උණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංගසතියේ සටහන

හමුදා කඳවුරු බන්ධනාගර ලෙස ප්‍රකාශයට පත්කොට බන්ධනාගාර රැඳවියන් ගාල් කරාවි ද?

ජගත් ගේ සතියේ සටහන -  125

අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීමට යන බවට විපක්ෂයේ දේශපාලන පක්ෂ පසුගිය සතිවල මහත් හඩක් නැඟුවා. ඒ සඳහා මාධ්‍ය හමු, සම්මන්ත්‍රණ පමණක් නොව පාර්ලිමේන්තුවේ දී ද හඬ නැඟීමට විපක්ෂය පියවර ගෙන තිබුණා. එහෙත් එම මාතෘකාව රටේ සාමාන්‍ය ජනතවට එතරම් බලපාන කරුණක් නොවූ හෙයින් ඒ ගැන මහජන අවධානය යොමුවී තිබුණේ ස්වල්ප වශයෙන්.

ඒ අතර තුර ජූලි 5 දා හා 6 වැනිදා මීගමුව බන්ධනාගාරයේ හටගත් ගැටුම හා එයින් බන්ධනාගාර පොලිසියේ 8 ක් හා රැඳවියන් 21 ක් මරුමුවට පත්වීමේ සිද්ධිය විපක්ෂයට කාන්තාරයක අතරමං වී සිටි අයකුට ලැබුණ දිය පොදක් බඳුවුණා. මෑත කාලයේ හටගත් විශාල ඛේදවාචකයක් වූ මීගමුව බන්ධනාගාර ගැටුම ගැන විපක්ෂය මාධ්‍ය හමු පවත්වමින් විරෝධය පෑම ආරම්භ කරන විට එම ගැටුමේ දී මියගිය සංඛ්‍යාව ද නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත්වී තිබුණේ නැති අතර බන්ධනාගාර ගැටුමට මුල් වූ හේතුන් ද ඒ වන විට අනාවරණය වී තිබුණේ නැහැ.

මීගමුව බන්ධනාගාරයේ හටගත් ගැටුම ගැන පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය එම ගැටුම ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලා සිටි අතර ඒ සඳහා පැව තුනක විවාදයක් ලබාදීමට කතානායකවරයා ඒකඟ වී තිබුණා.

ඒ අනුව පසුගිය 7 වැනිදා පස්වරු 3. 30 සිට පස්වරු 6.30 දක්වා පැවති කල්තැබීමේ විවාදයේ දී විපක්ෂයේ කථිකයින් හැමදෙනා ම වාගේ ප්‍රකාශ කළේ මේ සිද්ධිය ගැන ආණ්ඩුව වගකිම බාරගත යුතු බව යි.

මෙම විවාදයේ දී කතා කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා 1988 දී ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් කොළඹ මැගසින් බන්ධනාගාරයට ප්‍රහාරයක් එල්ල කොට එහි සිරගත කොට සිටි ඔවුන්ගේ සාමාජිකයින් 170 දෙනකු පමණ මුදාගත් අවස්ථාවේ එවකට අධිකරණ ඇමතිවරයා වූ නිශ්ශංක විජේරත්න මහතා එම සිද්ධියේ වගකීම බාරගෙන ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ බව ප්‍රකාශ කළා.

එවැනි පූර්වාදර්ශ තිබෙන බැවින් වර්තමාන අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ප්‍රකාශ කළා.

එහෙත් දේශපාලන නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ 1983 කළු ජූලියේ දී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා  සිටි කොටි සැකකරුවන් 53 ක් සිංහල සිරකරුවන් ඝාතනය කළ අවස්ථාවේ දී ඇමතිව සිටියේ නිශ්ශංක විජේරත්න මහතා බව යි. ඒ අවස්ථාවේ ඔහු ඉල්ලා අස්නොවූයේ මන්දැ යි ඔවුන් ප්‍රශ්න කරනවා.

එහෙත් මෙම විවාදයට පෙර එදින උදේ වරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළ අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා මෙම සිදුවීම රජය අවතක්සේරු කරන්නේ නැති අතර ඒ ගැන පූර්ණ පරීක්ෂණයක් සිදු කරන බවත් සිද්ධියේ වගකීම බන්ධනාගාර භාර ඇමතිවරයා ලෙස තමා බාරගන්නා බවත් කියා සිටියා.

කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනය කිරීමට විශ්‍රාමික විනිසුරු ප්‍රියන්ත ෆ්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කොමිටියක් පත් කළ බව ද ඇමතිවරයා පැවසුවා.

මීගමුව බන්ධනාගාරයේ හටගත් මෙම ගැටුම  හුදෙක් රැඳවියන් අතර හටගත් ගැටුමක් ලෙස පෙනී ගියත්, එය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ හා පාතාලයට සම්බන්ධ ප්‍රතිවාදී කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් බව දැනට හෙළිවී ඇති තොරතුරුවලින් පැහැදිලි වන බව ද කී හර්ෂණ නානායක්කාර මහතා නිරායුද නිලධාරීන් අට දෙනකු රැඳවියන් විසින් අමානුෂික ලෙස පහරදී ඝාතනය කොට ඇති බව ද සඳහන් කළා. මෙහිදී ඔවුන් CCTV කැමරා පද්ධතිය, රුපියල් මිලියන ගණනක් වටිනා 'බොඩි ස්කෑනර්' යන්ත්‍රය ඇතුළු දේපොළ රැසක් විනාශ කර තිබෙනවා.

