නිමල් සිරිපාල වැඩ බලන සභාපති සේ අද පත්වෙවෙලා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වෙයි ද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කොට ඇති අතුරු තහනම් නියෝගය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පත්ෂය දෙකඩ වන තත්ත්වයකට මුහුණ පා තිබෙනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ ව්‍යවස්ථාවට පටහැණිව කටයුතු කරන බැවින් කටයුතු කරන බැවින් ඔහුගේ සභාපති ධූරය අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කොට තිබූ පෙත්සමක් අනුවයි දිසා අධිකරණය විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කොට තිබෙන්නේ.
අර්බුදයට ආසන්න තම හේතුව
මෙම අර්බුදයට ආසන්නතම හේතුව වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක සභාව හා සමස්ත ලංකා කාරක සභාව පසුගිය සෙනසුරාදා රැස් වූ අවස්ථාවේ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර හා ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරු ඔවුන් දැරූ තනතුරුවලින් නෙරපා හැරීමට පියවර ගැනීම නිසයි.
ඔවුන් තිදෙනා පසුගිය සඳුදා අධිකරණය හමුවට ගොස් තමන් පක්ෂයේ නිලතලවලින් නෙරපා හැරීමට ගත් තීරණයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණා.
එම අධිකරණ නියෝගය ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණි මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න හා දුමින්ද දිසානායක එහි සිට මාධ්‍ය හමුවක් ද පැවැත්වූවා.
මේ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගේ පෙත්සම අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ පක්ෂ සභාපති ධූරය අප්‍රේල් 18 වැනි දා දක්වා අත්හිටවීමට අධිකරණ නියෝග කිරීම හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂ මූලස්ථානයට ඇතුළු වීමට නොහැකි වී තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව හිටපු ජනාධිපතිවරුන්ට පක්ෂ සභාපති තනතුර දැරීමට නොහැකියි. මීට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන් ද ජනාධිපති ධුරයෙන් ඉවත්වූ පසු පක්ෂයේ අනුශාසකවරුන් ලෙස යි කටයුතු කළේ.
එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ සභාපති ධූරය දැරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැණි බවයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දිසා අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති පෙත්සමේ දැක්වෙන්නේ

මේ පෙත්සම පිළිබද විභාගය අවසන් වූ විට මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂ සභාපති ධූරය දැරීමට හැකිවෙන්නේ නැහැ.
මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නායකයකු පත්කර ගැනීමට සිදුවන බව එහි ජ්‍යෙෂ්ඨ නායකයින් අප සමඟ ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කිහිපයක් අතුරුදන් වී ඇති බවට පෙරේදා මරදාන පොලිසියට පැමිණිලි කොට තිබුණා.
එම පැමිණිල්ල අනුව ඊයේ (06) උදේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූළස්ථානය වෙත පැමිණි පොලිසිය පක්ෂ මූළස්ථානයට සීල් තබනු ලැබුවා.
මේ වන විට පක්ෂයේ වැඩ බලන ලේකම් විසින් පක්ෂයේ ආසන සංවිධායකයින් කැඳවා ඊයේ උදේ පක්ෂ මූලස්ථානයේ රැස්වීමක් පැවැත්වීමට යොදා තිබූ නමුත් පොලිසිය පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ලට සීල් තැබීම නිසා පැමිණ සිටි පිරිස් විරෝධතා දක්වමින් කෑකෝ ගසමින් සිට විසර ගියා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂයේ වැඩ බලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා වෙත ලිපියක් යවමින් පක්ෂ සභාපතිවරයාට අධිකරණ වාරණයක් පවතින බැවින් පක්ෂයේ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා පක්ෂයේ විධායක සබාව අප්‍රේල් 08 වැනි දා පෙරවරු 10. 00 ට කැඳවන්නැ යි ඉල්ලා තිබුණා.
පක්ෂ සභාපතිවරයාට පනවා ඇති වාරණ නියෝගය තමාට ලැබී නැති බවත් පක්ෂ ව්‍යවස්ථාවට අනුව තමාට විධායක සභාව කැඳවීමේ බලයක් නොමැති බවත් දුෂ්මන්ත මිත්‍රපාල මහතා නිමල් සිරිපාල ද සිල්වා මහතාට පිළිතුරු වශයෙන් දන්වා යවා තිබෙනවා.
තමාට පණවා ඇති අධිකරණ නියෝගය ඉවත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (08) අධිකරණය හමුවට ගොස් කරුණු දැක්වීමට කටයුතු කරන බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඊයේ (07) අප සම ප්‍රකාශ කළා.
ශ්‍රීලනිප යේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල!!! වැඩ බලන ලේකම් දුමින්ද !!!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් අද (08) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති අතර පක්ෂයේ වැඩ බලන සභාපති වශයෙන් ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා එහිදී පත්කර ගෙන තිබෙනවා.
පක්ෂයේ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරංතුංග මහත්මිය ද සහභාගි වූ මෙම රැස්වීම කැදවා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනුයි.
පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් එකොළොස් දෙනාගෙන් හයදෙනකු ම පැමිණ සිටි මෙම රැස්වීමේ දී නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩ බලන සභාපති ලෙස ඒකමතිකව පත්කර ගත් බව පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පැවසුවා.
මේ අතර දැනට ජාතික සංවිධායක ධූරය දරණ දුමින්ද දිසානායක මහතා පක්ෂයේ වැඩ බලන ලේකම් වශයෙන් ද පත්කර ගෙන තිබෙනවා.
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට ආණ්ඩුවේ ඇමති තනතුරු දරණ පිරිසට අවශ්‍ය වී ඇති බවත් ඒ සඳහා ඔවුන් තමාට විරුද්ධව කුමන්ත්‍රණ කරමින් පක්ෂය දෙකඩ කිරීමට ක්‍රියා කරන බවත් මෛත්‍රීපාල සීරිසේන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.
මීට පෙර 1982 වර්ෂයේ දී ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අනුර බණ්ඩාරනායක හා මෛත්‍රීපාල සේනානායක මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් අල්ලා ගනු ලැබූ අවස්ථාවේ දී ද ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයට ඇතුළු වීම පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් විජය කුමාරතුංග මහතා ඇතුළු පිරිසකට තහනම් කොට තිබුණා. අදත් උදා වී ඇත්තේ එවැනි තත්ත්වයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි නායකයෙක් අප සමඟ ප්‍රකාශ කළා.
පසුගිය දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේ දී මෛතීපාල සිරිසේන මහතා විසින් තනතුරු වලින් ඉවත් කරනු ලැබූ මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න හා දුමින්ද දිසානායක යන මහත්වරුන් එම තනතුරුවලින් පහකිරීම අත්හිටුවමින් පණවා තිබූ අතුරු තහනම් නියෝගය පිළිබඳ නඩුව අද (08) යළි විභාගයට ගත් අවස්ථාවේ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අප්‍රේල් 24 තෙක් එම නියෝගය දීරඝ කොට තිබෙනවා.
- ජගත් -