‍රයේ පැමිණිලි කළ හැකි, යක් සෙනවිවරු අතර ඇති නමකි .

වෛශ්‍රවණ නම් දෙවි මහරජුන් ද, වස් කවි පංතියේ නම් සඳහන් කර ඇති අයෙකි. ආටානාටිය සූත්‍රය ශ්‍රාවකයින්ගේ ආරක්ෂාව සඳහා,  උගන්වන ලෙස  බුදුන් වහන්සේට යෝජනා කළේ, වෛශ්‍රවණ දිව්‍ය රාජයා ය.

මේ අන්දමට බලන විට මේ සා විශාල, ප්‍රසිද්ධියක් ලද වස් කවි පංතිය, හුදෙක් තමන්ට අසාධාරණයක් කළ අයගෙන්, පලිගැනීමේ වෛරී චේතනාවකින් කළ දෙයක් නොවන බවත්, බෞධ සංස්කෘතියට  අනුව ආටානාටිය සූත්‍රයෙන්, බුදුරදුන් දූන් උපදෙස් වලට අනුකූලව, සිව්වනක් බෞධ ශ්‍රාවක පිරිසට, මනුෂ්‍යයින් සේ සැලකිය නොහැකි, අමනුස්ස පිරිසකගෙන් සිදුවන, අනේක විධ හිර්හැර ගැන බලා ගන්නා ලෙසට, යක්ෂ සේනාධිපතින් කීපදෙනෙකුට කළ, දැනුම් දීමක් සේ  පෙන්වා දීමටද හැකියාව පවතී. ඒ අනුව බැලූ විටද, බෞධ භික්ෂුන් වහන්සේ ලා අතින්, මේ වස් කවි පංතිය රචනා කිරීමේ, වරදක් මට නම් දැකිය  නොහැකිය.

                              • සුනිල් කන්නන්ගර