උණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංගසතියේ සටහන

ව්‍යවස්ථාදායක සභාවේ අවුල තවත් දිග්ගැසේ වි ද?

ජගත් ගේ සතියේ සටහන -  102

හරිනිට එරෙහි විශ්වාස භංගයට ඉක්මන් දින නියම වේදි ද? නොවේ ද??

ආණ්ඩුවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා විපක්ෂයට මේ වන විට ආයුධ රැසක් ලැබී තිබෙනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල හයවැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක නමක් ඇතුළත් වී තිබීම, මාස 8 ක් තිස්සේ විගණකාධිපති තනතුර හිස්ව පැවතීම, ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සාමාජිකයින් තිදෙනා පත් කිරීම, දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ විශාල පිරිසකට තවමත්  සහන නොලැබීම, එයින් වගා හානි වූ ගොවීන්ට ඒ වෙනුවෙන් වන්දි නොලැබීම ආදි කරුණු රැසක් මේ දිනවල විපක්ෂය ආණ්ඩුවට එරෙහිව ආයුධ ලෙස යොදා ගන්නා බව පෙනී යනවා.

එහි පළමු පියවර ලෙස අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට යන්නේ එහි පළමු අදියර වශයෙන්.

පසුගිය බදාදා විපක්ෂ නායක කාර්යාලයේ පැවති රැස්වීමක දී මෙම තීරණය ගනු ලැබුවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට රංජිත් මද්දුම බණ්ඩාර, දයාසිරි ජයසේකර, චාමර සම්පත් දසනායක, අජිත් පී. පෙරේරා, මුජිබර් රහුමාන්, නිසාම් කාරියප්පර්, අනුරාධ ජයරත්න, ඩී. වී. චානක, දිලිත් ජයවීර, ජගත් විතාන ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වී සිටි අතර විශ්වාස භංග යෝජනාවට අත්සන් තැබීම ඒ අවස්ථාවේ ම ආරම්භ වුණා.

මෙම විශ්වාස භංග යෝජනාව කතානායක වරයා වෙත බාරදුන් පසු එය විවාද කිරීම සඳහා ඉක්මනින් දිනයක් ලබාගැනීම විපක්ෂයේ අපේක්ෂාව යි. එහෙත් කතානායක වරයා ඉක්මන් දිනයක් ලබා දේවිද නැතිනම් එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ කොපමණ කාලයක් රැඳී තිබේද යන්න පිළිබඳ දේශපාලන විචාරකයින් සැක පහළ කරනවා.

අගමැතිනියට එරෙහිව විපක්ෂයේ පක්ෂ අතර විරෝධතා පැතිර යද්දී අගමැතිනිය ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට තීරණය කොට ඇති බවට පසුගිය සතියේ ආරංචි පැතිර ගියා.

ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය ඊයේ (10) විපක්ෂයට එරෙහිව මතුගම නගරයේ දී පැවති විරෝධතාවය

නොසැළකිලිමත් ලෙස ඉදිරිපත් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා හේතුවෙන් රජය මහත් අපහසුවට පත්වූ බව පවසමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතියේ අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවියට හා අධ්‍යාපන ලේකම් නාලක කළුවැව මහතාට තදින් දෝෂාරෝපණය කළ බවට ද ආරංචි පැතිර ගියා.

ඇමති මණ්ඩල සංශෝධනයක් කිරීමට යන බවට ආරංචි පැතිර ගියේ ඉන්පසුව යි. එම ඇමති මණ්ඩල සංශෝධනයේ දී වීදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා අගමැති ධුරයට පත් කෙරෙනු ඇති බවටත් රාවයක් තිබු අත පසුගිය සතියේ අප 'සතියේ සටහනින්' ද ඒ බව වාර්තා කළා.

