උණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංගසතියේ සටහන

සමන් ඒකනායක උසාවි ඇදගෙන යෑම

කොළඹ, රත්නපුර හා අම්පාර තෙදිසාවේ ම දිසාපති තනතුර දැරූ ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරියකු ගේ ඇසින්

රට මුහුණ දුන් ආර්ථික අර්බුද‍ය  හමුවේ ධුරයෙන් ඉවත්ව  ගිය,  ජනාධිපති ගෝඨාභයගේ අනුප්‍රාප්තිකයා වීමේ  ඉඩ ලැබුණේ, ජ්‍යෙෂ්ඨතම දේශපාලන නායකයෙකු වූ රනිල් වික්‍රම සිංහටය. සාමාන්‍යයෙන් ජනාධිපති ධුරයට පත්වීමට, කෙනෙකුට, හදිසියේ ජනාධිපති වන්නට ලැබීම, මුලු ලෝකයේම වාගේ සැලකුණේ, ඔහුගේ වාසනාවට සිදුවූ දෙයක් ලෙස ය.

ඩී. බී. විජේතුංගයන්ට නම් ජනාධිපතිවීමට ලැබුණේ, ප්‍රේම්දාස ජනාධිපතිවරයාගේ අගමැති ලෙස,  වසර හතරකට වඩ කාලයක් සේවය කරමින් සිටියදී ය.

එහෙත් දෙවෙනි අනුප්‍රාප්‍තික ජනාධිපතිවරයා වූ, රනිල් වික්‍රමසිංහයන්, ගෝඨාභය විසින් කැඳවූ, පාර්ලිමේන්තු මැතිවරණයේ දී, පාර්ලිමේන්තුවටවත්  තේරුණේ නැත.

කොවිඩ් වසංගතයත් නිමාවී ගෝඨභයගේ ආණ්ඩුව, බරපතල ආර්ථික අර්බුදයක්ට ලක්වෙද්දී, පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ, සාමාන්‍ය මන්ත්‍රී වරයෙකු ලෙස, පත්වූ ඔහුට අවසානයේ කිසිවෙකු භාර ගැනීමට අකමැතිවූ,  ගෝටාභයගේ අගමැතිධුරය භාර ගැනීමට සිදු විය. අගමැති ලෙස ඔහුට කටයුතු කරන්නට වුණේ, ඔහුගේ සදාතනික විරුද්ධවාදීන් වූ, දේශපාලන කණ්ඩායමේ ඇමතිවරු සමග ය. ඔහුගේ විශ්වාසවන්තයෙකු ලෙස, පත්කර ගත හැකිවූයේ, අගමැති ලේකම්වරයා ලෙස පත්වූ සමන් ඒකනායක පමණි. අගමැති ලෙස  ඔහු පත්වන විටත්, 'ගෝඨා ගෝ හෝම්' කියා, අරගලයක් රටේ තීව්‍රව පැවතුණි. රනිල් අගමැතිවූ පසු ඒ අරගලයේ අය ම, රනිල් ගෝ හෝම් කියා, අතිරේක සටන් පාඨයක් ද, අරගලයට එකතු කළෝ ය. එසේ කළේ, රනිල්ගේ හදිසි ආගමනය නිසා, ගෝඨා එළවීමෙන් පසු, තමන් අරගලයෙන් ඉටුකර ගැනීමට, අපේක්ෂා කළ දේ  කරගැනීමට, නොහැකිවනු ඇති බවට, අරගලයේ පසුබිමේ සිටි, බලවේගවලට තේරුණු බැවිනි.  ඒ නිසා ගෝඨටත් වඩා රනිල්ට, හිරිහැර කරමින්, ඔහුගේ පෞද්ගලික නිවසත් ගිනිබත් කොට, ඔහුවත් නෙරපා තමුනුත්, තොලොන්ජිවී යායුතු බවට ගෝඨාට, කොන්දේසි දැමීමටද ඔවුහු ක්‍රියා කළහ. ඒ අතරම කතනායක මහින්ද අබේවර්ධනට, ජනාධිපති ධුරය භාරගන්නා ලෙස ට, බල කිරීමටත් මේ බලවේග කටයුතු කළේ, රනිල් ජනාධිපතිවීම වංගුවක් ගසා නැවැත්වීමට ය. එහෙත් වැදගත් නීතිගරුක මහත්මයෙකු වූ, මහින්ද අබේවර්ධන ඊට එකඟ වුණේ නැත. අවසානයේ රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වීමෙන්,  අරගල පසුබිමේ සිටි බලවේගවලට, අවශ්‍ය වූ රූකඩ රාජ්‍යක් ඇටවීමේ අරමුණට, මරු පහරක් වැදුණි. එමෙන් ම නහය ළඟට, එරී තිබුණු  ආර්ථික අර්බුදයෙන්  කෙටිම කාලයක් තුළ, රටක් ගොඩ ගැනීම ඒ විශ්මිත ලෝක වාර්තාව තබන්නත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමත් විය. වෙන අයෙකුට නම් වාසනාවට ලැබෙන, ජනාධිපතිකම රනිල්ට දැන්, අපලයක් බවට පත් කර ඇත්තේ, ඔන්න ඔය අරගලයේ පිටුපස සිටි, ගුප්‍ත බලවේග වලින්‍ යැපෙන දේශීය රූකඩ  බලවතුන් විසිනි. මේ පසුබිම කිව්වේ, මේ සියල්ලටම මුහුණ දී රනිල් වික්‍රමසිංහට, රට ගොඩ ගැනීමට සහය නිලධාරියෙකු ලෙස, උපරිම අයුරින් දුන් අවංක රාජ්‍ය නිලධාරියකු වූ, හිටපු ජනාධිපති ලේකම්, සමන් ඒකනායක ගැන කතා කරන්නය.