පසුගිය කාලයේ මීගමුව බන්ධනාගාරයේ තිබු මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම නිසා මුල්‍යමය පාඩු සිදුවී ඇති එහි එහි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කාර රැඳවියන් මෙම ගැටුමට මූලිකව ඇති බව ද ලැබී ඇති තොරතුරුවලින් හෙළිවී වූ බව ද ඇමතිවරයා ප්‍රකාශ කළා.

බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන අන්දමට පසුගිය ඉරිදා (5) මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුම හටගෙන ඇත්තේ එහි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තවත් රැඳවියන් දෙදෙනකු නිලධාරීන්ට තොරතුරු සැපයීමේ සිද්ධියක් මුල්කර ගෙන යි. කටුවැල්ලේගම සුරේෂ් හා මහේෂ් යන දෙදෙනාගේ කණ්ඩායම්අතර හටගත් මෙම ගැටුමේ දී රැඳවින් දෙදෙනකු මියගොස් තවත් 28 කට පමණ තුවාල සිදුවී රෝහල්ගත කොට තිබුණා.

එම ගැටුම එදා රාත්‍රියේ ම සමථයකට පත්වූ බව බන්ධනාගාර නිලධාරීන් පවසා තිබුණා. එහෙත් එම ගැටුමට සම්බන්ධ රැඳවියන් එදා රාත්‍රියේ ම වෙනත් බන්ධනාගාරවලට මාරු කර යැවීමට නිලධාරීන් කටයුතු කළේ නම් බන්ධනාගාර නිලධාරීන් 8 දෙනකුගේ සහ තවත් රැඳවියන් 20 කගේ පමණ ජීවිත ආරක්ෂා වනු ඇති බව එහි ආරංචි මාර්ග පවසනවා.

එහෙත් පසුදින එනම් 6 වනදා උදේ නිලධාරීන් රැඳවියන්ට උදෑසන ආහාර සපයමින් සිටිය දී ගැටුම ආරම්භ වි ඇත්තේ එක් ජේලර්වරයකු පැමිණ ආහාර පෝලිමේ රැඳී සිටි රැඳවියන්ට පහර දීමෙන් පසු බව ද බන්ධනාගාර ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරනවා.

ඒ සමඟ බන්ද පොලිස් නමින් හඳුන්වන බන්ධනාගාර පොලිසියේ නිලධාරීන් දහ දෙනකු පමණ සිවිල් ඇඳුමින් සැරසී බන්ධනාගරය තුළට පැමිණ තිබෙනවා. කලින් නිලධාරීන් කළ පහරදීමෙන් කුපිතවී සිටි රැඳවියන් මෙම බන්ද පොලිස් නිලධාරීන් වටකොට අමානුෂික අන්දමින් පහර දී තිබෙනවා.

බන්ද පොලිස් හෙවත් බන්ධනාගාර පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය බන්ධනාගාරවල සිරමැදිරි හිදිසි පරීක්ෂාවකට ලක්කොට ඒවායේ තිබෙන තහනම් භාණ්ඩ වන දුරකතන, මත්ද්‍රව්‍ය ආදිය සොයාගැනීමයි. එමෙන් ම බන්ධනාගාර නිලධාරීන් නීතිවිරෝධී ලෙස රැඳවියන්ට දීම සඳහා දුරකතන හා වෙනත් දෑ හොරෙන් ගෙන යන අවස්ථා වැටලීම ද මොවුන්ගේ රාජකාරියට අයත් වෙනවා.

මේ නිසා මෙම බන්ද පොලිස් නිලධාරීන් ගැන රැඳවියන් තුළ ඇත්තේ දැඩි විරෝධයක් හා වෛරයක්.

කලින් දින හා එදින උදේ ඇති වූ ප්‍රහාරවලින් කුපිතව සිටි රැඳවියන් මෙම බන්ද පොලිස් නිලධාරීන්ට ආමානුෂික ලෙස පහර දුන් බවයි ආරංචි මාර්ග පවසන්නේ. එම බන්ද පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් නිරායුදව බන්ධනාගාරය තුළට යාමට නියෝග දුන් නිලධාරියා ඔවුන්ගේ මරණවලට වගකිවයුතු බවයි බොහෝ නිලධාරීන් පවසන්නේ.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සේවය අත්සිටුවා වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අධ්‍යක්ෂ ජෙනරාල්වරයකු පත් නොකිරීම ගැන විපක්ෂය ආණ්ඩුවට චෝදනා නඟනවා.