එහෙත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුණේ මේ අවස්ථාවේ කිසිදු ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු නොවන බව යි. මේ ප්‍රශ්නයේ දී අගමැතිනිය ආරක්ෂා කළ යුතු බව ඇමතිවරුන්ට පවසා ඇති ජනාධිපතිවරයා වහාම මාධ්‍ය හමුවක් පවත්වා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන හා අගමැතිනියට එල්ල වී ඇති චෝදනා ගැන පිළිතුරු දෙන ලෙස විදේශ කටයුතු ඇමති විජිත හේරත්  හා ජනමාධ්‍ය  හා සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ට දැනුම් දී තිබෙනවා.

පසුගිය ඉරිදා ඔවුන් දෙදෙනා අගමැතිනියගේ ද සහභාගිත්වයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය පැවැත්වූයේ ඒ අනුව බවයි දැනගන්නට තිබෙන්නේ.

කෙසේ වුවද කුමන තත්වයක් යටතේ හෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට තිබෙනවා.

පසුගිය සිකුරාදා දොඩම්ගස්ලන්ද රිදීගම, යොවුන් නිකේතනයේ පැවති උත්සවයක දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බව අවධාරණයෙන් ම ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මෙසේ ද ප්‍රකාශ කළා.

දරුවන්ගේ ළමා කාලය උදුරා ගත් මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු ම යි

''අපි දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදිය යුතු යි. අපි දන්නවා අපේ ගම්වල දරුවන්ට අනාගතය ජය ගතහැකි එකම මාවත වන්නේ අධ්‍යාපනය යි. අපේ අම්මලා තාත්තලා දරුවන්ට උග්නන්න මහා වෙහෙසක් දරනවා. නමුත් අධ්‍යාපන ක්‍රමය හොඳ ප්‍රතිඵල ගෙනැවිත් දෙන්නේ නැහැ. මේ අධ්‍යාපන ක්‍රමය අපේ දෙමාපියන්ට බරක්. දරුවන්ට දුකක්"

"ලැබී තිබෙන වාර්තාවලට අනුව ළමයි 50 ට අඩු පාසල්1150 ක් පමණ ලංකාවේ තිබෙනවා. ඒවා පාසල් වන්නේ නැහැ.  දරුවන්ට සාහිත්‍ය උත්සවයක්, ක්‍රීඩා උත්සවයක් පවත්වන්න බැහැ. අපි ඒ පාසල් ගැන අවධානය යොමු කළ යුතු යි. ඒ නිසා වැඩිපුර ළමයින් සිටින ළමයින් එකට මුසුවන නව පාසල් පද්ධතියක් අප ගොඩනැඟිය යුතු යි"

''දරුවන්ගේ ළමා කාලය උදුරා ගත් මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු යි. එසේ නම් අපි හොඳ අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු යි. අපි ඒ සඳහා පියවර ගන්නා විට ඒ විෂයයක්වත් නැති, අරමුණක්වත් නැති දේවල් මාධ්‍ය හරහා කියන්න පටන් ගෙන තියෙනවා."

"නිදහස් අධ්‍යාපන පනත ගෙන ආ අවස්ථාවේත් මේ විධියට ම ඊට විරුද්ධව පොර බැදුවා. මේ අවස්ථාවේදීත් එහෙමයි. මෙය යහපත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්. අපේ දරුවන් බලා ගන්නා අධ්‍යාපන ක්‍රමයක්. අපේ දරුවන් ලෝකය සමඟ මුසු කළ හැකි අධ්‍යාපන ක්‍රමයක්. එසේම අපේ දරුවන්ට පෞරුෂයක්, නායකත්වයක් සහිතව ඉදිරියට යා හැකි අධ්‍යාපන ක්‍රමයක්"

