කම්කරු අමාත්‍යවරයාගේ මැයි දින පණිවිඩය
ලෝකවාසී වැඩ කරන ජනතාව විසින් අභිමානයෙන් සමරණ සුවිශේෂී දිනයක් වූ ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මාගේ හදපිරි සුබ පැතුම් පළමුකොට ගෞරවනීයව පුදකර සිටිමි.
අදට යෙදී ඇති 137 වන ජාත්‍යන්තර කම්කරු දිනය "ජන රජයට ජන බලයක් මාලිමාවේ මැයි රැලිය˜ යන තේමාව යටතේ මෙවර අප අභිමානයෙන් සමරනු ලබනවා''
පවුල්වාදය මූලික කරගත් දූෂිත දේශපාලනයත්" දශක 07 කට අධික කාලයක් පවත්වාගෙන ආ අදූරදර්ශ සමාජ ආර්ථික ක්‍රමයත් පරාජය කර, මනුෂ්‍යත්වය ඉහළින් ඔසවා තැබූ ජනතාවාදී පාලනයක් සහ රටටත් ජනතාවටත් ජයග්‍රහණ ලබා දෙන යහපත් සමාජ පරිවර්තනයක් සිදුකරමින් තිබෙන පසුබිමක සිට මෙවර මැයි දිනය සැමරීම සුවිශේෂි කාරණයකි.
රාජ්‍යය, පෞද්ගලික හා වතු ක්ෂේත්‍රවල කම්කරු අයිතිවාසිකම් සුරකිමින්, ප්‍රමාණාත්මක වැටුප් වැඩි කිරීමක් ලබාදෙමින්, ඵලදායි, ප්‍රජාතන්ත්‍රවාදී හා සාමකාමී කම්කරු සම්බන්ධතා ගොඩනඟමින් සහ ශ්‍රමයේ අභිමානය සුරක්ෂිත කරමින්, පවතින කම්කරු නීති සංශෝධනය කිරීමත්, නව නීති හඳුන්වාදීමත්, ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්කර තිබූ රට මහත් වූ අභියෝග මැද නැවත ආර්ථික ස්ථාවරත්වය කරා ගොඩනැඟීමට හැකිවීමත් ආණ්ඩුවක් ලෙස අප ලැබූ ජයග්‍රහණ අතර වේ.
ස්ථාවර හා ඕනෑම අභියෝගයකට ඔරොත්තු දිය හැකි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමත්, එහි ප්‍රතිලාභ සියලුදෙනා අතර සාධාරණ ලෙස බෙදී යාමට සැලැස්වීමත්, අප ඉදිරියේ ඇති අභියෝග හඳුනා ගනිමින් රටටත් ජනතාවටත් වඩාත් යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ මහත් වූ අපේක්ෂාව වෙනුවෙන් විවිධ වගකීම් දරමින් මේ මොහොතේ සිදුකරන මැදිහත්වීම, අධිෂ්ඨානශීලිව හා අඛණ්ඩව සිදුකිරීමේ කාර්යයභාරයේ නියැලීම අප සියළුදෙනාගේම අත්නොහල යුතු වගකීමකි.
රටෙහි ආර්ථික, සාමාජීයය හා දේශපාලනික වශයෙන් ජනතාව අපේක්ෂා කළ විසල් පරිවර්තනයක් සිදුකරමින් සමස්ත වැඩකරන ජනතාවට මෙන්ම ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවට සුවිසල් ජයග්‍රහණ ලබා දීමට අධිෂ්ඨාන සහගතව කැපවීමෙන් වැඩ කරමු යැයි යෝජනා කරමින් මෙම අර්ථවත් වූ ජාත්‍යන්තර කම්කරු දිනය සමරන සියළුදෙනාට මාගේ ගෞරව ප්‍රණාමය පුදකරමි.
අනිල් ජයන්ත ප්‍රනාන්දු
කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
