උණුසුම් පුවත්සෞඛ්‍යය

සෞඛ්‍ය අතිරේක ලේකම් සමන් පාපොච්චාරණයකට අධිකරණයේ අවසර පතයි

සෞඛ්යයේ ලොක්කන්ගේ කුප්රකට ඖෂධ වංචාව

අධිකරණය හමුවේ  පාපොච්චාරණයක් කරන්නට තමන්ට ඇවැසි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා අද (02)  මාළිගාකන්ද මහේස්ත්‍රාත්වවරිය හමුවේ  අද (02) ප්‍රකාශ කළේය. ඒ එම අමාත්‍යාංශයේ සිදුවී ඇති බව කියන කුප්‍රකට ප්‍රතිදේහ එන්නත් වංචාවට සම්බන්ධ බවට සැක කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ‌ෙඊයේ (01) ඔහු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

එම එන්නත් වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයයක් සටහන් කර ගැනීමට සමන් රත්නායක මහතා කැඳවා පැය 9 ක පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් විය. ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිෂ්පාදන සහ සැපයුම් නියාමන අංශයේ අතිරේක ලේකම්වරයා යි. සැකකරු මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ අද උදේ 11 ට පමණ ය. හේ රෙහස් පොලිසියේ අත්අඩංගුවට ගෙන උසාවිය අභිමුවට ඉදිරිපත් කිිිි ගැන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරාගම මෙනෙවිය කරුණු ඉදිරිපත් කළා ය.

“ස්වාමිනි, මේ හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රාව කියන්නේ ශ්‍රී ලංකා භාණ්ඩාගාරයෙන් වැඩිම මුදලක් ගෙවා මිලදී ගන්නා එන්නත් මාත්‍රාව. එක් මාත්‍රාවක් රුපියල් 45,000ක්. එවැනි වටපිටාවක තමයි මේ නඩුවේ පළමු සැකකරුට රජයේ මුදල් රුපියල් බිලියනයක් සාපරාධි සාවද්‍ය පරිහරණය කරන්න සෙසු සැකකරුවන් ආධාර අනුබලදීලා තියෙන්නේ. නඩුවේ පළමු සැකකරු වන ඖෂධ සමාගමේ හිමිකරුට අයුතු ලාභ ගැනීමට අවශ්‍ය වටපිටාව සැකසීමට සෙසු සැකකරුවන් තමන්ගේ රාජකාරිය තුළ ආධාර අනුබල දී තිබෙනවා. ඒ අනුව ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් 8වන සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ එක්ව වංක චේතනාවෙන් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීම පිළිබඳව තමයි සමන් රත්නායක අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔහු මෙම නඩුවේ 10 වන සැකකරු ලෙස නම්කරන්නැයි මා ඉල්ලා සිටිනවා"

ගිරාගම මෙනෙවිය වැඩි දුරටත් අධිකරණය දැනුවත් කරමින්,

“ස්වාමිනි, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විසින්, ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ බලය තිබු අතිරේක ලේකම්වරයා ඉවත්කරලා ඔහුගේ වගකීම් සමන් රත්නායක නැමැති සැකකරුට පවරලා තිබෙනවා. එබැවින් මෙම ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත්, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුවෙලා තියෙන්නේ මෙම සැකකරුගේ පුර්ණ අනුදැනුම යටතේ. ලියාපදිංචි ඖෂධ සැපයුම්කරුවෙකු වුවද පළමුවරට ඖෂධ සපයද්දි ප්‍රසම්පාදන කමිටුව එහි තත්ත්වය පරික්ෂා කළ යුතුයි. නමුත් මෙහිදි එය මඟහැර තිබෙනවා. එමෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගයිම් කමිටුවට සුදුසුකම්ලත් වෛද්‍යවරුන් යෙදවීමත් මෙම සැකකරු විසින් පැහැරහැර තිබෙනවා. ස්වාමිනි ඖෂධ 229ක් සම්බන්ධයෙන් මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකර ඇත්තේම ඉන් ඖෂධ 19ක් හැර සෙසු ඖෂධ සියල්ලම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ප්‍රමාණවත් ලෙස සපයමින් සිට ඇති වටපිටාවක. එබැවින් මෙම ඖෂධ සම්බන්ධයෙන් ජාතික තලයේ හිඟයක් පැවත නැහැ. එමෙන්ම ස්වාමිනි ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ලබාගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂයක් භාවිත කරන්න බැහැ. නමුත් මෙම සැකකරු වෛද්‍ය සැපයුම් අංශයේ වැය ශීර්ෂය භාවිත කරමින් මුදල් ගෙවීමට නිර්දේශ කර තිබෙනවා.”

එමෙන්ම, “ස්වාමිනි ඔබට මතක ඇති ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින්, සති 03 ක් තුළ ඖෂධ සැපයීමක් නොකළොත් සෞඛ්‍ය පද්ධතිය කඩාවැටිය හැකි බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල 2022.09.26 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව. අන්න ඒ කැබිනට් පත්‍රිකාව සකස් කර ඇත්තේ මොහු විසින්. ඒ පිළිබඳ මොහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මොහු කියනවා අදාළ කැබිනට් පත්‍රිකාව සැදීම සිදුකළේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත කියලා”

එහිදී මහෙස්ත්‍රාත්වරිය ප්‍රශ්න කර සිටියේ අදාළ කැබිනට් පත්‍රිය සකස් කිරීමට මුල් වූ ලේඛන ඇතුළත් මුල්ගොනුව සම්බන්ධයෙන් මෙම සැකකරු කුමන ස්ථාවරයක් දරන්නේද යන්න ය.

