ආරක්ෂකඋණුසුම් පුවත්කාලීනසෞඛ්‍යය

සිරකරුවන් නිවාස අඩස්සියේ තැබීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය

රැඳවියන් 10000 කට ප්‍රමාණවත් පරිදි ඉදිකොට ඇති බන්ධනාගාර වල මේ වනවිට රැඳවියන් 40000 ක් පමණ සිටිති

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩ තදබදයට විකල්ප විසඳුමක් වශයෙන් සුදුසු නඩු කටයුතුවල දී සැකකරුවන් හා වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීමට රජය තීරණය කරයි.

මේ සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට අධිකරණ අමාත්‍යාංශයට අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය සඳුදා අනුමැතිය ලබා දුන්නේ ය.
ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල සිටින රැඳවියන්ගෙන් සියයට 80 ක් පමණ දෙනා රිමාන්ඩ් සිරකරුවන් ය. මත්ද්‍රව්‍ය වැරදිවලට අත්අඩංගුවට ගෙන අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කොට සිටින විශාල පිරිසකට ඇප ලබාගත නොහැකිවීම, මත්ද්‍රව්‍ය පිළිබඳ රස පරීක්ෂක වාර්තා මාස ගණන් ප්‍රමාදවීම, දිනපතා මත්ද්‍රව්‍ය වැරදිවලට අත්අඩංගුවට ගන්නා සංඛ්‍යාව අධිකවීම ආදි හේතුන් නිසා බන්ධනාගාරවල මෙම තදබදය ඇතිවී තිබේ.
පසුගිය මැයි 31 දා වන විට රජයේ රස පරීක්ෂක වාර්තා ලැබෙන තෙක් බන්ධනාගාර 22 රඳවා සිටින සැකකරුවන් ගණන 15607 ක් බවත්, සුළු දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් රැඳවියන් 1940 ක් බන්ධනාගාර 28 ක රඳවා ඇති බවත්, විගණණ වාර්තාවල දැක් වේ.
මේ අතර මත්ද්‍රව්‍ය වැරදිවලට සමබන්ධ රැඳවියන් වෙනත් සිරකරුවන් සමඟ දිගින් දිගට ම මිශ්‍රකොට තැබීම නිසා බරපතල සමාජ අර්බුදයක් නිර්මාණය වී බන්ධනාගාර තුළ පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වීම වැළැක්විය නොහැකි වී ඇතැ යි සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙයි.
පසුගිය දා මීගමුව හා මහර බන්ධනාගාරවල සිදු වූ නොසන්සුන්තාවයන්ට මෙම තත්වය හේතුවී ඇති බවත් මෙයට දැන්ම විසඳුමක් නොලැබුණහොත් අනිකුත් බන්ධනාගාරවල ද කැරලි ඇතිවීමට ඉඩ ඇති බවත් ඔවුන් අනතුරු අඟවයි.
කැබිනට් ප්‍රකාහක ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ රැඳවියන් 10000 කට ප්‍රමාණවත් පරිදි ඉදිකොට ඇති බන්ධනාගාර වල මේ වනවිට රැඳවියන් 40000 ක් පමණ රඳවා ඇති බව යි.