පිවිතුරු හෙළ උරුමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකියි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් 2026 අගෝස්තු 03 දින මාධ්‍ය හමුවකදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක්, මරණීය තර්ජනයක් ලෙස හුවා දක්වමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම පිවිතුරු හෙළ උරුමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකියි.
සාගර කාරියවසම් මහතා අදාළ මාධ්‍ය හමුවේදී දැක්වූ ප්‍රකාශය දෙස බැලීමේදී, ඔහු කිසිදු තැනක පොලිස්පතිවරයාට මරණීය තර්ජනයක් කිරීමට හෝ ඒ සඳහා ජනතාව පෙළඹවීමට කටයුතු කර නොමැති බව ඕනෑම අයෙකුට පෙනී යන සත්‍යයකි. එම මාධ්‍ය හමුවේදී ඔහු අවධාරණය කළේ, පොලිස්පතිවරයෙකුගේ කාර්යභාරය විය යුත්තේ ආණ්ඩුවේ ඉත්තෙකු වීම නොව සැබෑ මහජන සේවකයෙකු වීම බවයි.
මෙම මාධ්‍ය හමුව ශ්‍රවණය කර තමන්ට මරණ බියක් ඇති වූ බවට පොලිස්පතිවරයා ප්‍රකාශ කරන්නේ නම් එය සැබැවින්ම පුදුම සහගතය. නීතිඥ සාගර කාරියවසම් මහතා යනු පාතාල කල්ලි නායකයෙකු හෝ සාමාජිකයෙකු නොවේ. ඔහු මෙම ප්‍රකාශය කරනුයේ පොලිස්පතිවරයාට පෞද්ගලිකව තර්ජනය කිරීමේ අරමුණින් ද නොවේ. එය හුදෙක්ම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතේ මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයක් පමණි.
එසේ නම්, මෙහිදී පොලිස්පතිතුමා කළ යුතුව තිබුණේ බියට පත්වීම හෝ කාරියවසම් මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම නොව, අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කිරීමයි. එසේම, කාරියවසම් මහතා විසින් කරන ලද සම්පූර්ණ කතාව වෙනුවට ඉන් කොටසක් පමණක් උපුටා ගෙන, එය තමන්ට අවශ්‍ය පරිදි අර්ථකථනය කරමින් පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව මෙහිදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන තවත් කරුණකි.
වත්මන් මාලිමා ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව හිට්ලර්ගේ ගෙස්ටාපෝ පොලීසියක් බවට පත් කර, විරුද්ධ මතධාරීන් කවර ආකාරයෙන් හෝ දඩයම් කිරීමට උත්සාහ දරමින් සිටින බවට නීතිඥ සාගර කාරියවසම් මහතා සම්බන්ධයෙන් පොලීසිය ගත් මෙම ක්‍රියාමාර්ගය කදිම සාක්ෂියකි.
ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නැගෙන ආගමික, දේශපාලනික සහ සාමාජීය විරෝධයන් මර්දනය කිරීම සඳහා ඉදිරියේදීත් මෙම පොලිස් මර්දනය දිගින් දිගටම යොදා ගනු ඇතැයි යන සාධාරණ සැකය මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මෙරට ජනතාව තුළ ඇති වෙමින් පවතී.
ආණ්ඩුවේ මෙම නිවට, මර්දනකාරී වැඩපිළිවෙළ හමුවේ බියෙන් හැකිළීමට හෝ පසුබැසීමට අප සූදානම් නොමැති බව ආණ්ඩුවට තරයේ මතක් කර දෙමු. වානේ පන්නරය ලබනුයේ ඒ මත එල්ල වන දැඩි බලපෑම් හමුවේ බව ඊනියා සමාජවාදී මාලිමා ආණ්ඩුවට අපි වැඩිදුරටත් සිහිපත් කරමු.
මීට
දේශප්‍රේමීත්වයෙන්
පිවිතුරු හෙළ උරුමය
උදය ගම්මන්පිල
නායක

