උණුසුම් පුවත්කතු වැකියසංස්කෘතික

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

එක්සිත්ව එකට එක්ව සාමයෙන් සතුටින් සහෝදරත්වයේ වැඩට බහිමු. ඒ අනාගත පරපුරේ රැකවරණයට යි.

හෙළදිව් හි වැසියන් ගේ මහා සංස්කෘතික මංගල්‍යය අද යි. අද හා හෙට යි. කෙටියෙන් දක්වතොත් මේ බිමේ උපන් සියලු ජන සමූහයාගේ උතුම් වූ චාරිත්‍ර වාරිත්‍ර, සිරිත් විරිත්, ගති පැවතුම්, සෙසු ලෝකයා අභියස ගාම්භීර අයුරින් විදහා දැක්වෙන, සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද යි. සූර්යයා, මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම, හෙළයේ හෙළයන් විසින් සාම්ප්‍රදායිකව පවත්වනු ලබන්නා වූ, සිංහල අලුත් අවුරුද්ද, සැමරීමට හැම පවුලක් ම  රොද බැඳ ගෙන කඩ සාප්පු, සල්පිල් වෙත ඊයේ දවස පුරා ද, කරක් ගහමින් මේ උතුම් දවසේ යුතුකම් හා වගකීම් ඉටු කරන්නට ලක ලෑස්තිවෙන අයුරු දකින විට හිතට රිංගන්නේ පුදුමාකාර තෘප්තියකි. සතුටකි. සංතෘෂ්ටියකි. අප යළිදු වතාවක් සඳහන් කරන්නේ හෙළයන් ගේ මහා සංස්කෘතික මංගල්‍යය මෙය බව යි. සතුට, සමගිය, සාමය, සහයෝගීතාවය, සහෝදරත්වය ඉස්මතු කෙරෙන්නා වූ මේ උතුම් දවස හෙවත් සිංහල අලුත් අවුරුද්ද මෙබිමේ උපන් හැම දෙනා තුළ අලුත් යහපත් ආකල්ප, ගුණාංග, වර්ධනයට හේතු කාරණා වනු ඇත. නව ජීවයකින් යුක්තව, නව අපේක්ෂාවන් සිත් හි දරා ගෙන, සියලු වාද බේද දුරැලා එකාවන් ව, එක් සිත් ඇතිව, ස්වකීය ජීවන ගමනට අලුත් ජවයකින් පිය නැඟීමට අදිටන් කරගැනීම මෙහි සැබෑ අරුත ය යන්න අපේ හැඟීම යි. හෙළයන් ගේ කායික සුවයත්, අධ්‍යාත්මික සුවයත් පදනම් කර ගත්, අපේ පැරැන්නෝ බක්මහේ මැද දෙදින වසන්ත සැණකෙළියක් බවට පත්කර ගත්තෝ ය. මෙහිලා ආගමික වතාවත්වලට මුල් තැනක්, අලුත් අවුරුදු නැකත් උදා වෙද්දී, හිරු මීනයේ සිට මේෂයට පිවිසෙන අතර කාලය හෙවත් සංක්‍රාන්ති සමයේ දී වෙහෙර විහාර වෙත ගොස් මල් පහන් පුදන්නට වැඩිහිටියෝ දරුමල්ලන් කැන්දා ගෙනයෑම එදා මෙන් ම අද ද ස්වකීය සිරිතක් සේ සලකති. එය නම් කෙරෙන්නේ 'පුණ්‍ය කාලය' යනුවෙනි. කටවහරේ 'නෝනගතය' ලෙස සලකමින් ආගමික වතාවත් හි නිරත වෙන්නට අති බහුතරයක් අමතක නොකරති. නැත්නම් සිය වගකීම සේ තකති. ලෝක සිතියමේ බෝ ම කුඩා පුංචි තිතක් බඳු අපේ හෙළදිව අද වෙන විට ඉතා බරපතල අර්බුද රැසකට ගොදුරුව පවතින බව මේ උතුම් මංගල අවස්ථාවේ හෙළදිව් වැසි සැමට සිහිපත් කරන්නේ එහි ඇති භයංකාරත්වය කෙරෙහි ද නිබඳව ම අවධානයෙන් පසුවන්නැ යි ඉල්ලා සිටිමිනි. එක පැත්තකින් දැවැන්ත ආර්ථික අගාධයක අපි ගිලී සිටින්නෙමු. අනෙක් අතින් ළමා