අද වන විට සමන් ඒකනායක  ඉන්නේ, රක්ෂිත බන්ධනාගාරයේ ය. ඒ රක්ෂිත බන්ධනාගාර ගතවූ, දෙවන ජනාධිපති ලේකම් ලෙස ය. මිට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ, ලේකම් ලෙස කටයුතු කළ ලලිත් වීරතුංග ට, රක්ෂිත බන්ධනාගාර ගත වන්නටත්, පසුව සිර දඩුවම් කෙටිකලක් විඳින්නටත් සිදුවිය. එදා ඔහුට සිදුවුණේ, ජනාධිපතිවරයාගේ නියමයක් මත, මේ රටේ සිල් සමාදන්වන අය අතර, බෙදා දෙන්නට සිල්‍ රෙදි මිලදී ගැනීමට, රාජ්‍ය ආයතනය අරමුදල්, භාවිතා කිරීමට ය. ඒ රාජ්‍ය ආයතනය ජනාධිපති ලේකම්වරයා ලෙස, ඔහු නිල සභාපතිත්වය දැරූ ආයතනයකි. රක්ෂිත බන්ධනාගාර ගතවූවා පමණක් නොව, මහාධිකරණයේ දි, ඒ චෝදනාවට වරදකරුවී සිර දඬුවම් විඳීමට ද ඔහුට සිදු විය. එදා ඔහු සිරගතවීම රාජ්‍ය සේවයේ, කම්පනයක් ඇති කළ සිදුවීමක් විය. ස්වාධීන  රාජ්‍ය ආයතන ප්‍රධානියෙකු ව සිටි, විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකු ප්‍රමුඛ, රාජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි පිරිසක්, ඒ නඩු තීන්දුවෙන්‍ රාජ්‍ය සේවාවට, ඇතිවන බලපෑම ගැන පැවැත් වූ, සාකච්ඡාවකට මට ද සහභාගි වීමට, අවස්ථාව ලැබුණි. එහිදී බොහෝ දෙනා අදහස් දක්වමින් කියා සිටියේ, ලලිත් වීරතුංග වැන්නෙක් මේ අන්දමින්, නොසැලකිලිමත් ලෙස තමන් අමාරුවේ වැටෙන අන්දමට,  මේ සිල්‍ රෙදි මිලට ගත්තේ ඇයි ද යන්නයි. අවසානයේ පොදු නිගමනය වුණේ, කවර කරුණකට වුව ද, තම විෂය පථයෙන් බැහර  රාජ්‍ය සම්පත් යොදා ගන්නා, කාර්යයන් හා සම්බන්ධ, තීරණ ගැනීම් වලදී ප්‍රවේසම් විය යුතු බවට ය. අවසානයේ අභියාචනාධිකරණයේ අභියාචන නඩුවෙන්, ලලිත් වීරතුංග මහතා නිදොස්කොට නිදහස් විය. ඔහු කළ ක්‍රියාව වරදක් වී නඩු විභාගයේ, තාක්ෂණික අඩුපාඩුවක්, පමණක් ඔහු වරද කරුවී තිබුණේ  නම්, නිදහස් වුවත් නිදොස් කෙරෙන්නේ නැත. ඒනිසා ඔහු අතින් වරදක් වී නැති බව,  ශ්‍රී ලංකාවේ දෙවැනි ඉහළම අධිකරණයේ, නඩු තීන්දුවෙන් පැහැදිලිවම පිළිගෙන ඇත.

