උණුසුම් පුවත්දේශපාලන

සමගි ජන බලවේගයේ විහිදුම් තරුණ හමුව

. අනුන්ගෙන් අරගන්නවා වෙනුවට ජනතාව වෙනුවෙන් බෙදන ආකාරය සජිත්ගෙන් ඉගෙන ගන්න

උඩින් පැන, මැදට පැන බලය කේන්ද්‍ර කර ගත් සංස්කෘතියකට තරුණයන් කැමති නොවන බවත් තරුණයන්ට මෙන්ම පුරවැසියන්ට තමන් විශ්වාස කරන ආගමක් දහමක් ඇදැහීමේ අවස්ථාව තිබිය යුතු බවත් පන්සල්, පල්ලි, කෝවිල්, දේවස්ථාන වන්දනා තහනම් කරන ආගම් අදහන නිදහස අහිමි කරන විකල්ප පාලනයන් ගෙන එනවාද නිදහස් නිවහල් රටක් ඇති කර ගන්නවාද කියා ජනතාව බුද්ධිමත්ව සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මිනිමැරීම, මංකොල්ලය, තර්ජන ගර්ජන හිරිහැර සිදු කරමින් බලය ලබා ගන්නා වූ මර්දනකාරී ප්‍රතිපත්ති රජ වූ කාල වකවානුවක් තිබූ බවත් තවදුරටත් එවැනි සංස්කෘතියකට ඉඩ තබනවාද කියා තරුණයන් අවබෝධ කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සමාජවාදය පෙරටු කර ගෙන නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය ගැන පුරසාරම් ගහන කාඩ්බෝඩ් සමාජවාදීන් තමන්ගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යවා පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ගනිමින් ජනතාව රවටමින් සිටින බවත් ඔවුන් ‘තමා දන්නේ බෙදන්න’ යැයි අපහාස කරමින් සිටියත් තමා ඔවුන් මෙන් එක එක අයගෙන් ඇඳුම් ආදිය ලබා ගෙන තමන්ගේ සුඛවිහරණය වෙනුවෙන් කටයුතු නොකරන බවත් තමා සැම විටම ජනතාව වෙනුවෙන් යමක් ලබා දීම පමණක් සිදු කරන බවත් එම නිසා අනුන්ගෙන් අරන් සැප විඳිනවා වෙනුවට ජනතාව වෙනුවෙන් බෙදන ආකාරය තමාගෙන් ඉගෙන ගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මාතර මහින්ද විජේසේකර ක්‍රීඩාංගනයේ පැවැති සමගි විහිදුම් බලගණයේ තරුණ සම්මුතිය එළිදැක්වීමේ රැස්විම අමතමිනි.

තවදුරටත් එක එක දේශපාලන පක්ෂවල ගොදුරු බවට පත් වෙන්න එපා

මැතිවරණ වසරක මෙරට තාරුණයය සහ පොදුජනතාව දේශපාලන ගොදුරු බවට පත් වෙමින් සිටින බවත් සුපුරුදු දේශපාලන සම්ප්‍රදාය තුළ බොරුව රැවටිල්ල ඇන්දවීම තුළ බොහෝ අවස්ථාවල රටේ තරුණයන් අතරමං වී ඇති නමුත් සමගි ජන බලවේගය තුළ රටේ ජනතාව ඉල්ලා සිටි වෙනස කතාවෙන් නොව ක්‍රියාවෙන් පසුගිය වසර 3 ඔප්පු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මහරජාණෙනි ආයු බොහෝ වේවා වෙනුවට පුරවැසියනි ආයු බොහෝ වේවා

ජනාධිපතිතුමින්, අගමැතිතුමනි ආයු බොහෝ වේවා යනුවෙන් රටේ නායකයන්ට ආයු බොහෝ වේවා යනුවෙන් පැවසුවත් ඒ ප්‍රතිපත්තිය උඩුයටිකුරු කර රටේ ජනවරමින් පත් වූ ජනතාවදී විපක්ෂය හුස්ම සක්වල වැනි වැඩසටහන් ක්‍රියාත්මක කර ආයු බොහෝ වේවා මහරජානෙනි වෙනුවට ආයු බොහෝ වේවා ලක්ෂ 220ක් මගේ ජනතාවනි කියන ක්‍රමයේ වෙනස ක්‍රියාත්මක කළේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි සාම්ප්‍රදායික දේශපාලනයේ වහලුන් නොවේ

බහුතරයක් තරුණයන් දේශපාලනඥයන් විශ්වාස නොකරන බවත් රටේ තරුණයන් සුපුරුදු ක්‍රමය අනුමත නොකළත් සමගි ජන බලවේගයේ සුපුරුදු ක්‍රමයේ වහලුන් හෝ ගැත්තන් හෝ සම්ප්‍රදානුකූල දේශපාලනඥයන් නොවන නිසා සමගි ජන බලවේගය ඉන් වෙනස්ව කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

තරුණ අයිතීන් මූලික අයිතිවාසිකම් ගොනුවට

වත්මන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තරුණයන්ගේ අයිතීන් ආරක්ෂා නොවන නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් තුළ තරුණයන්ගේ අයිතිය ආර්ථික සමාජීය දේශපාලනමය සංස්කෘතික හා ආගමික අයිතිය, නිදහස් නිවහල් අධ්‍යාපනයට සහ සෞඛ්‍යට ඇති අයිතිය තහවුරු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

ඉංග්‍රීසි බැරි ඇමතිවරු ඉන්න රටේ අධ්‍යාපනයත් ඛේදවාචකයක්

රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වගකිවයුතු ඇමතිවරයෙක්ගෙන් තරුණ මාධ්‍යවේදිනියක් ඉංග්‍රීසියෙන් ඇසූ ප්‍රශ්නයක් නොඇසුනා සේ සිටි බවත් මෙය මෙරට අධ්‍යාපනයේ වූ ඛේදවාචකයක් බවත් සිංහල පමණයි දමිළ පමණයි කිය කිය දේශප්‍රේමීත්වය ගැන කතා කර කර සුළුතරයක් වූ කොට්පතියන්ගේ දරුවන් පමණක් ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය හදාරා හොඳ අනාගතයක් හදා ගත්තත් බහුතරයක් ජනතාවට එවැනි යාවත්කාලීන අධ්‍යාපනයක් නොලැබෙන බවත් මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

රජ කුමාරවරුන්ගේ ග්‍රහණයට ලක් වූ තරුණයන්ට ප්‍රජාතන්ත්‍රීය අයිතිය ලබා දෙනවා

එසේම දරාගත හැකි මුදලකට ප්‍රග්ධනයට ප්‍රවේශය ලබා දී නව තරුණ ව්‍යවසයකයින් ලක්ෂ 10ක් සමගි ජන බලවේගය බිහි කරන බවත් රාජ්‍ය පාලනය තුළ තරුණයන්ගේ හඬට ඇහුම්කන් දෙන නව ක්‍රමවේද ව්‍යවස්ථාදායක සහ විධායකය තුළ නිර්මාණය කරන බවත් රජපවුල්වල කුමාරයන්ගේ ග්‍රහණයට යොවුන් පාර්ලිමේන්තු සහ යොවුන් සංකල්පය ලක් වුවත් එය දේශපාලන ඇගිලිගැසීම්වලින් ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය තුළ නිසිතැන ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.