ආරක්ෂකආර්ථිකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

පාර්ලිමේන්තුවේ සම්මතවූ මූල්‍ය පනත් කෙටුම්පත් තුනකට කථානායකවරයාගේ සහතිකය.

මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ (සංශෝධන), මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) යන පනත්

මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ (සංශෝධන), මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද ( 04 ) සිය සහතිකය සටහන් කළේ ය.

මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ශ්‍රේෂඨාධිකරණ නියෝගයට අනුව ( 14 වැනි වගන්තියට) විශේෂ බහුතරයකින් ද, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පතසංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී 2026.07.09 වෙනිදා සම්මත විය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත මගින් මුදල් විශුද්ධිකරණ අපරාධ මැඩපැවැත්වීම සඳහා පවතින නීතිමය යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් කිරීමටත්, මූල්‍ය අපරාධ සම්බන්ධ විමර්ශන කටයුතු කාර්යක්ෂම කිරීමටත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය යාවත්කාලීන කිරීමටත් අපේක්ෂා කෙරේ.

ඒ අනුව, මුදල් විශුද්ධිකරණ අපරාධවල විෂය පථය පුළුල් කිරීම, මූලික අපරාධයක් සම්බන්ධයෙන් වරදකරු බවට පත්වීමකින් තොරව ද මුදල් විශුද්ධිකරණ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකි වන පරිදි විධිවිධාන සැලසීම, සැක සහිත වත්කම් තාවකාලිකව රඳවා තැබීමේ නියෝග සහ වත්කම් පාලනය කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම මෙම සංශෝධනවල ප්‍රධාන අංග වේ.

එමෙන්ම, රඳවා තැබූ දේපළ කළමනාකරණය හා බැහැර කිරීම, අපරාධමය දේපළ රාජසන්තක කිරීම, විමර්ශන බලතල පුළුල් කිරීම, ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කිරීම සහ මුදල් විශුද්ධිකරණ වරද සඳහා වන දඬුවම් ඉහළ නැංවීම සඳහා ද නව ප්‍රතිපාදන මෙම පනත මගින් හඳුන්වා දී ඇත.

මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාව තුළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සහ සමූල ඝාතන අවි සංගුණනයට මුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

එමෙන්ම, අවදානම මත පදනම් වූ ප්‍රවේශය සහ ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීම පිළිබඳ අවශ්‍යතා විධිමත් කිරීම;

 වාර්තාකරණ ආයතන සඳහා වන වගකීම්වල විෂය පථය පුළුල් කිරීම;

 තත්කාලයෙහි බලපවත්නා යම් ලිඛිත නීතීන්ට යටත්ව , අතත්‍ය වත්කම් සේවා සපයන්නන් 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙහි "මුල්‍ය ව්‍යාපාර" අර්ථකථනය තුළට ඇතුළත් කිරීම;

 මූල්‍ය බුද්ධි ඒකකය පිහිටුවීමට අදාළ විධිවිධාන හඳුන්වා දීම සහ මූල්‍ය බුද්ධි ඒකකයේ බලතල, කාර්යයන් සහ වගකීම් ශක්තිමත්කි රීම;

ගනුදෙනු අත්හිටුවීමේ නියෝගයන්හි කාලය දින හතේ සිට වැඩ කරන දින දහහතර දක්වා දීර්ඝ කිරීම;

වාර්තාකරන ආයතනයන්හි අනුකූලතාවය බලාත්මක කිරීම සඳහා පරිපාලන දණ්ඩන පුළුල් කිරීම;

මුදල් විශුද්ධිකරණය වැලැක්වීම, ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීම සහ සමූළ ඝාතන අවි සංගුණනයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිලිබඳ ජාතික කමිටුව පිහිටුවීමට අදාළ විධිවිධාන හඳුන්වා දීම;

ත්‍රස්තවාදය, ත්‍රස්තවාදී අරමුදල් සැපයීම සහ සමූළ ඝාතන අවි සංගුණනයට මුදල් සැපයීම සම්බන්ධ ඉලක්කගත මූල්‍ය සම්බාධක පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂණ මණ්ඩල යෝජනා ක්‍රියාත්මක කිරීම වැඩි දියුණු කිරීම; පනතේ පැහැදිලි බව වැඩි දියුණු කිරීම සඳහා නව අර්ථකථන/ නිර්වචන සැපයීම.

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ සිංහල සහ ඉංග්‍රීසි පාඨයන් අතර විෂමතා නිවැරදි කිරීම යන කරුණු මෙම පනත් කෙටුම්පතේ අනෙකුත් ප්‍රධාන ලක්ෂණ ලෙස දැක්වේ.

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත සඳහා සංශෝධන හඳුන්වා දෙන අතර, ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම සඳහා පවතින නීතිමය රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ඇත.

මෙම සංශෝධන මගින් ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතිමය ක්‍රියාමාර්ග ජාත්‍යන්තර ප්‍රමිතීන් හා එක්සත් ජාතීන්ගේ සම්මුතිවලට අනුකූලව තවදුරටත් ශක්තිමත් කෙරෙන අතර, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමට ද පහසුකම් සැලසෙනු ඇත.

මෙමගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ සුපිළිපන්නභාවය ආරක්ෂා කිරීම, ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ මූල්‍ය කාර්ය සාධක බලකාය රාමුව යටතේ ශ්‍රී ලංකාව විසින් ඉටු කළ යුතු ජාත්‍යන්තර බැඳීම් සපුරාලීම සඳහා වන කැපවීම තවදුරටත් තහවුරු කරනු ඇත.

ඒ අනුව, මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ (සංශෝධන), මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) යන පනත් කෙටුම්පත් පිළිවෙලින් 2026 අංක 16 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ (සංශෝධන) පනත, 2026 අංක 17 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත සහ 2026 අංක 18 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.