දැන් මේ  රක්ෂිත බන්ධනාගාර ගතවූ දෙවනි ජනාධිපති ලේකම්වරයා වන, සමන් ඒකනායක මහතාව සැක කරුවෙකු බවට, පත්කර  ඇත්තේ තම විෂය පථයට, බැහැර කරුණක දී සිදුවූ දෙයකට නොවේ. ජනාධ්පතිවරයාගේ  ඔහුගේ කාර්ය මණ්ඩලයේ හා කාර්යාලයේ වියදම්, සඳහා වාර්ෂික අය වැය ලේඛනයෙන් වෙන්කර දෙන, මූල්‍ය ප්‍රතිපාදනයන් වලට අදාළ, ගණන්දීමේ නිලධාරියා වන්නේ, ජනාධිපති ලේකම්වරයා ය. ඒ අනුව සමන් ඒකනායක මහතා, ජනාධිපති ලේකම් වූ දින සිට, අනුර දිසානායක ජනාධිපතිතුමා දිවුරුම් දුන් දිනය දක්වා ම, ජනාධිපති කාර්‍යාලයේ ගණන්දීමේ නිලධාරියා ඔහු ය. ඔහු ජනාධිපති ලේකම් වෙද්දී,  මම විශ්‍රමිකයෙකු බැවින් ඔහුගේ ගණන්දීමේ, නිලධාරිකම ගැන පුද්ගලික අත්දැකීම් මට නැතත්, ඔහු අගමැති ලේකම් ලෙස සේවය කරද්දී, ඒ කාර්යාලයේ මූල්‍ය කළමනාකරණය ගැන, කොතරම් අවධානයෙන් ක්‍රියා කළේ ද යන්න ගැන, අත්දැකීමක් මට ඇත. ඒ 2016 දී කොළොන්නාව යට කරමින්, මහ ගංවතුර ගලා ලක්ෂයකට ආසන්න පිරිසක්, අවතැන්වූ එම ආපදාවේ, සහන කටයුතු වල අප තදින්ම, නිරතව සිටි දිනයකි. පෙරවරු 10.00 ට පමන අග්‍රාමත්‍ය ලේකම් සමන් ඒකනායක්ගෙන්, මට දුරකතන ඇමතුමක් ලැබුණි. ඔහු මගෙන් විමසුවේ අගමැතිතුමාට, කොළොන්නාවේ විපතට පත්වූවන්, බැලීමට යාමට අවශ්‍ය නිසා ඒ සඳහා, සුදුසු ස්ථාන දෙකක් කියන ලෙසට ය. මම අවතැන්වූවන්‍ රඳවා සිටි ස්ථාන දෙකක්, ඔහුට දැන්වීමි. මද වේලාවකින් අගමැති කාර්යාලයේ දේශපාලනමය ඉහළ තනතුරක්  දැරූ කෙනෙක්, මටකතා කර ඒ ස්ථාන දෙකේ අවතැන්වූවන් ප්‍රමාණය පිළිබඳව, විස්තර ඇතුළත් තොරතුරු, විමසා ලබාගෙන අගමැතිතුමා, 1.00 ට ඉන් පළමු තැනට එන බවත්, මා හටත්  එතනට එන ලෙසත් දන්වා සිටියේ ය. කඩදාසිය ලිපේ දැම්මාක් වැනි හදිසි වැඩවල නිරතව සිටි, මට කොළොන්නාවේ ඒ තැන්වල, පෙනී සිටීම අසීරු වුවත්, අග්‍රාමාත්‍යතුමා පැමිණෙන නිසා, මම එන්නම් යැයි පොරොන්දු වුණෙමි. තවත් පැය භාගයකින් පමණ යළිත් මට කතා කළ, සමන් ඒනායක මහතා, මගෙන් විමසුවේ, මේ අවතැන්වූවන්ට රජයේ වියදමින් දිවා ආහාරය, දෙනවා නේද කියා ය. මම ඔව් යැයි පවසා පිසූ ආහාර, පරිත්‍යාගශීලින්ගෙන් ලැබෙන ආහාර පාර්සල්‍ හා, ඉතුරු ප්‍රමාණය රජයේ වියදමින්, අවතැන්වූවන් රඳවා සිටි සෑම  තැන්වලටම ලබාදෙන බව  පවසා, ඇයි මොකුත් ප්‍රශ්නයක්දැයි විමසීමි.

