පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද (04) පැවති මාධ්‍ය හමුවේ දී
පසුගිය සතියේ කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් නීතිය පිළිබඳ මහාචාර්ය ජනාධිපති නීතිඥ නලින්ද ජයතිස්ස ඇමතිතුමා ප්‍රකාශයක් කළා අපි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතුයි කියලා කියන්නේ නොදන්නාකමටලු.
එතුමා කියනවා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විමසුමකට යොමු කිරීමේ විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැතිලු. එතුමානම් කමක් නෑ කියමුකෝ. තමන් නීතිඥයෙක් විදිහට හඳුන්වා ගන්න සුසන්ත දොඩාවත්ත මන්ත්‍රීතුමාත් අපිට ආරාධනා කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තිය කියවන්න, 83 වන වගන්තියේ තමයි තියෙන්නේ ජනමත විචාරණයකට යොමු කළ යුතු කාරණා. හැබැයි අධිකරණ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ වයස තීරණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන වගන්තිය සංශෝධනය කිරීමේදී ජනමත විචාරණයට යොමු කළ යුතුයි කියලා ව්‍යවස්ථාවේ නෑයි කියලා දොඩාවත්ත මන්ත්‍රීතුමා රටට කියනවා.
ඇත්තෙන්ම ඔය වගේමයි මේ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස ගැන මේ දිනවල මාධ්‍ය හමු පවත්වන මාලිමා නීතිඥයෝ, දැන් මාලිමා නීතිඥ සංගමය එළියට බහින්නේ නෑ ඒ වෙනුවට ඇවිල්ලා තියෙන ජනවරමේ නීතිඥයෝ කියන කණ්ඩායමත් ඔය කාරණය ඔය විදිහටම කියනවා.
ඉතින් මේ සියලු දෙනාම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරයට යොමුකිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ප්‍රකාශ කරන නිසා අපිට ඔවුන්ට නීතිය පිළිබඳ පාඩමක් නැවත වතාවක් කරන්න සිද්ධ වෙනවා.
නලින්ද ඇමතිතුමනි, ඔබතුමා වැස්සකට හරි නීති විද්‍යාලයට ගොඩ වෙලා තිබෙනවා නම් නීති හෝඩියේ උගන්වන පාඩමක් තමයි ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන විට ඊට අදාළ නඩු තීන්දු සමග අර්ථ නිරූපණය කළ යුතුයි. නීතිය වන්නේ හුදෙක් පාර්ලිමේන්තුව සම්මත කරන ව්‍යවස්ථා පනත් පමණක්ම නෙවේ. ඉහළ අධිකරණවල තීන්දුත් නීතියේ කොටසක්.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වඩාත් තේරෙන විදිහට කිව්වොත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස වෙනස් කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතුයි කියලා අපි ප්‍රකාශ කරන්නේ නඩු තීන්දු තුනක් පදනම් කරගෙන.
මුලින්ම ලංකාවේ නඩු තීන්දුව ගමු. දිලීප් නවාස් සහ ජනක් ද සිල්වා කියන විනිසුරුවරුන්ගේ එකඟතාවයෙන් විජිත් මලල්ගොඩ විනිසුරුතුමා 2022 දී කාර්මික ආරවුල් විශේෂ විධිවිධාන, පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු ලබා දෙද්දී ඉතා වැදගත් කාරණයක් කිව්වා.
ඒ තීන්දුවේදී කියනවා අධිකරණයේ ස්වාධීනත්වය ජනතා පරමාධිපත්‍යයේ කොටසක්. ඒ නිසා අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අනිවාර්යයෙන් ජනමත විචාරණයකට යොමු කළ යුතුයි. ඒ කියන්නේ ජනතා පරමාධිපත්‍යයේ කොටසක් අධිකරණයේ ස්වාධීනත්වය. එතකොට අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් ජනතා පරමාධිපත්‍යයට බලපානවා. ජනතා පරමාධිපත්‍යයට බලපාන ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වෙනි වගන්තිය අනුව ජනමත විචාරණයකට යොමු කළ යුතුයි. අධිකරණයේ ස්වාධීනත්වයට බලපානවා නම් තුන්වෙනි වගන්තියට බලපානවා, තුන්වෙනි වගන්තියට බලපානවා නම් 83 වෙනි වගන්තිය අනුව ජනමත විචාරණයකට යොමු කළ යුතුයි. දැන් කොහොමද අපි කියන්නේ මේ 22 වන සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට බලපානවා කියලා?
විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස තීරණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන වගන්තිය අඩංගු වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 'අධිකරණයේ ස්වාධීනත්වය' කියන පරිච්ඡේදයටයි. එහෙනම් 107 වෙනි වගන්තිය අධිකරණයේ ස්වාධීනත්වය කියන පරිච්ඡේදයේ තියෙන නිසා 107 වෙනි වගන්තියට කරන සංශෝධනයක් අධිකරණයේ ස්වාධීනත්වයට බලපානවා. අධිකරණයේ ස්වාධීනත්වය ජනතා පරමාධිපත්‍යයේ කොටසක් කියලා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ තියෙනවා. ජනතා පරමාධිපත්‍යය කියවෙන තුන්වෙනි වගන්තියට බලපාන ඕනෑම දෙයක් ජනමත විචාරණයකට යොමු කළ යුතුයි කියලා 83 වෙනි වගන්තියේ තියෙනවා. ඔන්න ඔය කාරණය පදනම් කරගෙන තමයි විපක්ෂයේ අපි නීතිය හරියට අධ්‍යයනය කරලා තමයි රටට කිව්වේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන් ජනමත විචාරණයකට යොමු කළ යුතුයි කියලා.
ඒ වගේම නීතියේ තිබෙන තවත් ඉතා වැදගත් මූලධර්මයක් තමයි තමන්ගේ නඩුවේ තමන්ම විනිසුරු නොවිය යුතුයි.
එංගලන්තයේ හිටිය කීර්තිමත් අගවිනිසුරුවරයෙක් වන ශ්‍රීමත් එඩ්වඩ් කෝක් 1610 තරම් ඈතකදී තමයි වෛද්‍ය බොන්හැම් නඩුවේදී මේ මූලධර්මය හඳුන්වා දුන්නේ. අද වන විට ඒ නඩු තීන්දුවෙන් බිහි වුණු මේ මූලධර්මය විශ්වීය නීතියක් බවට පත් වෙලා සෑම රටකම අධිකරණයන් විසින් පිළිගන්නා මූලධර්මයක් බවට පත් වී තිබෙනවා. එතකොට එංගලන්ත නඩු තීන්දුත් අපේ රටේ නීතිය පෝෂණය කරගන්න ඉතිහාසය පුරාම භාවිතා කරලා තියෙනවා.
ඒ අනුව බලද්දී තමන්ගේ නඩුවේ තමන් විනිසුරුවරයෙක් නොවිය යුතුයි. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඍජුම ප්‍රතිලාභීන් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ට මේ වෛද්‍ය බොන්හැම් නඩු තීන්දුව අනුව තමන්ට ප්‍රතිලාභයක් ලැබෙන 22 වන සංශෝධනය අහන්න බෑ.
අපි දන්නවා තමන්ගේ මිත්‍රයෙක්ගේ, ඥාතියෙක්ගේ නඩුවක් ආවාම ඒ සම්බන්ධයෙන් හෙළිදරව් කරලා විනිසුරුවරුන් ඒක තමන්ගේ සමාන වෙනත් උසාවියකට යොමු කරනවා. දැන් මේකේ සියලුම විනිසුරුවරුන් එක වගේ ප්‍රතිලාභීන් වන නිසා තමන්ට අහන්නත් බෑ වෙනත් උසාවියකට යොමු කරන්නත් බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? එහෙනම් ඉහළ උසාවියට යොමු කරන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහළින් තිබෙන උසාවිය තමයි ජනතා අධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු සියලුම අධිකරණ පාවිච්චි කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවෙනි වගන්තියෙන් අධිකරණයට භාර දුන්නු ජනතාවගේ අධිකරණ බලය. අධිකරණයට නඩුව අහන්න බැරි තැන්වලදී ජනතාව ඒක ඍජුවම නඩුව අහනවා. ජනතාවගේ තීන්දුව දෙන්නේ ජනමත විචාරණයකදී.
ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතුයි කියලා අපි ඉතාම නීතිමය මූලධර්මානුකූලව ප්‍රකාශ කරන්නේ.
ඒ වගේම තවත් කීර්තිමත් ඉංග්‍රීසි අගවිනිසුරුවරයෙක් වන ගෝඩන් හෙවාට් සාමිවරයා 1923 දී මැකාති නඩුවේදී ප්‍රකාශ කරනවා අධිකරණය යුක්තිය ඉටු කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ, යුක්තිය ඉටු කළ බව විද්‍යාමාන විය යුතුය.
දැන් මේ මූලධර්මය රැකෙන්න නම් ශ්‍රේෂ්ඨාධිකරණය මොකද කරන්න ඕනේ? ආණ්ඩුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට ලබා දෙන අල්ලසක් ලෙස බැලූ බැල්මට පෙනෙන මේ ව්‍යවස්ථා සංශෝධනය ජනතා අධිකරණයට යොමු නොකර තමන්ම තීන්දු කළොත් ඊට පස්සේ ජනතාවට පේන්න හිතෙනවා තමන්ට වසර දෙකක සේවා දිගුවක් ලබා දුන්නු ආණ්ඩුවට මේ විනිසුරුවරුන් පක්ෂග්‍රාහීව ක්‍රියාත්මක වේවි කියලා. එහෙම හිතුනාම ඇති. විනිසුරුවරයා ඇත්තටම පක්ෂග්‍රාහී වෙන්න ඕනේ නෑ, පක්ෂග්‍රාහී කියලා හිතුනත් ඇති. ඇයි? හෙවාට් සාමිවරයා කිව්වේ යුක්තිය ඉටු කිරීම පමණක් ප්‍රමාණවත් නෑ යුක්තිය ඉටු කරන බව විද්‍යාමාන වෙන්න ඕනේ. ඔය විද්‍යාමාන වීම නැති වෙනවා තමන්ගේ නඩුව තමන් අහලා ආණ්ඩුවෙන් ලබා දෙන මේ තුටු පඬුර භාර ගත්තොත්. එහෙම බැලුවත් මේක අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යොමු කරන්න ඕනේ.
ගරු නලින්ද ජයතිස්ස ඇමතිතුමනි, සුසන්ත දොඩාවත්ත මන්ත්‍රීතුමනි, නීතිඥ සංගමයේ රැස්වීම්වලට නොපැමිණ මාධ්‍ය හමුවල පාලු ගෙයි වලං බිඳින මාලිමා නීතිඥවරුනි, අපි 22 වන සංශෝධනය ජනමත විමසුමට යොමු කළ යුතුයි කියන්නේ මෙන්න මේ වැදගත් නඩු තීන්දු තුන මත පිහිටා ඉඳිමින් කියන එක ඔබට දැනුම් දෙන්න කැමතියි.
ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මින් ඉදිරියටවත් අර්ථ නිරූපණය කරද්දී ඊට අදාළ නඩු තීන්දු ගැනත් අවධානය යොමු කරන්නයි කියලා නලින්ද ජයතිස්ස ඇමතිතුමා ඇතුළු මාලිමා නීති විශේෂඥයන්ට අපි සිහිපත් කරනවා.
