උණුසුම් පුවත්කාලීනදේශපාලන

විනිසුරු විශ්‍රාම වයස දිගු කිරීමේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙයි.

විපක්ෂ නායක සජිත් නැඟූ ප්‍රශ්න 7 කින් යුත් ප්‍රශ්නාවලියකට ඇමති හර්ෂණ පිළිතුරු දෙයි

මෙම සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වාත් දීර්ඝ කිරීමට යෝජනා කර තිබේ.

අගවිනිසුරුවරයාගේ විශ්‍රාම යාම සම්බන්ධයෙන් ද නව නීති හඳුන්වා දී ඇති බවත්, ඒ අනුව වයස අවුරුදු 67 සම්පූර්ණ වීම හෝ ධුරයට පත්ව වසර 6ක් සම්පූර්ණ වීම හෝ යන කරුණු දෙකෙන් මුලින්ම එළඹෙන දිනයේදී ඔහු විශ්‍රාම ගතයුතු බව  නව සංශෝධන පනත් කෙටුම්පතේ දැක් වේ.
එමෙන් ම අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත මගින් මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා ඉහළ නැංවීමටත්, මහාධිකරණ විනිසුරු සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීමටත් යෝජනා කෙරී ඇත..
මෙම සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කීයේ, ඇතැම් පාර්ශව පෙන්වා දෙන තරම් යකෙක් මෙම සංශෝධනය තුළ නොමැති බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නාවලියකට  පිළිතුරු දෙමින් හර්ෂණ නානායක්කාර  අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඇතැම් සංවිධාන තොරතුරු විකෘති කරමින් සහ අසම්පූර්ණ තොරතුරු ලබා දෙමින් දේශීය හා ජාත්‍යන්තර පාර්ශවකරුවන් නොමඟ යැවීමට උත්සාහ කර ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු දින හතක කාලයක් තුළ ඕනෑම අයෙකුට එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට නීතිමය අවස්ථාව පවතී.