''නෑ මේ මෙතන ඉන්න ලොක්කො, අගමැතිතුමා යන තැන්වල අයට, හොඳ 'ලන්ච් පාර්සල්' දෙන්න කියල, මගෙන් සල්ලි ඉල්ලනවා. මම උන්ට කියන්නම් උන්ගෙ සල්ලි වලින්, ඒ ලන්ච් එක දෙන්න කියල. ආණ්ඩුවෙන් දෙන ලන්ච් එක, ජී. ඒ. දෙනවය කියලත් කියන්නම් කියා" පැවසී ය.

මේ වෙලාවේ මම ඇසුවේ ''මටත් එතනට එන්න කියල කිව්වා වැඩ කෝටියක් තියෙනවා. ගිහිනුත් බෑ නොගිහිනුත්. බෑ" කියාය.

ඔහු අප අතර සුපුරුදු භාෂාවෙන් මට කිව්වේ, ''උඹ තියන වැඩ කරගනිං. ප්‍රාලේට කියපං අගමැතිතුමා එන නිසා එතනට එන්න කියල" කියා ය.

හැම අවස්ථාවකදීම ඔහු තම භාරයේ ඇති, රාජ්‍ය මුදල් පිළිබඳ මහත් අරපිරිමැස්මෙන් ක්‍රියාකළේ එසේ ය. ආර්ථික අර්බුදයෙන් පසුව ජනාධිපති කාර්යාලයේ අයට දෙන, තේ පැන් සංග්‍රහය ප්ලේන්ටියට සීමා කළ බවත්, විවිධ කමිටුවලට  ගෙවන දීමනා පවා, ගෙවීම අත් හිටුවා රාජ්‍යා අරමුදල්,  අර පිරිමැස්මෙන් වැය කළ බවත් එහි සේවය කළ අය පවසති.