මහර බන්ධනාගාර මරණයේ ලේ මාලිමා මන්ත්‍රිවරුන් 152ක ඇඟ පුරා ගෑවෙයි
විපක්ෂය විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී අධිකරණ ඇමතිතුමාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට අපි අපේ සහයෝගය පළ කළේ බන්ධනාගාර තුළ මේ මොහොතේ මතු වී තිබෙන තදබදයට ඍජුවම වගකිව යුතු පුද්ගලයා වෙන කවුරුත් නොව අධිකරණ ඇමතිවරයා නිසා. මේක මේ කොහෙදෝ යන කෝච්චි දෙකක් හැප්පුනාම දුම්රිය ඇමතිවරයා ඉල්ලා අස් වෙනවා වගේ වැඩක් නෙවෙයි. නැත්නම් ඉන්දියාවේ වුණා, ජපානයේදී බස් අනතුරක් සිදු වුණාම ප්‍රවාහන ඇමති ඉල්ලා අස් වුණා, මේක මේ වගේ වක්‍ර දෙයක් නෙවෙයි ඍජුවම අධිකරණ ඇමතිවරයා වගකිව යුතු කාරණයක්.
හැබැයි මාලිමාවේ මන්ත්‍රීවරුන් 152 ක් එකතු වෙලා විශ්වාසභංග යෝජනාවේදී අධිකරණ ඇමතිවරයා රැක ගන්න ඡන්දය පාවිච්චි කරපු නිසා අධිකරණ ඇමතිතුමා තවදුරටත් තනතුරේ සිටිනවා. ඒ නිසා එතුමාගේ අකාර්යක්ෂමතාවය නිසා විසඳෙන්නේ නැති අපි ඔය මීගමුව ගැටුම් අවස්ථාවේදී ඉදිරිපත් කරපු ප්‍රශ්න 10 තවමත් ඒ විදිහටම තියෙනවා.
ඒ ස්වර්ණමය අවස්ථාව අහිමි කළේ වෙන කවුරුවත් නෙවෙයි අධිකරණ ඇමතිතුමාව තාර්කික භාවයකින් තොරව රැක ගන්න ඉදිරිපත් වුණු මාලිමා මන්ත්‍රීවරු 152. දැන් මොකක්ද ඒකේ ප්‍රතිඵලය? මීගමුවේ බන්ධනාගාර ගැටුම සිදුවෙලා හරියට මාසයක්වත් ගතවෙන්න කලින් ඔන්න දැන් මහර බන්ධනාගාරයේත් ගැටුමක් ඇතිවෙලා තියෙනවා. ඒකේ මූලාරම්භයන් (triggers) මොනවා වුණත් සැබෑ හේතුව මේ බන්ධනාගාරවල ඇතිවෙලා තියෙන දැඩි තදබදය හේතුවෙන් නිලධාරීන්ටත්, බන්ධනාගාර රැඳවියන්ටත් ඇතිවෙලා තියෙන දැඩි මානසික පීඩනය.
ඒක දන්නේ ඒකක් ඇතුළේ ඉඳලා ඒ පීඩනය දරන අයෙකුට විතරයි ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා සාමකාමීව විසඳිය යුතු ප්‍රශ්න මහා ගැටුම් බවට පරිවර්තනය කරන්නේ දෙපාර්ශ්වයම දැඩි පීඩනයක ඉන්න නිසා.
දැන් ඒ තදබදයේ ප්‍රශ්නය විසඳීමට ඇමතිවරයා ගත යුතු ක්ෂණික පියවර මීගමූ සිද්ධියේදී අරගත්තේ නැති නිසා තමයි මාසයක් ඇතුළත මහර සිදුවීම සිදු වුණේ. ඔබට මතක ඇති මීගමූ සිදුවීම සිදු වුණේ ජූලි මාසේ 5 වෙනිදා. මහර බන්ධනාගාරයේ ගැටුම ඇති වෙන්නේ අගෝස්තු මාසේ 1 වෙනිදා. මාසයක්වත් නෑ. ඒ විතරක් නෙවෙයි ඕනෑම බන්ධනාගාරයක ඉදිරි දිනවල ඕනෑම මොහොතක තවත් මෙවැනිම ගැටුම් ඇතිවීමේ අවදානමක් තිබෙනවාය කියන එක අපි ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරනවා.
