උණුසුම් පුවත්කව් මිණි වැල්කාලීනවිශේෂාංගසාහිත්‍යය හා කලාව

හයිකු කව් පද අමුණන අනුෂා

සිංහල දමිළ දෙබසින් ම වැඩ ගන්නා ඇය!

සුසුම් හෙලන කඳු
© අනුෂා ගමඇතිගේ
කාව්‍ය සංග්‍රහය
පිටු - 76 කි
කතෘ ප්‍රකාශනයකි.
මිල රුපියල් 450. 00
මේ ශ්‍රී ලංකා හයිකු කාව්‍ය සංග්‍රහයකි.
පද්‍ය 51 ක් අන්තර්ගත වන අතර කතුවරිය විසින් ම එකව් දෙමළ බසට ද නඟා තිබීම මෙහි ඇති විශේෂත්වයක් බව සඳහන් කිරීම වටී. සිංහලෙන්, දෙමළෙන් හා ඉංග්‍රීසි බසින් හැම කවියක් ම කියවීමට, කියවා රස විඳීමට පාඨකයාට අවස්ථා සලසාදීම බෝ සේ අගය කළ යුත්තේ ය. සුසුම් හෙළන කඳු පැදි ඉංග්‍රීසි බසට පෙරළා ඇත්තේ නන්දා ගුණරත්න මහත්මිය යි.
ඉතා මනහර ලෙස පාඨකයා අතට සුසුම් හෙළන කඳු පත් කරන්නට මරදානේ ජයන්ත වීරසේකර මාවතේ පිහිටි එස්. ඇන්ඩ් එස්. මුද්‍රණාලය ගෙන ඇති අයුරු ප්‍රසංසනීය ය.
බොහොම බුහුටි පද්‍ය සංග්‍රහයක් බව බැලූ බැල්මට පෙනේ.
එමෙන් ම මේ කවිකාරියගේ  සිතිවිලි ද බෝ අපූරු ය.
මෙහි පෙරවදන ශ්‍රී ලංකා හයිකු නවි සමාජයේ සභාපති පාලිත සේනාරත්නයන් ගේ ය.
ඔහු සිය පෙරවදනෙහි මෙසේ සටහන් කර ඇත.
පැරණි ජපන් හයිකු කවියේ මාත්‍රා සුතුර හැර අන් හැම ඉංගිතයක් ම සහ අපට ම අනන්‍ය අප හද බස අපි අපේ ශ්‍රී ලංකා හයිකු කාව්‍ය යේ ප්‍රභාව සඳහා උපස්ථම්බක කර ගනිමු.
අන්තර්ඥානයෙන් ග්‍රහණය කර ගනු ලබන අනුභූතිය පරිකල්පනීය ක්ෂණික වේදිතයක පිහිටුවා හයිකු හැඩය මතු කර ගැනීම අප සතු අභියෝගය බව අප හයිකු කවි අධ්‍යයන මණ්ඩයන්හි සිසුන් වශයෙන් වටහාගෙන ඇති බවට සාක්ෂ්‍ය සපයන්නේ අන් කවරකුවත් නොව අපේ අනුෂා ගමඇතිගේ ලියන ඇගේ ම මෙම හයිකු කවිය යි.
ගං දියට නැමී
පැන් කළය පුරවයි
දැහැන්ගත භික්ෂුව
bending to river
water fills the pot
dhyaangained bhikku
මෙම හයිකු කවියේ බහාලු සංඥමය පටිතය කෙබඳු ඉසව්වක් කරා රසික තැන කැඳවා ගෙන යන්නේ ද, භික්ෂුව පැන් කළය පුරවයි. පැන් යනු කුමක් ද? බැන් තුළින් සංසිඳුවා ගැනීමට භික්ෂුවට තිබෙන පිපාසය කුමක් ද? ආනන්තරීය ප්‍රශ්නයකි හැකි නම් පිළිතුරු දෙත්වා. මින් නැඟෙන භාවමය හඬ මගින් ශබ්ද රාශියක වර්ණ මතු කරයි....
ජපන් සාම්ප්‍රදායික මෙම පැරණි හයිකු කවි ශානරය ඉතා සියුම් භාව චිත්‍රයකි. චිත්තරූපික මෙම කවි කලාව ලෝක සාහිත්‍ය දහරාවේ අගනා මෙන් ම කුඩා ම සාහිත්‍ය අංගය බවට විවාද නැත. මුළු ලොවට ම එක හඬින් අද එය පිළිගනී.
හක්මන වේපතඉර ගම්හි උපත ලබනා අනුෂා මාතර බුද්ධ ජයන්ති ප්‍රාථමික විදුහලින් ද හක්මන කෝංගල මැදි මහ විදුහලෙන් ද අකුරු කර කැලණිය සරසවියෙන් වාග්විද්‍යා අංශයේ දෙමළ භාෂා ඩිප්ලොමා ධාරිණියක් වී අද දෙමළ බස ඉගැන්වීමේ නිරත ගුරුවරියකි.
 ඇගේ මේ උත්සාය ඉතා ප්‍රසශ්තය.
හැර තබමි කවුළුව
සඳ එළියට
ගෙට එන්න
keeping the window open
for the moonlight
to enter the house
කූඩුවක් තනන්න
මැටි බෝල ගෙනියන
වැහි ළිහිණි ජෝඩුව
fair of swallows
carrying clay balls
to build a nest
ඇගේ බස් වහර බෝ සරල ය. සුමුදු ය. එනමුදු එහි ගැඹුර...... පාඨක ඔබට හිතන්නට, විඳින්නට, බැඳි මෙපබැඳුම් ඔබ සිත් සතන් ආනන්දයෙන් පුරවනු සිකුරු ය.  පුබුදණු ඇත.  
කවිකාර අනුෂාගේ මේ සුන්දර පැදි පොකුර ඉඹ සිඹ ඔබට දැනෙන සුවඳ කෙබඳුදැ යි කියන්නේ නම් ඇයට තව තවත් මෙවන් පද අමුණන්ට සවියෙකි. දිරියෙකි.