ජනාධිපති ධුරයට පත්වූ අයෙකුට  ඔහුගේ තනතුරේ, බලතල ක්‍රියාත්මක කිරීම සහ කාර්ය හා කර්තව්‍ය,  ඉටු කිරීමට  තමාට සහය වීම සඳහා, අවශ්‍ය යැයි සිතෙන ලේකම් මණ්ඩලයක්, පත්කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) ව්‍යවස්ථාවෙන් ඉඩ ලබා දී ඇත. අනිකුත් කාර්යමණ්ඩල අමාත්‍ය මණ්ඩලය විමසා, පත් කරගත හැකිය. මේ ව්‍යවස්ථාව අනුව පත්වන ලේකම් වරුන්ට, ජනාධිපතිවරයා ඉල්ලා සිටින හෝ නියම කරන හෝ සහාය දෙනවා මිස, තම අභිමතයට අනුව ක්‍රියාකළ නොහැක. ජනාධිපති ලේකම් ලෙස මැණික්දිවෙල නම් ප්‍රාදේශීය ආදායම් නිලධාරියා පත් වුණෙත්, විජේදාස නම් සිවිල් සේවා නිලධාරියා පත් වුණෙත්, බාලපටබැඳි නම් නීතීඥයා පත් වුණෙත්, ලලිත් වීරතුංග, ඔස්ටින් ප්‍රනාන්දු, පීබී අබේකෝන්, උදය සෙනවිරත්න, ගාමිණි සෙනරත් වැනි පරිපාලනසේවා නිලධාරීන් පත් වුණෙත්, පී. බී. ජයසුන්දර නම් මහබැංකු නිලධාරියා පත් වුණෙත්, සමන් ඒකනායක නම්, පරිපාලන සේවා නිලධාරියා පත් වුණෙත්, ඔය එකම නීතිමය විධිවිධානයට අනුව ය. තවදුරටත් කිව්වොත් නන්දිත කුමානායක නම්, රේගු නිලධාරියා ඒ තනතුරට පත් වුණෙත්, ඔය නීතිය අනුව ය. ඔය කාටත් කරන්න තිබුණේ ජනාධිපතිවරයා ඉල්ලන හෝ, නියම කරන කාර්ය කිරීමට ය. දැන් ඉන්න  ජනාධිපති ලේකම් වුණත් කළයුත්තේ, අනුර දිසානායක ජනාධිපති, ලේකම් කියන දෙයයි.(එතුමා වෙනත් අය කියන දේවල් නොකර ඉන්නවා ඇතැයි මම සිතමි ) වෙනත් රාජ්‍ය නිලධාරින්ට නම්, තම ආයතන ප්‍රධානියා, ඇමතිවරයා, ලේකම්වරයා ජ්‍යෙෂ්ඨ නිලධාරියා කියන දේ, මග හැර හෝ ප්‍රතික්ෂේප කර  හෝ සිටිමට හැකිය. ඒ සඳහා නීති ආඥාපණත්, චක්‍රලේඛන, ආයතන සංග්‍රහය අත්පොත්  ආදී දේ, සාක්ෂි ලෙස පෙන්නිය හැකිය.   මේ ලියන මමත්, මා සේවය කළ අමාත්‍යංශවල, ඇමතිවරුන්, ආයතනවල ප්‍රධානින් සමඟ ඔය ක්‍රමවලට තර්ක විතර්ක කර, පැවරූ රාජකාරි සංශෝධන සහිතව, කිරීමට ඉඩ හදාගෙන ඇත. ඒ අප රාජ්‍ය නිලධාරින් වූ නිසා ය. ජනාධිපතිවරයා හා ඔහුගේ කාර්ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරින් නොවන බව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, 170 ව්‍යවස්තාවේ පැහදිලිව දැක්වේ. එසේම රාජ්‍ය නිලධාරින්ට අදාළ රීති මාලාව වන, ආයතන සංග්‍රහයේ ද  අර්ථ නිරූපනයේදී ම, ජනාධිපති වරයා හා කාර්ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරි ගණයට, අයත් නොවන බව සඳහන් කර තිබේ. ජනාධිපති කාර්ය මණ්ඩලය බැඳී ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා නීතියෙන් පමණි.