මොකද බන්ධනාගාර තදබදය මෙතරම් කලබලගෑණි සිදු වුණත්, මෙතරම් විවේචන එල්ල වුණත් බන්ධනාගාර තදබදයට හේතු වුණු කාරණා 10 අපි විසින් ආණ්ඩුවට පෙන්වා දී තිබුණත් එයින් එකක්වත් විසඳන්න මේ දක්වා ආණ්ඩුව කිසිම පියවරක් අරගෙන නෑ.
ආණ්ඩුව මාලිමාවේ වුණාට රට අපේ. නිලධාරීන් විදිහටත් සිරකරුවන් විදිහටත් මිය යන්නේ, තුවාල වෙන්නේ අපේ සහෝදර ජනතාව. ඒ නිසා උද්ධච්චකම පැත්තක තියලා මේ විසඳුම් ක්‍රියාත්මක කරන්න දැන්වත් කටයුතු කරන්නයි කියලා අපි අධිකරණ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
මුලින්ම, මානව හිමිකම් කොමිසම නිර්දේශ කරලා තියෙන ආකාරයට දැනට වැඩතහනමකට ලක් වෙලා ඉන්න තුෂාර උපුල්දෙනිය මහතාව නැවත සේවයේ පිහිටුවලා, වසරකට වැඩි කාලයක් තිස්සේ හිස නැති කවන්ධයක් බවට පත් වෙලා තියෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ස්ථිර බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයෙක් ලබා දීමෙන් හිස ලබා දෙන්නයි කියලා අපි හර්ෂණ නානායක්කාර ඇමතිතුමාට කියනවා.
ඒ වගේම, බන්ධනාගාරයේ ධාරිතාවය වගේ හතර ගුණයක් සිරකරුවන් රඳවා සිටීමෙන් තමයි බන්ධනාගාරයේ මේ තදබදය ඇති වුණේ. අපි කලින් පෙන්වලා දීලා තියෙනවා මීගමු ගැටුම අවස්ථාවේ. මේ සිරකරුවන්ගෙන් 75% ක්ම රක්ෂිත බන්ධනාගාරගත කළ අය. ඒ අයගෙන් 80% ක් මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවලට අත්අඩංගුවට පත් වෙලා ඇප ලබා ගැනීමට නොහැකි වීමෙන් බන්ධනාගාරයේ සිටින අය.
මෙහෙම බන්ධනාගාර පිරෙන්න හේතුව තමයි රස පරීක්ෂක වාර්තාවල ප්‍රමාදය. ඇත්තෙන්ම රටේ ලොකු චෝදනාවක් තිබුණා මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටත්, මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන්ටත් රටේ නීතිය එකම හැන්දෙන් බෙදන්නේ, ඒ නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බයක් සැකක් නැතුව මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙනවා, අහිංසක ඇබ්බැහි වූවන්ට පමණක් දඬුවම් ලැබෙනවා.
මේ නිසා 2022 දී අන්තරායකර ඖෂධ පනත සංශෝධනය කරලා මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ට වැඩි නම් ඇප ලබා දීම අභියාචනාධිකරණයටත්, 10 ට අඩු අයට මහාධිකරණයටත් කියලා නීතිය වෙනස් කළා. ඒ නීති සංශෝධනයත් එක්කම ආණ්ඩුව බලාපොරොත්තු වුණා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාවය ඉහළ නංවලා ක්ෂණිකව මේ වාර්තා ලබා ගැනීමේ වැඩපිළිවෙලක් හදන්න. නමුත් 2022 දී රට බංකොලොත් වෙලා බඳවා ගැනීම්, මිලදී ගැනීම් නතර කරන්න සිද්ධ වුණා.
2024 දී නැවත ආර්ථික අර්බුදයෙන් ලංකාව මිදුණා. නමුත් පසුගිය වසර දෙක පුරාවටම අධිකරණ ඇමතිවරයා මේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාවය වැඩි කරන්න අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා තමයි බන්ධනාගාරවල ධාරිතාවය වගේ හතර ගුණයක් අර සැමන් ටින් ගොඩගහලා තියෙනවා වගේ ගොඩගහලා තියලා රෑට නිදාගන්න වෙලා තියෙන්නේ වාඩි වෙලා. එතරම් මාස ගණනක් එක දිගට නින්දක් නැති පුද්ගලයෙක් ක්ෂණිකව කෝප වීම වෛද්‍ය විද්‍යාත්මකව සිදුවිය හැකි දෙයක් විදිහටයි විස්තර කෙරෙන්නේ.
