නිර්පාක්ෂික අපේක්ෂක රනිල් ?
ප්‍රථමයෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය ද නැතිනම් පාර්ලිමේන්තු මැතිවරණය ද යන්න පිළිබඳව පසුගිය දිනවල දේශපාලන පක්ෂ අතර විවිධ මත පළ වෙමින් තිබුණා. එහෙත් මේ වසරේ සැප්තැම්බරයේ දී ජනාධිපතිවරණයත් 2025 ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තු මැතිවරණය හා අප්‍රේල් මාසයට පෙර පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ ප්‍රකාශ කිරීමත් සමඟ මේ වන විට සෑම දේශපාලන පක්ෂයක් ම ජනාධිපතිවරණයට සූදානම් වීම ආරම්භ කොට තිබෙනවා.
ජනාධිපතිවරණය ප්‍රථමයෙන් සැප්තැම්බර් මස පවත්වන බව වික්‍රමසිංහ මහතා පළමු කොට හෙළිකොට තිබුණේ පසුගිය 9 වන දා පැවති එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමේ දී. ඉන්පසු ඔහු ඒ බව කැබිනට් මණ්ඩලයට හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ද දැනුම් දී තිබුණා.
මෙහිදී ජනාධිපතිවරයා දැනුම් දී තිබුණේ ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස තමා ද ඉදිරිපත් වන බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රකාශයෙන් පසු කූඹි ගුලක් සේ ඇවිස්සී සිටින දේශපාලන පක්ෂ තවත් පක්ෂ සමඟ හවුල් වී සන්ධාන ඇතිකර ගැනීමට උත්සුක වී ඇති බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.
සමගි ජන බලවේගය ද ”සමගි ජන සන්ධානය” නමින් නව සන්ධානයක් පිහිටුවීමට කටයුතු කරගෙන යන අතර අප්‍රේල් මාසයේ දි ඒ සඳහා අනිකුත් පක්ෂ සමඟ ගිවිසුම් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.
දැනටමත් සමගි ජන බලවේගය සමඟ එක්ව කටයුතු කරන රවුෆ් හකීම්, රිෂාඩ් බද්උද්දීන්, මනෝ ගනේශන්, පලනි දිගම්බරම් යන මහත්වරුන් ගේ නායකත්වයෙන් යුත් මුස්ලිම් හා දෙමළ පක්ෂ ද, මෑතක දී සමගි ජන බලවේගය සමඟ ගිවිසුම් ඇති කරගත් නිදහස ජනතා සභාවේ ජී. එල්. පීරිස්, ඩිලාන් පෙරේරා ඇතුළු කණ්ඩායම ද මෙම නව සන්ධානයට ස්ථිර වශයෙන් ම එක්වන බව පැවසූ එම ප්‍රකාශකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා පොදු ජන පෙරමුණෙන් ද මන්ත්‍රීන් වැඩි පිරිසක් සමගි ජන සන්ධානයට එක්වීම පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා සමඟ මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බව ද කියා සිටියා.
සාගල ගේ ගේම
මේ අතර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් කිහිප දෙනකු ඇතුළු පිරිසක් පසුගිය 08 වැනි දා රාත්‍රියේ කොළඹ 07 පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
මෙම සාකච්ඡාවට ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකු, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු, ආණ්ඩුවේ සිට විපක්ෂයට ගොස් ස්වාධීන වූ මන්ත්‍රීන් කිහිප දෙනකු හා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීන් කිහිප දෙනකු ඇතුළු විසි දෙනකු පමණ සහභාගි වී ඇති බව වාර්තා වෙනවා.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් ඉතාමත් රහසිගතව මෙම සාකච්ඡාව සංවිධානය කොට තිබූ බවයි දැනගන්නට තිබෙන්නේ.
අපි ඉන්නේ ඔබ තුමත් එක්ක ආණ්ඩු පක්ෂ විපක්ෂ මැති ඇමතිලා රනිල්ට කියති
ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණය මෙහි ප්‍රධාන මාතෘකාව වී තිබූ අතර රැස්ව හුන් මැති ඇමති පිරිස රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් එක හඬින් ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ලෙසයි. ඒ සඳහා ආණ්ඩුවේ හා විපක්ෂයේ හිතවත් පක්ෂ එකතු කොට සන්ධානයක් පිහිටුවන ලෙසත් ඉල්ලා ඇති මෙම මැති ඇමති පිරිස ජනාධිපතිවරයාට තමන්ගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වූ බවත් වාර්තා වෙනවා.