''මේ පිළිබඳව ගැටලු ඇත්නම් අපි සාකච්ඡා කරමු. අපි කියන්නම් මොකකද් කරන්න හදන්නෙ කියලා. මෙහි සිටින කවුරනු හෝ විහ්වාස කරනව ද අපි අධ්‍යාපනය විනාශ කරනවා කියලා. අපි එහෙම අය නොවෙයි. අපි ඈත ගම්වල ඉපැදුණු අය. අපට අධ්‍යාපනයේ යම් ඉඩකඩක් විවෘත වූ නිසා තමයි අපි අද මේ වගකීම් වලට පත්වී සිටින්නේ. එසේ නොමැතිව අපේ පවුල් පසුබිම, අපේ ගම්වල පසුබිම, අපි මෙතැනට ගෙනාවේ නෑ. අධ්‍යාපනය තමයි අපට මේ පාරවල් කැපුවේ. ඒ නිසා ඈත ගම්වල ඉපදුණු අපට ඉදිරියට ඒමට පාර කැපුවේ අධ්‍යාපනය නම් ඒ අධ්‍යාපනයට විනාශකාරී පාරක් අපි කපන්නේ නෑ. අපේ දරුවන්ට හොඳ අධ්‍යාපන ක්‍රමයක් සකස් කර දීමට අපට අවශ්‍යයි"

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන දරණ ස්ථාවරය මෙයින් පැහැදිලි වෙනවා.

ඒ අනුව විපක්ෂය කුමන විශ්වාස භංග ගෙනාවත්, විරෝධතා දැක්වූවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංශෝධන සහිතව ක්‍රියාත්මක කරන බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් අප කළ වමසුමක දී කියා සිටියා.

මේ අතර මාස 8 ක් තිස්සේ හිස්ව පවතින විගණකාධිපති තනතුරට සුදුස්සකු වහාම පත් කරන ලෙසට විපක්ෂය ආණ්ඩුවට බල කිරීමට පටන් ගෙන තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් විගණකාධිපති දුරය සඳහා නම් 4 ක් හතර වතාවක් ම ඉදිරිපත් කොට තිබු නමුත් ව්‍යවස්ථාදායක සභාව එම නම් අනුමත කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා මේ තත්වය උද්ගතව ඇති බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව විගණකාධිපති තනතුරට පත්කළ යුත්තේ වරලත් ගණකාධිකාරි වරයෙක් බවත් ඒ අනුව එවැනි සුදුසුකම් ඇති නම් ඉදිරිපත් කළත් ව්‍යවස්ථාදායක සභාව ඒවා ප්‍රතික්ෂේප කොට ඇත්තේ ඇයිදැ යි ප්‍රශ්නයක් බවත් ඇමතිවරයා පැවසුවා.

කෙසේ වුවද ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් තිදෙනාගේ නිල කාලය ජනවාරි 18 වැනි දා අවසන් වීමට නියමිත යි.  විපක්ෂය චෝදනා කරන්නේ ආණ්ඩුව ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින්ගේ කාලය අවසන් වූ පසු ආණ්ඩුවට හිතවත් නියෝජිතයින් පත් කරගෙන ඔවුන් ලවා ජනාධිපතිවරයාට හිතවත් විගණකාධිපති වරයකු පත්කර ගැනීමේ අරමුණෙන් කටයුතු කරන බවයි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් තිදෙනා පත් කළ යුත්තේ අගමැතිගේ හා විපක්ෂ නායකගේ එකඟත්වයෙන්. දැනට එහි සිටින සිවිල් නියෝජිතයින් ද පත්වී සිටින්නේ එවක සිටි අගමැති ගේ හා විපක්ෂ නායකගේ එකඟත්වයෙන් බවයි දැනගන්නට තිබෙන්නේ.

සිවිල් නියෝජිතයින් තිදෙනා ගැන හරිනි සජිත් එකඟතා කොට උඩ?

මේ අතර පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් වාර්තා වන අන්දමට පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ දී අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ව්‍යවස්ථාදායක සභාවට සිවිල් නියෝජිතයින් තිදෙනා පත්කිරීම ගැන සාකච්ඡා කොට තිබෙනවා. මෙම තනතුරු තුන සඳහා පත්කිරීමේ දී අගමැතිනියගෙන් එක නමක් ද, විපක්ෂ නායකගෙන් එක් නමක් ද යෝජනා වී දෙදෙනා ම එය පිළිගන්නා අතර තුන්වැනියා පත් කරන්නේ අගමැති හා විපක්ෂ නායක දෙදෙනාගේ ම එකඟත්වයෙන්.

එහෙත් බදාදා පැවති සාකච්ඡාවේ දී එකඟත්වයකට ඒමට දෙදෙනාට ම හැකි වී නැහැ. යළිත් බ්‍රහස්පතින්දා මේ ගැන අගමැතිනිය හා විපක්ෂ නායක හමුවී සාකච්ඡා කොට ඇතත් විසඳුමකට එළඹ නැති බවයි වාර්තා වෙන්නේ.

යම් හෙයකින් ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් තිදෙනා පත්කර ගැනීමට අගමැතිට හා විපක්ෂ නායකට නොහැකි වුණොත් ව්‍යවස්ථාදායක සභාවේ දැනට සිටින සිවිල් සාමාජිකයින් තිදෙනාට දිගට ම එම තනතුරුවල රැඳී සිටීමට ඉඩ ලැබෙනවා.

එවැනි තත්වයක් ඇති වුවහොත් විගණකාධිපති පත් කිරීම තවත් කල් යනු ඇති. මේ තත්වය යටතේ විගණකාධිපතිවරයකු නොමැතිව පාර්ලිමේන්තුවේ 'කෝප්' කමිටුව හා 'කෝපා' කමිටුවට ඉදිරියට කටයුතු කරගෙන යෑම බරපතල ප්‍රශ්නයක් වනු ඇතැ යි පාර්ලිමේන්තුවේ නිලධාරීන් පවසනවා.

⋆⋆⋆  ⋆⋆⋆  ⋆⋆⋆

 සජිත්, සාගල මුලිච්චි වෙලා

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම ගැන එම පක්ෂ දෙකෙහි ම ප්‍රධානීන් දැඩි උනන්දුවකින් කටයුතු කරන බව වාර්තා වෙනවා.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතියේ ටාජ් සමුද්‍රා  හෝටලයේ 'කළම්ඹු ක්ලබ්' හි දි එක්සත් ජාතික පක්ෂයේ නායකයකු වන සාගල රත්නායක මහතා හමු වී තිබෙනවා. මීට පෙර සජිත් හමුවූ අකිල, නවීන් හා රුවන් තිදෙනාගේ සාකච්ඡාවට සාගල ඇතුළත් වී සිටියේ නැහැ.

පසුගිය බදාදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ නායක, හිටපු ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 'සිරිකොත' පක්ෂ මූලස්ථානයේ දී රැස්වුණා.

සජිත් සමඟ පැවති සාකච්ඡාවේ තොරතුරු එහිදී නවීන් දිසානායක මහතා විස්තර කළා.

රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා ඇත්තේ හිස් අතින් නිකං ගොස් සාකච්ඡා කිරීමෙන් වැඩක් නැති බව යි. ඒ නිසා ඉදිරි සාකච්ඡාවලට වැඩ පිළිවෙලක් සහිතව යායුතු බව ද ඔහු පවසා තිබුණා.

මේ අනුව සමගි ජන බලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් ඉදිරියේ දී එකමුතුව කටයුතු කිරීම සඳහා පොදු වැඩ පිළිවෙලකට අදාළ ප්‍රධාන යෝජනා හයක් මෙම රැස්වීමේ දි සම්මත කර ගෙන තියෙනවා.

මෙම යෝජනා සමගි ජන බලවේගය වෙත යවා ඇති අතර ඒ ගැන සාකච්ඡා කිරීම සහා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ලබන අඟහරුවාදා (13) රැස්වීමට නියමිත බව ද දැනගන්නට තිබෙනවා.

මේ වන විට පක්ෂ දෙකේ ම සාකච්ඡා වී තිබෙන්නේ පක්ෂ දෙක එක්වී පිහිටුවන සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාටත්, සභාපති ධූරය රනිල් වික්‍රමසිංහ මහතාටත් පැවරිය යුතු බව යි. එහෙත් මෙයට තවම අවසන් එකඟත්වයක් ලැබී නැති බව ද දැන ගන්නට තිබෙනවා.

 - ජගත් -