උණුසුම් පුවත්කාලීනදේශපාලනපරිසරයසංස්කෘතික

වාද ‌භේද නොසලකා රටේ සැබෑ සෛරීත්වය‌ භෞමික අඛණ්ඩතාව, ඒකීයභාවය හා දේශපාලන නිදහස ශක්තිමත් කළ යුතුයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 

අප රටේ මේ වන විට බෞද්ධාගමික විහාරස්ථාන පන්සල් 14129ක් පමණ ඇති බවත් ඒ තුළි 10347ක් දහම් පාසල් ඇති බවත් 824ක් පිරිවෙන් සේම ශාසනාරක්ෂක බල මණ්ඩල කොට්ඨාස 327ක් ඇති බවත් සැවොම එකමුතුව ධෛර්ය ශක්තිය යොදවා පන්සල් පද්ධතිය රැක ගැනීමට සම්බුද්ධ ශාසනයේ මුරදේවතාවුන් ලෙස මහා සංඝරත්නයට ලබා දිය හැකි උපරිම ශක්තිය ලබා දෙමින් පෙරහැර සංස්කෘතිය, දහම් අධ්‍යාපනය, පන්සල් පද්ධතිය ශක්තිමත් කර රැකබලා ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ 50 වැනි වතාවටත් පැවැති මහරගම ශ්‍රී විපශ්‍යාරාම මහා විහාරස්ථානයේ ස්වර්ණාභිෂේක පෙරහැර පිංකම් මාලාව හා එක්වූ අවස්ථවේදීය.
රටක් ලෙස ජාත්‍යන්තරයේ ලෝකයේ සිදුවන සියලු ක්‍රියාකාරකම් තුළ අප රට බරපතල අභියෝග ගැටලු ප්‍රශ්න රැසකට මුහුණ දෙන බවත් බාහිරව ඇති වන ඒ පරිසර තත්ත්වයන් තුළ විශේෂයෙන්ම මැදපෙරදිග යුදමය තත්ත්වය ස්ථාවරවීමට ලක් නොවන තත්ත්වයක් තුළ බහුවිධ බලපෑම්වලට අප රටට මුහුණ දීමට සිදුවන බවත් සමහර රටවල් හා සංවිධාන අප රටේ බංකොලොත්භාවය කේන්ද්‍ර කර ගෙන යම් යම් උත්සාහ දරා රටේ සෛරීභාවයට බලපෑම් එල්ල කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.
දෙවැනි ලෝක සංග්‍රමයෙන් පසුව සෘජු අධිරාජ්‍යවාදය ඉවත්ව ගියත් මේ වන විට බොහෝ බලවත් රටවල් සෘජු අධිරාජ්‍යවාදය වෙනුවට වක්‍ර අධිරාජ්‍යවාදී බලපෑම් අප රටට පමණක් නොව ගෝලීය දකුනේ රටවලට එල්ල වන මොහොතක වාද ‌භේද නොසලකා රටේ සැබෑ සෛරීත්වය‌ භෞමික අඛණ්ඩතාව, ඒකීයභාවය හා දේශපාලන නිදහස ශක්තිමත් කළ යුතු බවත් රටේ ඒකීය භාවය සුරක්ෂිත වන්නේ ආගමික නායකයන් දෙන අනුශාසනා පිළිපදිමින් සැවොම අත්වැල් බැදගෙන කටයුතු කිරීම තුළ බවත් විපක්ෂ නායකවරයා කී ය.
දහම් පාසල් පද්ධතිය දෙස බලන විට වසර ගණනාවක් පුරා කොරෝනා වසංගතය සමඟ ඉරිදා දිනවල දහම් අධ්‍යාපනය ලැබූ සිසු පරපුර දරු පරපුර හා යොවුන් පරපුර ක්‍රමක්‍රමයෙන් අඩුවී යාමේ තත්ත්වයක් මතුව තිබෙන බවත් මෙය භයානක තත්ත්වයක් බවත් දහම් අධ්‍යාපනය තුළින් නිවැරදි සුචරිත ශීලාචාර ශිෂ්ටසම්පන්න ප්‍රබුද්ධ ප්‍රශස්ත දරු පරපුරක් නිර්මාණය වන බවත් අප රටේ පන්සල් හා සෙසු ආගමික සිද්ධස්ථාන කේන්ද්‍ර කර ගෙන සුහුරු පරපුරක් නිර්මාණය කිරීමට ආගමික වශයෙන් ආගම්වලට ගරු කරමින් මේ ඉගැන්වීම් කටයුතු කරන උතුම් ප්‍රතිපත්තිය අනුගමනය කරමින් මීට වඩා වැඩි උනන්දුවක් දක්වා දහම් අධ්‍යාපනය ප්‍රගුණ කරන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ය.
ප්‍රායෝගික ගැටලු සහ ප්‍රශ්න රැසක් ඇති මුත් සැවොම එකට එකතු වී ප්‍රායෝගික බෞද්ධයන් ලෙස පක්ෂ විපක්ෂ භේදයෙන් තොර පෙරහැර සංස්කෘතිය මුහුණ දෙන ගැටලු ගැන මධ්‍යස්ථාව සිතා විසදුම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.