සමන් ඒකනායක ජනාධිපති ලේකම් වරයා, කර ඇතැයි කියන වරද, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා,  කියුබාවේ හවානා නුවර පැවැත්වූ,  ජ්‍යාත්‍යන්තර සමුළුවකට හා, ඇමරිකාවේ නිව්යෝක්  නුවර පැවැත්වූ, එක්සත් ජාතින්ගේ මහ සමුළුවට ගොස්, එන අතර මග අන්තර් නැවතුම වන, ලංඩන් නුවර නතරවී සිටියදී,  ජනපති ආර්යාවට ලබාදුන්, සම්මාන ගෞරව මහාචාර්ය පදවියක්, ප්‍රදානය කරන උත්සවයට වුල්හැම්ප්ටන් සරසවියට ගොස්, සහභාගි වීම යන කාර්යට, ජනාධිපති කාර්යාලයේ වියදමින්, පහසුකම් සැපයීම මගින් පොදුදේපළ පනත ප්‍රකාරව, රජයට අලාභයක් සිදුකළ බවය. ජනාධිපතිවරයාගේ සංචාරයකට අවශ්‍ය විධිවිධාන සලස්වන ලෙස, ජනාධිපතිවරයා නියම කළ විට, ජනාධිපති ලේකම් වරයා  ජනාධිපතිවරයාගෙන්, ඒ සංචාරය පුද්ගලික ද, රාජ කාරි ද,  ආරාධනාවක් තිබේද, එය නිල ආරාධනාවක් ද, නැත්නම් පුද්ගලික එකක් ද, එය අවශ්‍යයෙන්ම යායුතු එකක් ද, වෙනකෙනෙක් යැව්වම ප්‍රමාණවත් ද, ආදී ප්‍රශ්න විමසා පිළිතුරු ලබාගෙන, සෑහීමට පත්වී තීරණයක් ගත යුතු යැයි, මේ පැමිණිල්ල, සීඅයිඩියට ඉදිරිපත් කළ, වර්තමාන ජනධිපතිතුමාගේ කාර්ය මණඩලයේ නිලධාරින්, සිතා සිටින බව නම් මෙයින් පැහැදිලි ය. සමහරවිට දැන් සිදුවන්නේ එසේදැයි අප දන්නේ නැත. එසේම මේ ගැන විමර්ශනය කළ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද, එසේම සිතන බවටත් සැකයක් නැත. නමුත් ජනාධිපති ලේකම්ට ජනාධිපතිවරයාගෙන්,  ඔය එකක් වත් විමසිමට නොහැකි බව මගේ අදහස යි. මිට හොඳම උදාහරණය දෙන්නේ, ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අගමැති අවධියේ සිට, ලේකම් ධුරය දැරූ කීර්තිමත් සිවිල් නිලධාරියෙකු වූ, කේ. එච්. ජේ. විජේදාස මහතා ය. ඔහු ලියූ "පහන් සංවේගය" නම් ස්වයං ලිඛිත චරිතාපදානයේ, 230 - 231 පිටුවල මෙය සඳහන්වේ. ඔහු පවසන්නේ ඔහු අගමැති ලේකම් ලෙස, පත්වන විටත් අගමැති නිල නිවසේත්, අගමැතිවරයාගේ සුචරිත නිවසේත්, ආහාර පාන බිල්පත්, අගමැති කාර්යාලයෙන් පියවමින් තිබුණු බවත්,  රජයේ අරමුදලින් මෙය පියවීම වැරදි සේ සලකා, ඔහු එම බිල් ගෙවීම නතර කළ බවත්,  ඒ ගැන බඩු සැපයූ අය, අගමැතිට පැමිණිලි කළ පසු, ඒ ගැන අගමැතිවරයා තමාගෙන් විමසූ බවත්, එහිදී රාජ්‍ය මූල්‍ය උපදෙස් අනුව මෙයට පූර්වාදර්ශයක් හෝ ඉඩක් නැති බවට, තමා පැවසූ බවත් ඔහු සඳහන් කරයි. අගමැතිවරයා චීන තානාපති වරයාගෙන් මේ ගැන විමසා බලා, චීනයේ කෙරෙන අන්දමට ක්‍රියා කිරීමට ඔහුට දන්වා ඇත. ඒ අනුව විමසීමේදී චීනයේ ජනපති, අගමැති, ඇමතිවරුන්ගේ, සියලු වියදම්‍ රජයෙන් දරන බව, තානාපතිවරයා  පැවසූ බවත් අදාළ ගොනුවේ, ඒගැන පූර්ණ විස්තරයක් සටහන් කර, අදාළ බිල්පත් ගෙවීම, කළ බවත් ඔහු සඳහන් කරයි. අගමැතිගේ පුද්ගලික වියදම් ද, රාජ්‍ය මුදලින් දැරීම, 1984 වන විටත් සිදුවුණා නම්, ජනාධිපති වරයාගේ පුද්ගලික වියදමක් වුණත්, නොදරා සිටීමට සමන් ඒකනායකට, හැකි වන්නේ නැති බව, තේරුම් ගැනීමට එයම ප්‍රමාණවත්‍ ය.
ඒ අනුව මේ සංචාරයට අදාළව, ජනාධිපතිවරයාගේ නියමය ලද, ජනාධිපති ලේකම් සමන් ඒක නායක, සුපුරුදු පරිදි විදේශ කටයුතු අමාත්‍යංශය හරහා, ලංඩන් මහ කොමසාරිස් කාර්ලයෙන්, මේ ලංඩන් අතරමැද නැවතුම හා, එහිදී දැරිය යුතු වියදම් ගැන, ඇස්තමේන්තුවක් ඉල්ලා ඇත. එසේ ලැබෙන ඇස්තමේන්තුව ඔහුට ලැබෙන්නේ, විදේශ කටයුතු ලේකම් හරහා ය. ඒ ඇස්තමේන්තුව අනුමත කර ඒ සඳහා, ප්‍රතිපාදනයක් විදේශ කටයුතු ලේකම්වරයාට, නිකුත් කරන ලෙස ජනාධිපති කාර්යාලයේ, ප්‍රධාන ගණකාධිකාරිට රාජකාරිමය නියමයක් ඔහු  කර ඇත. එය ගණන්දීමේ නිලධාරියා ලෙස, ඔහුගේ රාජකාරියකි. රජයේ මුදල් පාලනය පිළිබඳව නිකුත්කර ඇති, මුදල් රෙගුලාසි වල 145(3) අනුව, මේ අන්දමින් එක් ගණන් දීමේ නිලධාරියෙකු වෙනුවෙන්, වෙනත් ගණන්දීමේ නිලධාරියෙකුට වියදම් දැරීමේ, බලය ලබාදීමට ඉඩකඩ සලසා ඇත. උදාහරණ ලෙස දැනුත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, සම්පත් තුයිය කොත්තා මහතා ගේ  නියමයක් පරිදි, දිට්ටා ආපදාවෙන් හානිවූවන්ට වන්දි ගෙවීමට, ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරිගේ අත්සනින්,  දිස්ත්‍රික් ලේකම්වරුන්ට මුදල් ප්‍රතිපාදන දෙන්නේ ඔය ක්‍රමයට ය. මේ අන්දමින් වියදම් දැරීමේ බලයද ඇතුළත්  කරදෙන ප්‍රතිපාදනයෙන්,  වියදම දැරීමේදී අවභාවිතයක්, වැරදි ගෙවීමක්, අධිගෙවීමක් වුවහොත්, ඒගැන  වගකීම දැරිය යුත්තේ ප්‍රතිපාදනය දෙන, ගණන් දීමේ නිලධාරියා නොව, ප්‍රතිපාදනය ලැබ වියදම කරන නිලධාරියා බව, මුදල් රෙගුලාසි 135(2) හි ඉතා පැහැදිලිව දක්වා ඇත. අර පෙන්නූ උදාහරනයෙන්ම පැහැදිලි කලොත් දිට්ටා අපදාවෙන් හානිවූ අයෙකුට ගෙවිය යුතු වංදියක් ආරක්ෂක අමාත්‍යංශයෙන් ලද ප්‍රතිපාදනවලින්  ආපදා වෙන් කිසිදු  හානියක්  නොවූ අයෙකුට ගෙවා ඇත්නම් ඒ වරදට වගකිව යුතු වන්නේ අදාළ ගෙවීම කළ දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් ය. මේ  සමන් ඒකනායකට බලපෑ සීඅයිඩී විමර්ශනයේ ක්‍රමය අනුව, බැලුවොත්  නම්  ඒ වැරදි ගෙවීමට වග කිව යුතු වන්නේ, ප්‍රතිපාදනය නිදහස් කිරීමේ නියෝගය දුන් ආරක්ෂක ලේකම්වරයා ය.