හා තරුණ පරපුර පමණක් නොව වැඩිහිටියන් ද හෙරොයින්, අයිස් ඇතුළු නම් රැසකින් යුත් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ජීවිත අකාලයේ විනාශ කර ගනිති. අනෙක් අතින් පාතාල ලෝකයේ නම්දරා සිටින බියගුලු තිරස්චීන රජවරුන් ද, සිටුවරුන් ද සැඟව හිඳ වටිනා ජීවිත නසති. උනුන් මරා ගනිති. ආරක්ෂක අංශ වෙත සැඟව සිට තර්ජන ගර්ජන කරති. සිව් හෙළයේ ම වසනා පොදු මහත් අහිංසක ජනයා මේ පාතාලයන්ට බියෙන් සංත්‍රාසයෙන් ගුලිවී හැකිළී සිටිති. අලුත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උන්නැහේ මහජනාරක්ෂ රාජ්‍ය ඇමතිවරයා ගේ මඟපෙන්වීම මත 'යුක්තිය' නමින් මෙහෙයුමක් අරඹා තිබීම පොදුදනන් ගේ හිත්හතන්වලට කිසියම් සහනයක් උදාකර දීමට සමත්වී ඇති බව මේ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ උදාවත් එක්ක අප සිහිපත් කරන්නේ ඔවුන් දෙදෙනා ඇතුළු පොලිසියේ ඍජු අවංක නිලධාරීන්ට ගෞරවාචාර දක්වන්නට ද නොපැකිළෙමිනි. මේ සියල්ල අස්සේ නොව ඊට ඉහළින් තවත් නූල් සූත්තර ගණනාවක් අපේ හෙළදිව අකාමකා දමන්නට ගෙන යන සැලසුම් ද ඇති වග පෙන්වා දෙන්නේ බාල පරපුරට රටක් ඉතිරි නොවන තැනට වැඩ සිද්ධ වෙමින් පවතින බව පෙනෙන්නට ඇති හෙයිනි. ඒ සියල්ල අස්සේ අපේ මේ උතුම් සාරධර්මවලින් හෙබි සංස්කෘතික උරුම අකාමකා දමන්නට බටහිරයන් හා උනට ගැති එන්ජීඕ කල්ලි, කණ්ඩායම් පැය විසිහතර පුරා නේක විධ ව්‍යාපෘති දියත් කරමින් කුමන්ත්‍රණ කරති. අනෙක් පැත්තෙන් මුහුද හරහා පාලම් ඉදිකරන්නට කරනා සැලසුම් ද වේ. සංස්කෘතික දායාද දියකර හරින්නට කැසකවන බලවේග හඳුනා ගනිමු. මේ සියල්ල අපට නොපෙනෙන බලවේගවල අදෘෂ්‍යමාන ක්‍රියාකාරකම් ය. එ නිසා ම අපි ඉතා බෝ සීරුමාරුවට විමසිල්ලෙන් හොඳ දේ පමණක් අනෙකා ගෙන් ලබාගෙන හානිකරන දෑ බැහැර කරමින් නව සියවසේ අභියෝග ජයගන්නට අපේ ජනයා යොමු කරමු. නොමැති වුවහොත් එසේ, අප තව දුරටත් මේ හිඳිනා අගාධයේ තව තවත් පත්ලට ම කිඳා බසින වග පෙන්වා දෙන්නේ ඉතා පිවිතුරු හැඟීමෙනි. මේ නවසිය වසක දෙවන දසකයේ හතර වැනි හවුරුද්ද යි.. නව තාක්ෂණය ලොව බෝ දෑ වෙනස් කරමින් සිටින්නී ය. එයින් අපට උකහා ගත හැකි දේ බොහෝ ය. සමාජ මාධ්‍ය විසින් ලොව පුරා පතුරුවන නේකාකාර මතිමතාන්තරවලට අපේ ජනයා විශේෂයෙන් බාලපරපුර ඉතා පහසුවෙන් ඇදී යයි. මේ නම් එක අතකින් ඉතා වටිනාකමින් පොහොනා ය. අනෙක් පැත්තකින් බෝ හානිකර ය. ඉදින් අප මේ සියල්ල වෙත බෝ උපේක්ෂාවෙන් ඉවසිල්ලෙන් බලා අපට සුදුසු දේ තෝරා බේරා ගෙන අපේ දේ රැක ගැනීමට උත්සුක වෙමු. හෙළයන් ගේ දිවි ගමනේ අප්‍රේල් මස හෙවත් බක් මහ උදාවීමටත් පෙර සිට ම ඇති හැකි අය මෙන් ම, නැති බැරි දනන් ද අලුත් අවුරුද්ද සමරන්නට දක්වන්නේ අති මහත් උනන්දුවකි. උද්යෝගයකි. අලුත් අවුරුදු මාසය උදාවෙන විට වැඩියෙන් ම ඒ උතුම් දිනය ඉතා ඉහළින් ගෙවන්නට හැම ගෙදරක ම කාන්තාවන් දක්වන්නේ ලොකු ඕනෑකමකි. ඒ වග ආපහු වංගියක්  අපේ ළමා විය ගැන හැරී බලන විට බෝ සේ පැහැදිලි ය. කෙටියෙන් සඳහන් කළොත් සැබෑවට ම ගෙදර මූලිකත්වය මෙහිලා ගන්නේ අපේ අම්මා ය. බිරිය ය. නැතිනම් අක්කා ය. සාමය, සමගිය, සතුට, එකමුතුකම, සහයෝගිතාව, සහෝදරත්වය, ආදී මේ සියල්ල සංකේතවත් කරන්නා වූ සිංහල අලුත් අවුරුද්ද අප මෙ සිරිලක සිට සමරද්දී විදෙස්ගත අපේ නෑ සියන් ද ඔවුනට හැකි අයුරකින් ස්වකීයන් හා දුරු රට හිඳ හෝ සමරන්නට උත්සුකවීම කෙතරම් නම් ආඩම්බරයට හේතුකාරණා නොවන්නේ ද? අලුත් අවුරුදු උදාවත් සමඟ අපේ ඇත්තන් විසින් පිළිපදිනා චාරිත්‍ර සියල්ලක් ම ඉටු කරන්නට කැපවෙන්නේ, උත්සාහ ගන්නේ යෙදෙන්නේ එකා මෙනි. ඒ ඊළඟ පරම්පරාවට මේ දායාදය උරුම කර දෙන්නට නොවේ ද? නව සඳ බැලීමත්, ගෙවීයන වසරේ ස්නානයට යෙදෙන දිනයත්, අවුරුදු උදාවෙන් පසු නෝනගත කාලය වන විට, සියලු වැඩ හමාර කොට  අලුත් නැකතට අනුව, ගිනි දල්වා ලිප මොලවා, කිරි උතුරවා, අලුත් සහලින් කිරිබතක් පිස, අනුභව කිරීමත්, මේ ඈ මේ සියල්ල සමස්ත සිංහල බොදුනුවන් ද, හින්දු ජනයා ද ඉෂ්ට සිද්ධ කරන්නේ රටක් හැටියට එකවර ය. එක විට ය. මෙවන් අසිරිමත් හැසිරීම් රටාවක් ලෝකයේ අනෙක් ජාතින් අතර පවතී ද යන්න සොයා බැලුවොත් එහි ඇති අගය කෙතරම් ද? එහිලා ඔබ නිහතමානීව අඩම්බර වෙමින් තුටු පහටු වෙන බව සක්සුදක් සේ පැහැදිලි ය. කෘෂිකාර්මික රටාවකින් තම දිවිමං සරි කරගත් හෙළයා  මහ පොළොවත් එක්ක හරි හරියට ඔට්ටු වී, අස්වද්දන කුඹුරේ වගාව, දිවා රෑ වෙහෙසී රැක බලා ගෙන අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්ස විඳ දරා, නෙලාගත් අස්වැන්න ගෙට ගෙන, බුද්ධ භෝගය මුලින් ම බුදුන් වහන්සේට පූජා කොට, (අලුත් සහල් මංගල්‍යය) යළි වැඩ ඇරඹීම හෙවත් වැඩ ඇල්ලීමත්, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවයත්, එකම මොහොතක එකම වෙලාවක සිදු කරන්නට, හෙළ බොදුනුවෝ හුරු පුරුදු වූවෝ, දුරාතීතයේ පටන් ය. හිසතෙල් ගෑම ද නැකතට අනුව සිදුකරමින්, තමන්ගේ ගතෙහි හිතෙහි ඇති සියලු රෝගාබාධාවන් නීවරණය කිරීමේ අපේක්ෂාවෙන්, එය ද නියමිත නැකතට කිරීම, මේ බක්මහ සංස්කෘතික මඟුලේ පවතින වැදගත් වූත් සුවිශේෂී වූත් සිද්ධිදාමයකි. වැඩිහිටියන්ට බුලත් හුරුලු දී ආචාර පැවත්වීමත්, වැරදි කමා කර ගැනීිමත්, අමනාප