උණුසුම් පුවත්

හම්බන්තොට උපකාරක ගුරු සමුළුව

එහෙම බලනකොට අද අපිට ආර්ථික ක්රම දෙකක් අතර තෝරා ගැනීමක් කරන්න සිදුවී තිබෙනවා - ආචාර්ය රිනි අමරසූරිය

අපේ රටේ ආර්ථික අර්බුදය කාලයක් තිස්සේ කඩා වැටෙමින් තිබූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. මේ විදිහට බංකොලොත්භාවයට පත්වුණේ අහම්බයක් නිසා නොවෙයි. දශක ගණනාවක් තිස්සේ ක්‍රමානුකූලව කඩා වැට්ටූ ආර්ථිකයක, සමාජයක සහ දේශපාලන සංස්කෘතියක අවසානය තමයි මේ. මේ විශාල අර්බුදකාරී අවස්ථාවක් වගේම අලුත් දිශාවකට රට පරිවර්තනය කරන්නත්, අලුත් ඉතිහාසයක් ආරම්භ කරන්නත්, අවස්ථාවක් අපට ලැබී තිබෙනවා. මෙවැනි අර්බුද හරහා ජනතාවට ලැබෙන අත්දැකීම්වලින් අලුත් සමාජයක් ගොඩනැගිය හැකි වෙනවා. කඩා වැටුණු ගමන් මාර්ගය ගැන හොඳින් හිතලා අලුත් වෙන්න අවස්ථාවක් ලැබී තිබෙනවා. මේ රටේ පුරවැසියන්ගේ මැදිහත් වීමෙන් රට වෙනස් මාර්ගයකට ගන්න අවස්ථාව ලැබී තිබෙනවා.

එහෙම බලනකොට අද අපිට ආර්ථික ක්‍රම දෙකක් අතර තෝරා ගැනීමක් කරන්න සිදුවී තිබෙනවා. අපේ ජීවිත යම්තම් ගැටගහගෙන යන්න හැකියාවක් තිබෙනවා නම්, මොකක් වුණත් කමක් නැහැ, වගේ මත දරමින් මැද ඉන්න බැහැ. පැහැදිලිවම තෝරා ගැනීමක් කරන්න වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ දියුණු වෙන්න නම්, පාලකයන් සහ පුරවැසියන් අතර, සමාජ සම්මුතියක් අවශ්‍යයි. අපි මහජන නියෝජිතයන් පත්කරන්නේ බලාපොරොත්තුවක් එක්ක. ඒ බලාපොරොත්තුව ඉටුකරාවි යැයි විශ්වාසයක් ඇතිවයි. නමුත් අද ඒ සම්මුතිය මුළුමනින්ම බිඳ වැටිලා. පාලකයන් දිහා, රජයේ යාන්ත්‍රණය දිහා, දේශපාලනය දිහා බලන්නේ අවිශ්වාසයෙන්. ඒ තුළින් සිදුවන්නේ තවත් මිනිසෙක් දිහාත් අවිශ්වාසයෙන් බැලීම වැඩිවීමයි. මිනිස් සම්බන්ධතා අතිශයින්ම දුර්වල තැනට වැටිලා. දේශපාලන, ආර්ථික පමණක් නොවෙයි සමාජ පැවැත්මට අවශ්‍ය සියලුම ක්ෂේත්‍රවලට මෙය බලපා තිබෙනවා. විශේෂයෙන් අධ්‍යාපනයට එය තදින් බලපා තිබෙනවා.

මේ අධ්‍යාපනයෙන් ලබාගත හැකි දේ පිළිබඳ දරුවන්ටවත් දෙමාපියන්ටවත් ගුරුවරුන්ටවත් විශ්වාසයක් නැති තවත් එක් ක්ෂේත්‍රයක් පමණක් බවට පත්වී තිබෙනවා. අධ්‍යපනය සම්බන්ධයෙන් ලොකු දැක්මක් හෝ විශ්වාසයක් නැහැ. පැවති දේශපාලනය විසින් නිර්මාණය කළ තත්වයක් මේක. අධ්‍යාපනය මෙතනින් මුදා ගන්න නම්, පවතින දේශපාලන සංස්කෘතිය සහ ආර්ථිකය මෙතනින් මුදා ගත යුතුයි. ඒ පරිවර්තනය ලෝක ඉතිහාසයේ විප්ලව, ඡන්ද, නිදහස් අරගල හරහා, පාරේ සටන් තුළින් වැනි විවිධ අන්දමින් සිදුවී තිබෙනවා. මැතිවරණයෙන් පත්කර ගන්නා ආණ්ඩුවක් තුළින් මේ පරිවර්තනය කරන්න අපි තෝරාගෙන තිබෙනවා. ඒ නිසා මේ ගත කරන්නේ සුවිශේෂී මොහොතක්. මැතිවරණයක් තුළින් පමණක් එවැනි පරිවර්තනයන් ඇතිකර ගැනීම හරි දුර්ලභයි. නමුත් 2024 කියන්නේ ලංකාවට සුවිශේෂී වසරක්. 2022 ජනතාව තුළින් පැන නැගුණු අරගලයෙන් පස්සේ, අවධිවීමක් හරහා වෙනස් වූ සහ වෙනස් වෙමින් පවතින දේශපාලනික අත්දැකීම් රැසක් සහ අවබෝධයක් ලබාගත් පුරවැසියන්ගේ ශක්තිය සංවිධාන ගතවන ඡන්දදායකයින් එක්ක මේ මැතිවරණයට සූදානම් වෙනවා.