මේ අනුව කිව යුත්තේ හිටපු ජනාධිපති ලේකම්වරයාට,  රක්ෂිත බන්ධනාගාර ගත වීමට සිදුව ඇත්තේ, ඔහු විසින් සිදුකළ රාජකාරිමය නොසැලකිල්ලක් හෝ, වංචාවක් හෝ, හොරකමක් නිසා නොව,  තමන්ට හරිහැටි නොතේරෙන රාජකාරිවලට පත්වී, තමන් නොදන්නා නොතේරෙන සැම ගනුදෙනුවක් ම, හොරකමක්, වංචාවක් වරදක් යැයි සිතා, ඒ ගැන කිසිදු විමසිල්ලකින්, සොයා බැලීමකින් තොරව, පොලිසියට පැමිණිලි කිරීමේ  උවමනාවෙන් පෙළෙන, අදක්ෂ බෙලහීන නිලධාරින්ගේ හා, රාජ්‍ය මූල්‍ය පාලන රෙගුලාසි ගැන, අනවබෝධයෙන් හා සොයා බැලීමෙන් තොරව,  ආයතන සංග්‍රහයේ විධිවිධාන අදාළ වන්නේ කාටදැයි නොදැන,  රාජ්‍ය මූල්‍ය ට අදාළ ගනුදෙනු ගැන, අපරාධ නිතියෙන්  විමර්ශන කරන නිලධාරින්ගේ, දුර්වල නිගමනයන් නිසා බව සඳහන් කළ යුතුව ඇත.

අවසාන වශයෙන්  වඳුරාට දැලිපිහිය අසුවුණොත් වන දේ, දැන සිටි අපට, වඳුරු රැලකට බාබර් සාප්පුවක්ම අසුවුණාම, වෙන දේත් දැන් දැක ගන්නට පුළුවන් බව කියා නවතිමි.

 - සුනිල් කන්නන්ගර -