උණුසුම් පුවත්

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ට අවුරුදු තෑගි

මධ්‍යස්ථාන 336 ක ඊයේ ත්‍යාග බෙදීමට හමුදාව පියවර අරන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ සංකල්පයකට අනුව සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රට පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336 ක ආරක්ෂාව යටතේ සිටින දරු දැරියන් සඳහා අවුරුදු ත්‍යාග පාර්සල් බෙදාදීම ඊයේ (13) සිදු කෙරුණි.

කොළඹ කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල ඊයේ ඇරඹුණු මේ වැඩ සටහන සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිද්දෙන් අලුත් අවුරුදු රසකැවිලි හා ත්‍යාග පාර්සල් බෙදාදීම දවස පුරා සිදු විය.

නිවසින් හෝ ආදරණීය දෙමාපියන්ගෙන් බැහැරව සිටියත් සෑම දරුවකුට ම අවුරුදු සතුට ලබාදීම වෙනුවෙන් ''ළමා නිවාසවල සිටින දරුවන්ටත් අවුරුදු මැයෙන්"ජනාධිපති කාර්යාලය, සිලෝන් බිස්කට් සමාගම ඇතුළු පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු පණ්විඩය සමඟ රසකැවිලි හා ත්‍යාග පාර්සල් 10000 කට අධික ප්‍රමාණයක් දරු දැරියනට බෙදා දෙනු ලැබිණි.

ජනාධිපතිවරයා ගේ උපදෙස් පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ යුද හමුදාපති ලුතිනන්න රාල් විකුම් ලියනගේ මහතා ගේ අධීක්ෂණය මත මේ කාර්යය සිදු විය.

මේ වැඩසටහන මධ්‍යම පළාතේ මධ්‍යස්ථාන 40 ක, නැගෙනහිර පළාතේ මධ්‍යස්ථාන 57 ක උතුරු මැද පළාතේ මධ්‍යස්ථාන 15 ක හා උතුරු පළාතේ මධ්‍යස්ථාන 23 ක මේ කාර්යය ක්‍රියාත්මක විය. එමෙන් ම දකුණු පළාතේ මධ්‍යස්ථාන 25 ක, සබරගමුව පළාතේ මධ්‍යස්ථාන 19 ක හා ඌළු පළාතේ මධ්‍යස්ථාන 14 ක ද බස්නාහිර පළාතේ මධ්‍යස්ථාන 100 ක් ඇතුළු 336 ක් ආවරණය වන පරිදි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට යුද හමුදාවේ නිලධාරීන් පියවර ‌ගන්නා ලදි.