පාර්ලිමේන්තුව තුළද, එයින් පිටද දේශපාලනඥයන්ගේ භාවිතාව පිළිබඳව මිනිසුන් ප්‍රසිද්ධියේ විවේචන ඉදිරිපත් කරනවා. ඔවුන්ට එරෙහිවන්න තවදුරටත් බය වෙන්නේ නැහැ. දියුණු වූ පුරවැසියන් සහ ඒ බව තේරුම් නොගත් පරණ ක්‍රමයම පවත්වාගෙන යන්න උත්සාහ කරන කණ්ඩායමක් වගේම ජනතා අභිලාෂයන් සමග වැඩකරන දේශපාලන ව්‍යාපාරයක් හමුවන සුවිශේෂී මොහොතක් මේක. මාලිමාව කෙරෙහි විශාල ජනතා ආකර්ශනයක් ලැබෙමින් තිබෙන්නේ අලුත් දේශපාලන සංස්කෘතිය තිබෙන නිසයි.

පස්වැනිදා බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණීම ප්‍රධාන මාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්තියක් කරගෙන තිබුණා. නැවත වරක් රට බේරා ගන්න මොළ හතක් තිබෙන චරිතය රටට සම්ප්‍රාප්තවීම පිළිගන්න, බැසිල් රාජපක්ෂව කර උඩ තියාගෙන එනවා වගෙයි ප්‍රචාරය තිබුණේ. නමුත් එහෙම කිසිම දෙයක් සිදුවුණේ නැහැ. බැසිල් රාජපක්ෂ නියෝජනය කරන දේශපාලනය ජනතාවට අදාළ නැති බව තේරුම් ගන්න මේ සිදුවීමම, හොඳටම ඇති. ජනතාව පිළිකුල් කරන දේශපාලනය නියෝජනය කරන සියලු දෙනා වෙනුවෙන් එම ව්‍යාපෘතිය ගෙනයන්න පොරබදන කිහිපදෙනෙක් බැසිල් රාජපක්ෂ පිළිගන්න ගිහින් හිටියා. පුරවැසියන් එතන නැහැ.

ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙක් ජනාධිපති වී රට ගොඩගැනීමේ වීරයා බව ප්‍රකාශ කරමින් සිටිනවා. කෝවිඞ්, වැරදි කෘෂිකාර්මික ප්‍රතිපත්ති, ගෝඨාභය රාජපක්ෂගේ කාලය තුළ නොතිබුණේ නම් රට කඩා නොවැටෙන බව ඔවුන් කියනවා. මේ කඩාගෙන වැටුණු අවස්ථාවේ ගින්දරෙන් මතුවූ වීරයෙක් වගේ රනිල් වික්‍රමසිංහ පැමිණි බව කියනවා. ජාත්‍යන්තර සම්බන්ධතා තිබෙන, ආර්ථිකය පිළිබඳ හසල දැනුමක් තිබෙන රනිල් වික්‍රමසිංහට විකල්පයක් නැති බවත් කියනවා. නමුත් ඇත්ත තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ආර්ථිකය කඩා වැටීමේ බරපතළම තත්වය ජනතාවට ඇවිත් තිබෙන්නේ දැන්. අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස් පෙළ පංතිවල විශේෂයෙන්ම ශිෂ්‍යයන් නැතිවීම ප්‍රධාන ගැටලුවක්. මේ රට දාලා යාමේ එකම අරමුණ විතරයි ඔවුන්ට තිබෙන්නේ. අපේ තරුණ කාලයේ අසූතුනේ කළු ජූලිය, යූ.එන්.පී. භීෂණය, යුද්ධය අතරේ අපි හිටියා. එදා තරුණ පරපුරරේ ප්‍රබල මතය රට දාලා යන එක නොවෙයි. ෆයිට් එකක් දීලා රට හදන්න පුළුවන් කියන හැඟීම අපේ පරපුරට තිබුණා. අද තරුණ පරපුරට එහෙම හැඟීමක් වත් ඉතිරි වෙන්න පුළුවන් සමාජයක්, රටක් අද නැහැ. රනිල් වික්‍රමසිංහ යටතේ රට ස්ථාවර වෙනවා කියන විහිළුව කරන්නේ මේ තත්වය තුළ.