”මේ වෙලාවේ රට ගොඩ ගන්න පුළුවන් එකම සුදුස්සා ඔබතුමා. කවුරු මොනවා කිව්වත් අපි ඉන්නෙ ඔබතුමා එක්ක. ඒනිසා ඔබ තුමා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න. අපි සියලු දෙනාගේ ම සහාය ඔබතුමාට ලැබෙනවා” යැ යි පොදු ජන පෙරමුණු ආණ්ඩුවේ ඇමතිවරයෙක් ජනාධිපතිවරයාට පවසා තිබෙනවා.
“නිසි අවස්ථාව එන විට සමගි ජන බලවේගයෙන් ද මන්ත්‍රීන් සැලකිය යුතු පිරිසක් ද තමන් සමඟ එක්වී ජනාධිපතිතුමාට සහාය දීමට ඉදිරිපත් වෙනවා” යි මෙම සාකච්ඡාවට සහභාගි වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් පැවසූ බව ද හෙළදිවට වාර්තා වෙනවා.
පැයකට අධික කාලයක් පැවති මෙම සාකච්ඡාවේ දී ඔවුන් පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් අනෙක් පක්ෂවල පිරිස් ද එකතු කරගෙන කඩිනමින් සන්ධානයක් පිහිටුවන ලෙසයි. එවිට තමන් තම පක්ෂවලින් ඉවත් වී ප්‍රසිද්ධියේ ම ඒළියට පැමිණ ජනාධිපතිවරයාට සහයෝගය පළ කරන බව ද මෙම පිරිස තව දුරටත් පවසා තිබෙනවා.
සජිත්ට දෝස් මුරයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති මෙම සාකච්ඡාවේ දී එයට සහභාගි වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළ බව ද පැවසෙනවා.
”අපේ නායකයාට ඕනැ එයා ප්‍රසිද්ධවීම පමණයි. හැමදාම උදේට පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න අසමින් හා අනෙක් ප්‍රශ්නවලට මැදිහත් වෙමින් එයා කතා කරන්නේ ටීවී ප්‍රවෘත්තිවලට මුහුණ දමා ගැනීමට. ඒකෙන් වෙන්නෙ පාර්ලිමේන්තුවේ කතා කිරීමට පක්ෂයට ලැබෙන කාලයෙන් වැඩි වැඩි කොටසක් නායකයා ගත්තා ම අනිත් මන්ත්‍රීවරුන්ට කතා කිරීමට වෙලාව ලැබෙන්නෙ නෑ”
”පක්ෂයේ සංවිධාන හා ප්‍රචාරක කටයුතුත් ඇනහිටලා සජිත් ප්‍රේමදාස මහතා දිනපතා ම වගේ පාසල්වලට සුහුරු පංති කාමර හා බස් රථ ප්‍රදානය කරමින් එහේදි කරන කතාවලින් රූපවාහිනි හා පුවත්පත් වලින් ප්‍රචාරය ලබා ගන්නවා. පක්ෂ සංවිධාන කටයුතු දුර්වලවෙලා. මේ නිසා ප්‍රාදේශීය ආසන සංවිධායකින් අමාරුවේ වැටිලා ඉන්නේ” යනුවෙන් ඒ මන්ත්‍රීවරුන් දැඩි විවේචනයක් කළ බව ද වාර්තා වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටින් බැහැරව සිටිය ද එක්සත් ජාතික පක්ෂය ඔවුන් ගේ ප්‍රචාරක ව්‍යාපාරය පසුගිය 13 වැනි දා ගාල්ලෙන් ආරම්භ කළා. පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, ඇමති මනූෂ නානායක්කාර, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ආදී නායකයන් රැසක් පැමිණ සිටි මෙම ගාලු දිස්ත්‍රික් එජාප බල මණ්ඩල රැස්වීමේ දී මීළග ජනාධිපතිවරණයේ පක්ෂයේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා විය යුතු බවට ඒකමතිකව සම්මත කරගෙන තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම සති අන්තයේ තංගල්ල නගර ශාලාවේ දී හා රත්නප්‍රර දිස්ත්‍රික් සමුළුව රත්පුර නගර ශාලාවේ දී ද පැවැත්වුණු අතර විශාල පිරිසක් මෙම රැස්වීම් සඳහා පැමි සිටි බව යි වාර්තා වෙන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව හා මධ්‍යම කාරක සභාව පසුගිය 08 වනදා පක්ෂ මූලස්ථානයේ දී සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.