දුරුකිරීමත්, ඔවුන් ගේ උපදෙස් අනුශාසනා ලබා ගෙන ඊළඟ වසරේ වඩාත් සශ්‍රික අස්වැන්නක් නෙලා ගැනීමත්, රැකීරක්ෂාවන් හි නියැළීමේ දී වඩාත් අදිටනකින් යුක්තව වෙහෙස මාන්සි වී කම්හලේ වැඩබිමේ කය මෙන්ම මොළය ද වෙහෙසා අයිතිවාසිකම් පමණක් ලබා ගන්නට නොසිතා රට ගැන වරක් නොව දෙවරක් නොව සිය දහස් වරක් හිතට ගෙන සේවයේ නිරත වන්නට අද පටන් හෝ හැම හිතකට ම සිතිවිලි පහළ වේවා!!....එහෙම වුණොත්.... හෙට දවසේ සශ්‍රීකත්වයත්, හැම අතින් ම දියුණු සංවර්ධිත මව්බිමක් අප සතුවේවි. නො එසේ වුවහොත් මව්බිම ඔබත් මාත් කෙරෙහි දුක්වනු සිකුරු ය. ආදි මුතුන්මිත්තන් පෙන්වා දුන් මඟ යෙමින් පන්සල් වත්තේ හෝ පිටියේ හෝ කෙළි සෙල්ලම් කිරීමට ළමා, තරුණ, වැඩිහිටි මෙන් ම වියපත් ඇත්තන් ද එක්රොක්වීම එදා මෙන් ම, වගාදිගා කර ගන්නට අද අප හැම හිත් හි රඳවා ගන්නේ නම් යහපත් හෙට දවසක් උදාවෙනු ඇත. නැතිනම්.... මුහුදට දත නියවා ගෙන බලා හිඳීම හැර කරන්නට අන් කිසිවක් අපට ඉතිරි නොවනු ඇත. මෙරටේ සිංහල ජනයා මෙන් ම දෙමළ හා ඉස්ලාම් භක්තික මුසල්මානුවන් ද ඉතා මිත්‍රශීලීව දිවි ගෙවූ පුරවැසියන් ය. ඒ මිත්‍රත්වය, සහෝදරත්වය, සුහදත්වය, අකා මකා දැම්මෝ, පළුදු කළෝ කපටි දේශපාලඥයෝ ය. තමට බලයට ඒමට හෝ බලය පවත්වා ගෙන යෑමට හෝ ඇති අවශ්‍යතා වලට සරිලන සේ ජන වර්ග අතරට ‌බඩගා ජාතිවාදී විෂ එන්නත් විද, සමස්ත සමාජය ම රොගී මානසිකත්වයක් වපුල මේ කපටියන් මිනිසුන් බෙදා පාලනය කිරීමේ න්‍යායට අනුව ගෙවී ගිය සැත්තෑපස් වසරක් මුළුල්ලේ කළ නරුමකම් නිසා, අද වෙන විට අප රටක් වශයෙන් අන්ත අසරණ අඩියකට පත්ව සිටීම කාගේ වරදක් ද?? අපේ ම වරදකි. අදට යෙදී ඇති අලුත් අවුරුද්ද වෙනුවෙන් රට කරවන ඇත්තා හා ඔහුගේ මිතුරු අගමැතිවරයා ද විපක්ෂ නායක වරයා ප්‍රමුඛ ඉදිරියේ දී රට තමන්ට හැසිරවීමට හැකි බවට විශ්වාස කරනා ජන බලවේග දෙක ද, ජනතාවට අලුත් අවුරු‍දු පණිවිඩවලින් කියන්නේ එකම අර්ථයක් ඇති සිරස්තලවලින් පිරි බොල් වදන් ය. කතා කරන්නේ එකමුතුකම ගැන යි. ඒත් ඉතින්... මේ වෙලාවේ ඒ ගැන කතා නොකර අපි අපේ උතුම් සංස්කෘතික මහා මංගල දින සියලු දෙනා එකාවන් ව එකට එක්ව, එක් අරමුණකින් යුක්තව, සියලු අමනාපකම්, නොමනාපකම් හිත් හතන්වලින් දුරලා, බැහැර කොට, කම්මැලිකමින් තොරව වැඩට බහිමු. අනාගත පරපුරේ අපේක්ෂාවන් මුදුන්පත් කරන්නට නම්,වැඩිහිටි අප අපේ මෝඩකම් දුරලා, මේ බිමේ හැම අඟලකම අයිතිය පුරවැසි හැමට සුරක්ෂිතව පැවරීමට නැත්නම් දායාද කරන්නට ඇප කැපවීමට ඉටා ගෙන ඉදිරිය බලමු. එයයි හෙළදිව අපේ ඉල්ලීම. එය ඔබගේ ද අපේක්ෂාව බව අපි දනුම්හ.