උණුසුම් පුවත්කාලීනතාක්ෂණයනව නිපැයුම්

සජිත් සිංගප්පූරු ගිහින්

සිංගප්පූරුවේ A*STAR ආයතනයේ ආභාෂය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට සාකච්ඡා රැසකට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ දිනවල සිංගප්පූරුවේ සිදු කරන ලද සංචාරය අතරතුර සිංගප්පූරුවේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඒජන්සියේ (A*STAR) සංචාරක නිරත වීමට ද කටයුතු කළේ ය.

මෙම සංචාරය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා A*STAR හි ප්‍රධාන ජාත්‍යන්තර හවුල්කාරිත්ව නිලධාරී ක්‍රිස් ලෙක් මහතා සහ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ එල්වින් චියා මහතා හමු විය. එහි දී සිදු කරන ලද සාකච්ඡාවලින් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් A*STAR හි නියෝජිතයන් හමුවේ කියා සිටියේ ශ්‍රී ලංකාවේ විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන සඳහා තනි ඉහළ ආයතනයක් (Sri Lanka Agency for Science Technology and Innovation) තමා බලයට පැමිණි පසු ස්ථාපිත කරන බවයි.
 A*STAR හි තමා කියවූ, අසා ඇති සහ පෞද්ගලිකව නිරීක්ෂණය කළ දේ ඒකාබද්ධ කර මෙකී කටයුතු මෙහෙයවන ආයතනයක අවශ්‍යතාව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා මෙහි දී විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සඳහා ශ්‍රී ලංකා ඒජන්සියක් නිර්මාණය කිරීම යෝජනා කරන ලදී. ශ්‍රී ලංකාවේ දැනට පුළුල් ලෙස විසිරී ඇති අරමුදල් ඌනතාවයෙන් පෙළෙන සහ නිසි සම්බන්ධීකරණයක් නැති බහු පර්යේෂණ ආයතන ඇති බවත් මෙකී යෝජිත ආයතනය සඳහා කඩිනම් අවධානය යොමු කළ යුතු බවත් එහි දී ප්‍රධාන ක්ෂේත්‍ර වන කෘෂි-ජෛව තාක්ෂණය සහ ආහාර සුරක්ෂිතතාව, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව, සහල්, තේ සහ පොල් පර්යේෂණය, පසු අස්වනු සහ සීතල දාම තාක්ෂණය, නිවර්තන සෞඛ්‍ය සහ ජෛව වෛද්‍ය විද්‍යාව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා උසස් නිෂ්පාදනය, ඉලෙක්ට්‍රොනික හා නිරවද්‍ය මෙවලම්, කෘතිම බුද්ධිය, ඩිජිටල් පොදු යටිතල පහසුකම්, රජයේ තාක්ෂණය, ස්මාර්ට් සැපයුම් සහ ආපදා පුරෝකථනය යන කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් බවත් මෙහිදී විපක්ෂ නායකවරයා ගෙනහැර දැක්වීය.
එසේම A*STAR හි ගෝලීය වශයෙන් අගය කරන ලද, මෙහෙවර සහ ක්‍රියාත්මක කරන ලද ආකෘතිය, ශක්තිමත් රාජ්‍ය සහාය, කර්මාන්ත-පළමු ප්‍රවේශය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය කෙරෙහි අවධාරණය ඉස්මතු කළේය. ඉන්දියාවේ CSIR සහ දකුණු කොරියාවේ KIST වැනි සමාන ආයතන ද පවතින බවත් සඳහන් කළ විපක්ෂ නායකවරයා මෙම ආකෘතිවලින් ශ්‍රී ලංකාවට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බව ද සඳහන් කළේ ය.
පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා සිංගප්පූරුවේ තිරසාර ආයෝජනය සදහා, දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% ක් රජය විසින් සහ තවත් 1% ක් පෞද්ගලික අංශය විසින් දායකත්වය ලබා දෙන බවත් පැහැදිලි ජාතික දැක්මක් සහ ශක්තිමත් ආයතනවලට ඉහළ වටිනාකමක් ඇති ආර්ථික වර්ධනයක් කැා ගෙන යා හැකි බවත් පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා මේ ආකෘතිය ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු බවත් වැඩිදුරටත් පැවසී ය.