එමෙන් ම ජූලි 5 වනදා රාත්‍රියේ මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුම පිළිබඳව එහි නිලධාරීන්ට ඉහළින් කිසිදු නියෝගයක් හෝ උපදෙසක් හෝ ලැබී නැති බවත් අධිකරණ ඇමතිවරයා සම්බන්ධකර ගැනීමට බන්ධනාගාර ප්‍රධානීන්ට පසුවදා වන තුරු නොහැකි වූ බවත් වාර්තා වෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ මීගමුව බන්ධනාගාර අධිකාරීන්  එහි ගැටුම පිළිබඳව පොලිසියෙන් ආධාර ඉල්ලා සිටියේ පසුදා එනම් 6 වැනිදා පෙරවරුවේ බවයි. ඒ වන විට බන්ධනාගාරයේ දෙවන ගැටුම ද සිදුවී බන්ද පොලිස් නිලධාරීන් 8 දෙනකු හා රැඳවියන් 21 දෙනකු ගේ ජීවිත අහිමි වී තිබුණා.

ඒ අතර 6 වැනිදා මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් විශාල පිරිසක් වැලිකඩ, අඟුණුකොළපෑලැස්ස, බූස්ස, මහනුවර හා ගාල්ල බන්ධනාගාරවලට මාරුකර යවා තිබෙනවා.

එසේ යවනු ලැබූ රැඳවියන්ට එම බන්ධනාගාරවල දී පහර දී ඇති බවට සිරකරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානය චෝදනා කරනවා. ඇම්නෙස්ටි ඉන්ට නැෂනල් නම් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය ද මෙම සිදුවීම් ගැන කණස්සල්ල පළකොට ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වුවද මෙරට බන්ධනාගාරවල ඉඩ තිබෙන්නේ රැඳවියන් 12000 කට පමණක් වන නමුත් මේවන විට රැඳවියන් 42000 ක් ඒවායේ රඳවා සිටීමෙන් ඇතිව තිබෙන තදබදය බන්ධනාගාරවල ගැටුම් වලට තවත් හේතුවක් ලෙසයි සමාජ විද්‍යාඥයින් පවසන්නේ.

දැනට මෙරට බන්ධනාගාරවල රැඳවියන්ගෙන් 70% ක් ම මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගත් අය බවයි දැනගන්නට තිබෙන්නේ.

රැඳවියන් නිවාස අඩස්සියේ තැබීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම ගැන ආණ්ඩුව සලකා බලමින් සිටිනවලු

හමුදා කඳවුරු බන්ධනාගර ලෙස ප්‍රකාශයට පත්කොට බන්ධනාගාර රැඳවියන් ගාල් කරාවි ද?

පසුගිය ආණ්ඩුව කාලයේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලදී 27000 ක් පමණ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකොට තිබෙනවා.

ඉකුත් රජය 2022 දී විෂ මත්ද්‍රව්‍ය සහ අබිං පනතට ගෙන ආ සංශෝධන අනුව මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 කට වැඩිය සන්තකයේ තිබීය දී අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇප නොදී බන්ධනාගාරගත කරනු ලැබුවා. මෙම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා අවුරුදු ගණන් ප්‍රමාදවීම නිසා මේ සැකකරුව්නට ඇප ලබාගැනීම අපහසුවී තිබෙනවා. මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් ළඟතබා ගත් අයකුට මෙනිසා මාස 18 ක පමණ කාලයක් සිරගත වී සිටීමට සිදුව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.

මේ තත්වය යටතේ මීට පෙර පැවති බන්ධනාගාර ගැටුම් පිළිබඳව පත්කළ කමිටු වාර්තා සහ වෙනත් කමිටු මඟින් ඉදිරිපත් කොට තිබු රැඳවියන් නිවාස අඩස්සියේ තැබීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම ගැන ආණ්ඩුව සලකා බලමින් සිටින බව වාර්තා වෙනවා. මේ අනුව නිවාස අඩස්සියේ තබන රැඳවියන්ට ඔවුන්ගේ නිවෙස්වලින් පිටවිය නොහැකි අතර ඔවුන් නිරීක්ෂණය කිරීම සඳහා ඔවුන් ගේ අත්වල හෝ පාදවල විද්‍යුත් වළල්ලක් සවි කිරීම සිදු කෙරෙනවා.

තවත් යෝජනාවක් නම්දැනට තිබෙන ඇතැම් හමුදා කඳවුරු බන්ධනාගර ලෙස ප්‍රකාශයට පත්කොට බන්ධනාගාර රැඳවියන් ඒවාට යැවීම යි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ වැලිකඩ බන්ධනාගාරය හොරණ මිල්ලෑව ප්‍රදේශයට ගෙනයාම සඳහා සකස් කළ සැලැස්ම යළි ක්‍රියාත්මක කළ යුතු බව තවත් පිරිසක් පෙන්වා දෙනවා.

කෙසේ වුවද බන්ධනාගාරවල පවතින අයහපත් තත්වය නැති කිරීමට ආණ්ඩුව කඩිනම් පියවර නොගත්තොත් ඉදිරියේ දී තවත් බන්ධනාගාරවලින් මෙවැනි ගැටුම් අපේක්ෂා කළ හැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා.

 - ජගත් -