වාරිමාර්ග රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මාධ්‍ය හමුවක දී කියයි
උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120 ක විදුලි ධාරිතාවක් ලබන පෙබරවාරි මස 15 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.
එසේම ජලය මත පාවෙන සූර්ය පැනල මගින් මෙගාවොට් 3077ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය ජලාශ 31 ක් දැනටමත් හඳුනාගෙන තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසී ය.
2024 වසරේ වාරිමාර්ග අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යභාරය වශයෙන් ආහාර නිෂ්පාදනය ඉහළ නංවමින් ජාතික ආහාර සුරක්ෂිතතාවය උදෙසා උපරිම දායකත්වයක් ලබාදීමට අරමුණු කරගෙන තිබෙනවා. ඒ වගේම වාරිමාර්ග අමාත්‍යාංශයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 23,413 ක මුදලක් වෙන් කර තිබෙනවා. ඉන් රුපියල් මිලියන 6913 ක් ජලාශ නඩත්තු කිරීමටත්, රුපියල් මිලියන 16500 ක් මහා පරිමාණ වාරි ව්‍යාපෘතීන් වෙනුවෙනුත් වෙන් කර තිබෙනවා.
මහවැලි සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 4678 ක මුදලක් දේශීය අරමුදල් ලෙස වෙන් කර තිබෙනවා. ඉන් රුපියල් මිලියන 1590 ක්ම වෙන් කර තිබෙන්නේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන්. එසේම පශු සම්පත් කටයුතු වෙනුවෙන් ද රුපියල් මිලියන 930 ක් ද වෙන් කර ඇති බව කිව යුතුයි.
වාරිමාර්ග අමාත්‍යාංශය හරහා මහා පරිමාණ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් දැනටමත් ක්‍රියාත්මකයි. එම ව්‍යාපෘති අතරින් බහුතරයක් විදේශීය ණය ආධාර මත ක්‍රියාත්මක කෙරෙනවා. මේ යටතේ ආරම්භ කළ උමාඔය ව්‍යාපෘතියෙහි වැඩකටයුතු අවසන් අදිරයට පැමිණ තිබෙනවා. එම නිසා එමඟින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120 ක විදුලි ධාරිතාවක් පෙබරවාරි මස 15 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා.
එසේම ජාතික විදුලි පද්ධතියට සූර්ය සහ ජල විදුලිය එකතු කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහන් රැසක් මේ වසරේ ක්‍රියාත්මක කෙරෙනවා. මේ යටතේ භූමිය, පියසිමත, ජලය මත පාවෙන සූර්ය කෝෂ යොදා ගැනීමට නියමිතයි. ජලය මත පාවෙන සූර්යබල විදුලිය උත්පාදනය කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ජලාශ 14 කින් මෙගාවොට් 2524 ක්, වාර්මාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 17කින් මෙගාවොට් 553ක් නිපදවීමට අවශ්‍ය ජලාශ 31 ක් මේ වන විටත් හඳුනාගෙන තිබෙනවා. මෙම සියලු ව්‍යාපෘති විදුලිබල අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.
උමාඔය ව්‍යාපෘතියට සමගාමීව කුඹුරු හෙක්ටයාර් 4500 කට සහ නව කුඹුරු හෙක්ටයාර් 1500 කට ජලය සැපයීමට බලාපොරොත්තු වෙනවා. මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන තුළින් මිණිපේ ඇළ ප්‍රතිසංස්කරණය කිරීමට එහි අමුණ මීටර් 3.5 කින් එසවීමටත්, වයඹ පළාත් මහඇළ කිලෝමීටර් 11 ක උමං මාර්ගයක් ද සහිතව කිලෝමීටර් 90 ක දිගින් යුතු ඇළ ඉදිකිරීමටත් පියවර ගෙන තිබෙනවා.
මීට අමතරව උතුරු මැද මහ ඇළ ඉදිකිරීමට තුළින් ප්‍රධාන වැව් 07කට සහ කුඩා වැව් 350කට කන්න දෙකටම අවශ්‍ය ජලය ලබාදීමටත් හැකියාව පවතිනවා. තවද එක්ලක්ෂ අසූපන්දහසකට පානීය ජලය ලබාදීමටත් ප්‍රමුඛතාව ලබාදී තිබෙනවා.
ජාතික ආහාර සුරක්ෂිතතාවයට සමගාමීව ගොවි සංවිධාන හරහා ග්‍රාමීය ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ලෝක බැංකු ආධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 25 ක් වෙන් කර ඇති බව ද කිව යුතුයි.