මෙම රැස්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද සහභාගි වනු ඇතැ යි අපෙක්ෂා කළත් ඇය පැමිණ සිටියේ නෑ.
නිමල් ගේ යෝජනාව මෛත්‍රී පුතික්ෂේප කරල
“ජනාධිපතිවරණය මේ වසරේ එන බව ප්‍රකාශ වී තිබෙනවා. අපි මොකද කරන්නේ?” යනුවෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විමසා ඇති නමුත් සභාපති සිරිසේන මහතා ඒ ගැන ඍජු පිළිතුරක් ප්‍රකාශ නොකළ බවයි පැවසෙන්නේ.
”අපි සන්ධානයක් හදා ගන්න කතා කරගෙන යනවා. ඒ පිළිබඳව සන්ධානය ඇති කළ පසු සාකච්ඡා කරමු. එතෙක් අපි පක්ෂය බිම් මට්ටමින් ශක්තිමත් කිරීමට කටයුතු කරමු” යයි මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබෙනවා.
මෙහිදී දැනට අක්‍රිය පවතින එක්සත් ජනතා නිදහස් සංධානය යළි සක්‍රීය කිරීම ගැන ද සාකච්ඡා වී ඇති අතර එම සන්ධානයේ ලේකම් ලෙස මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල යන මහත්වරුන් දෙදෙනා මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිනොගැනීම බලවත් ප්‍රශ්නයක් බවයි මධ්‍යම කාරක සභිකයින් ගණනාවක් ම පවසා තිබෙන්නේ.
එක්සත් නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස කලින් කටයුතු කළේ මහින්ද අමරවීර මහතා වන අතර ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණයට පිටින් ගොස් ආණ්ඩුවේ ඇමතිකමක් ලබා ගැනීමෙන් පසු පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුරට තිලංග සුමතිපාල මහතා පත් කළා. මේ අතර තමන් ඉවත් කිරීමට විරුද්ධව අමරවීර මහතා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ අතර එය තවමත් විභාග වෙමින් පවතිනවා. මේ තත්ත්වය යටතේ මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල යන දෙදෙනා ම එක්සත් ජනතා නිදහස් සන්ධාන ලේකම් ලෙස පිළිනොගැනීමට මැතිවරණ කොමිසම තීරණය කළා.
මධ්‍යම කාරක සභාවේ මේ ප්‍රශ්නය සාකච්ඡා වෙද්දී නිමල් සිරිපාල ද සිල්වා මහතා “එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවට වාමාංශික එක්සත් පෙරමුණ ශක්තිමත් කොට පුටුව ලකුණීන් ඡන්දෙට යමු” යැයි යෝජනා කොට ඇති නමුත් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා එය ප්‍රතික්ෂේප කොට තිබෙනවා.
ඔහු මහින්ද අමරවීර මහතාට නඩුව ඉල්ලා අස්කර ගෙන තිලංග සුමතිපාල මහතා හා සාකච්ඡා කොට එක්සත්ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධූරයේ ප්‍රශ්නය විසඳා ගන්නා ලෙස පැවසූ බව දැන ගන්නට තියෙනවා.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු තවම නම් කොට නැතැයි එහි සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් වමසූ විට ප්‍රකාශ කොට තිබුණා.
පොහොට්ටුවෙන් සම්මන්ත්‍රණ 2500 ක් රට පුරා
කාලයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට විවිධ පාර්ශ්වවලින් එල්ල වූ චෝදනා පිළිබඳව නියම තත්ත්වය ජනතාවට පැහැදිලි කිරීම සඳහා සම්මන්ත්‍රණ මාලාවක් රට පුරා පැවැත්වීමට එම පෙරමුණ පියවර ගෙන තිබෙනවා. එහි ප්‍රථම සම්මන්ත්‍රණය පසුගිය ඉරිදා තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේ දී පැවැත්වුණා. මෙ වැනි සම්මන්ත්‍රණ 2500 ක් පමණ පැවැත්වීමට යන බවයි නෙළුම් මාවතේ පොදු ජන පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.
මේ අතර අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලංසා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගෙන තිබෙන නව සංධානයේ මංගල රැළිය ජනවාරි 27 වැනි දා සවස 3. 00 ට ජාඇළ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලංසා, ප්‍රියංකර ජයරත්න හා වෙළඳ ඇමති නලීන් ෆ්‍රනාන්දු යන මහත්වරු මෙහිදී කතා කිරීමට නියමිත බව යි දැනගන්නට තිබෙන්නේ.