ඉතිහාසයඋණුසුම් පුවත්කාලීනසංස්කෘතික

හන්තානේ ධම්මගවේසී ස්වාමීන්වහන්සේ අමරපුර ශ්‍රී සම්බුද්ධ සාසනෝදය සංඝ සභාවේ අනුනායක ධූරයෙන් පිදුම් ලබති.

අක්තපත්‍රය අගමැතිනි හරිනි පිළිගන්වයි

මොරවක අරති අධ්‍යාත්මික සෙනසුනේ නිර්මාතෘ, බියගම ධම්ම විහාර මධ්‍යස්ථානය, කෑගල්ල කොටිගල ධම්මනිකේතන බෞද්ධ මධ්‍යස්ථානය සහ සිංහාරගම සිරි ධම්මරතන ධර්ම පර්යේෂණ භික්ෂු පුහුණු මධ්‍යස්ථාන යන විහාරත්‍රයාධිපති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, පූජ්‍ය හන්තානේ ධම්මගවේසී මාහිමිපාණන් වහන්සේ මහා විහාර වංශික ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී සම්බුද්ධ සාසනෝදය සංඝ සභාවේ අනුනායක ධූරයෙන් පිදුම් ලැබූහ.

උන්වහන්සේ වෙත අභිනව පදවිය සඳහා අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ පූජෝත්සවය, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සාසනෝදය සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ ස්වාමීන්වහන්සේ ඇතුළු ගෞරවණීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 27 වැනි දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේ දී පැවැත්විණි.
මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, පූජ්‍ය හන්තානේ ධම්මගවේසී මාහිමිපාණන් වහන්සේ වෙත අභිනව අනුනායක ධූරය සඳහා වන අක්තපත්‍රය පිළිගැන්වීම සිදු කරන ලද අතර, උන්වහන්සේ වෙත අභිනව පදවිය සඳහා වන විජිනිපත ප්‍රදානය කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක විසින් සිදු කරන ලදී.
මෙම පූජ්‍යෝත්සවය සඳහා ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනී Daw Malar Than Hteik ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගරිකා අතාවුද ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආරාධිත අමුත්තන්, දායක දායිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.