උණුසුම් පුවත්

දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා සමග හෙරොයින් ජාවාරමේ යෙදුනු කාන්තාවක් සහ පුද්ගලයකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

වැඩ බලන පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සදහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ පො.ප. ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.01.05 වන දින දෙමටගොඩ පොලිස් වසමේ අංක UD/54, කාලිපුල්ලවත්ත, දෙමටගොඩ යන ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට දී වැටලීම් 02 ක් සිදුකර ඇත ඇත.

එහි දී හෙරොයින් ග්‍රෑම් 09 මිලි ග්‍රෑම් 450 ක් සන්තකයේ තබාගෙන සිටි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක කාන්තාවක් හා අවුරුදු 44 ක පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මොවුන්ගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරිමේදි මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන සිරිනායක පතිරනගේ චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද යන අයවළුන්ගේ පුතා වන මලීෂ ආකාෂ් නැමැත්තා සමග සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවට තොරතුරු අනාවරණය විය.