ඊට අමතරව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාවය ඉහළ නැංවීමට අසමත් වීම අධිකරණ ඇමතිතුමාට තියෙන දෙවෙනි චෝදනාව. ඊට අමතරව, අධිකරණයේ තිබෙන පුරප්පාඩු, ඒ වගේම අධිකරණ විනිසුරුවරුන්ගේ පුරප්පාඩු, අධිකරණ කාර්ය මණ්ඩලවල පුරප්පාඩු, නීතිපති දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු යනාදී මේ කිසිම පුරප්පාඩුවක් පිරවීමට ඇමතිවරයා කටයුතු කරලා නෑ.
එතකොට, මේ සෑම ආයතනයකම තියෙන නිලධාරී හිඟය නිසා නඩු ඇසීම ප්‍රමාද වෙනවා, එහි ප්‍රතිඵලයක් විදිහට දිනපතා දිනපතා බන්ධනාගාරවල තදබදය වැඩි වෙනවා. ඉතින් මේ සියල්ලේම වගකීම පැටවෙන්නේ වෙන කාටවත් නෙවෙයි අධිකරණ ඇමතිවරයාට.
මේ කිසිවක් කරගන්න බැරි නම් අපි ආණ්ඩුවට යෝජනා කරා අර 2022 දී කරපු සංශෝධනය තාවකාලිකව හරි අත්හිටුවන්න. පනතට සංශෝධනයක් කරලා 2022 තාවකාලිකව අත්හිටෙව්වොත් බන්ධනාගාරයේ දැන් ඉන්න අගෙන් 50% කට ඇප අරගෙන ගෙදර යන්න පුළුවන්. බන්ධනාගාරය ආපහු සාමකාමී වෙනවා. අපි යෝජනා කළත් මේ දක්වා උද්ධච්ච ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිවක් කරලා නෑ.
දැන් ක්ෂණිකව කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ මොකක්ද? අධිකරණ ඇමතිවරයා අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කරනවා මහේස්ත්‍රාත්වරුන්ට නියෝගයක් නිකුත් කරන්න ඇප දිය හැකි සෑම අවස්ථාවකදීම ඇප ලබා දෙන්න. ඇප සඳහා ලබා දෙන කොන්දේසි ලිහිල් කරන්න. එතකොට බන්ධනාගාරවල තදබදය අඩු කරගන්න පුළුවන් වෙනවා.
කොවිඩ් කාලයේදී එවකට අධිකරණ ඇමතිවරයා අධිකරණ සේවා කොමිසම සමග සාකච්ඡා කරලා එවැනි නියෝගයක් නිකුත් කළා, ඒක ක්ෂණිකව කරගත හැකි දෙයක්. අද දවසෙත් විශාල පිරිසක් බන්ධනාගාරය ඇතුළට, රක්ෂිත බන්ධනාගාරයට යොමු කරලා අදත් තදබදය තවත් වැඩි වෙන්න නියමිතයි. මේක ක්ෂණිකව අධිකරණ සේවා කොමිසම සමග සාකච්ඡා කරලා ක්‍රියාත්මක කළ හැකි දෙයක්, මේ දක්වා එවැනි පියවරක්වත් ගන්න අධිකරණ ඇමතිවරයා කටයුතු කරලා නෑ.
එහෙමනම්, මීගමු සිද්ධියේදී අධිකරණ ඇමතිවරයා රැක ගන්න කටයුතු කළ මාලිමා මන්ත්‍රීවරුන් 152 දෙනාගේම අත්වල දැන් මහර බන්ධනාගාරයේ මියගිය අයගේ, තුවාල වුණු අයගේ ලේ තැවරී තිබෙන බව අපි ඒ මන්ත්‍රීවරුන්ට සිහිපත් කරනවා.