ඊට පිළිතුරු දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙසේ පැවසුවා ය.

“ස්වාමිනි මොහු කියනවා අදාළ මුල් ගොනුව අමාත්‍යාංශ සම්බන්ධිකරණ කාර්යාලයට යොමුකළා කියලා. නමුත් අමාත්‍යාංශ සම්බන්ධිකරණ කාර්යාලය කියන්නේ අදාළ මුල් ගොනුව මොහු යටතේ තිබු අංශයේ තිබෙන්නේ කියලා.”

එහිදී මහෙස්ත්‍රාත්වරිය ප්‍රශ්න කර සිටියේ අදාළ කැබිනට් පත්‍රිය සකස් කිරීමට මුල් වූ ලේඛන ඇතුළත් මුල්ගොනුව සම්බන්ධයෙන් මෙම සැකකරු කුමන ස්ථාවරයක් දරන්නේද යන්නය.

ඊට පිළිතුරු දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙසේ පැවසුවා ය.

“ස්වාමිනි මොහු කියනවා අදාළ මුල් ගොනුව අමාත්‍යාංශ සම්බන්ධිකරණ කාර්යාලයට යොමුකළා කියලා. නමුත් අමාත්‍යාංශ සම්බන්ධිකරණ කාර්යාලය කියන්නේ අදාළ මුල් ගොනුව මොහු යටතේ තිබු අංශයේ තිබෙන්නේ කියලා.”

පසුව මහෙස්ත්‍රාත්වරිය යළි ප්‍රශ්න කළේ මෙම කුමන්ත්‍රණ ක්‍රියාවලියට රාජ්‍ය ආයතනය සහ නිලධාරින් සම්බන්ධවීමට පෙර ප්‍රශ්නගත සැපයුම්කරු ඒ සඳහා සුදානම් කර ඇත්තේ කවරෙකු විසින්ද යන්නය.

ඊට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙසේ පිළිතුරු දුනි.

“ස්වාමිනි මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන මොළකරු පමණක් සැපයුම්කරු දැන සිටින්නට ඇති. දැනට විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු අනුව මධ්‍ය ලක්ෂයක සිට එක් තැනැත්තෙක් තමයි මෙම නිලධාරින්ව සහ සැපයුම්කරුව සම්බන්ධීකරණය කරලා තිබෙන්නේ.”

සැකකරු සම්බන්ධයෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා සුවිශේෂි කරුණු කිහිපයක් දක්වමින් තම සේවාදායකයා ඇප මත මුදා හරින්නැයි අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය.

නමුත්  මහෙස්ත්‍රාත්වරිය විසින් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සැරසෙනවාත් සමඟම මෙන්ත්ති කූඩුවේ සිටි සැකකරු අධිකරණය හමුවේ ප්‍රකාශයක් සිදුකළ යුතු බව සඳහන් කළේය.

මහෙස්ත්‍රාත්වරිය   ඊට ප්‍රතිචාර දැක්වුවේ  මෙලෙස යි.

“ඔබට අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් සිදුකිරීමට අවැසි නම් ඊට නෛතික ප්‍රතිපාදන තිබෙනවා. මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ ඔබට ප්‍රකාශ කළ යුතු දේ රහසිගතව සිදුකරන්න පුළුවන්. ඔබ සිදුකරන එම ප්‍රකාශය අධිකරණය ඉදිරියේ ඔබට එරෙහිව භාවිතාවෙන්නත් පුළුවන්. එමෙන්ම එම ප්‍රකාශය මත ඔබ තවදුරටත් සැකකරුවෙකු ලෙස සැලකීම හෝ ඔබව මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු කරගැනීම සිදුවෙනවා. එබැවින් හොඳට සිතා ඒ පිළිබඳ තීරණයක් ගන්න”

එහිදී සැකකාර සමන් රත්නායක මහතා පැවසුවේ තමන් මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට සූදානම් බවය.

ඒ අනුව මහෙස්ත්‍රාත්වරිය සිය නියෝගය ප්‍රකාශයට පත්කළේය.

“පාපොච්චාරණයක් සිදුකිරීමට සැකකරු සිය කැමැත්ත පළ කරනවා. එය ලබන සඳුදා මා ඉදිරියේ ලබාදිය හැකියි. එතෙක් මෙම නඩුවේ අනෙකුත් සැකකරුවන්ගෙන් වෙන්ව මෙම සැකකරු රඳවා තබන ලෙස මා නියෝග කරනවා.”

ඒ අනුව සැකකාර සමන් රත්නායක මහතා ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය ඔහු මහර බන්ධනාගාරයේ රඳවා තබන ලෙස බන්ධනාගාර නිලධාරින්ට දැනුම් දුනි.

බන්ධනාගාර නිලධාරීන් විසින් ප්‍රථමයෙන් සැකකරු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් එහි ලියාපදිංචි කිරීමෙන් අනතුරැව මහර බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.

ඒ අනුව ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා සම්බන්ධයෙන් වු නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ප්‍රමුඛව  සැකකරුවන් 08 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

 

- දෙරණ පුවත් ඇසුරිනි -