උණුසුම් පුවත්

පාසැල් 170 ක් ගිනි තිබ්බ අය අහනවා අධ්‍යාපනය විනාශ වුණේ කොහොමද කියලා

එදා අධිකරණ 27 ක් ගිනි තබපු අයම අහනවා කෝ මේ රටේ යුක්තිය කියලා - අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ

"දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනය සාර්ථකව ඉටු කිරීම සදහා පෙර පාසැල් ගුරු මෑණිවරුන් කරනු ලබන සේවය අගය කරනවා. එදා ගාල්ල රිච්මන්ඩි විද්‍යාලයෙන් අධ්‍යාපන ලැබු ආචාර්ය සී.ඩබලිව්.ඩබ්ලිව් .කන්නන්ගර මැතිතුමා නොසිටින්න නිදහස් අධ්‍යපනයේ දරුවන් වන මමත් ඔබත් අද මෙතෙන නොසිටින්න තිබුණා. එතුමා එදා වලව් පැලැන්තියට එරෙහිව අධ්‍යාපන විප්ලවයක් කළා. ඇතැම් අය හිතන්නේ විප්ලයවයක් වෙන්න ලේ සෙලවිය යුතු බවයි. එහෙම දෙයක් නැහැ. අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ල මැතිතුමාගේ කාලයෙන් පසුව රිචඩ් පතිරණ මැතිතුමා‌ගේ කාලයේ අධ්‍යාපන විප්ලවයක් සිදු වුණා. මේ රටේ 76 වසරක ශාපය ගැන කථා කරන අය මේ රටේ දේශපාලන නායකයින් කළ සේවය පිළිබදව කථා කරන්නේ නැහැ"

"මේ රටේ පාසැල් 170 ක් ගිනි තිබ්බ අය අහනවා අධ්‍යාපනය විනාශ වුණේ කොහොමද කියලා . එදා අධිකරණ 27 ක් ගිනි තබපු අයම අහනවා කෝ මේ රටේ යුක්තිය කියලා. පසුගිය වසර දෙකක කාලය තුළ මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. ඒත් එක්කම අපි ලොකු අභියෝගයක් භාර ගත්තා.මේ රට භාර ගන්න කිවුව වෙලාවේ පැනලා දිවුවා. නමුත් අපි වර්තමාන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ රට භාර ගත්තා.රිචඩ් පතිරණ ඇමතිතුමා දේශපාලනයට එන්න කලින් මහන්සියෙන් හම්බ කළ මුදල් වියදම් කරලා හදා ගත්ත නිවසත් ගිනි තිබ්බ මිනිස්සු ඉන්න රටක් මේක. දේශපාලන ස්ථාවරත්වයක් නොමැතිව ආර්ථිකය ස්ථාවර කරන්න බැහැ. දේශපාලන ස්ථාවරත්වය බිද වැටුණොත් ආර්ථික ස්ථාවරත්වය විනාශ වෙනවා. පසුගිය කාලයේ මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඝාතනය කළා. ඒ සියල්ල කලේ බලයට ඇති කෑදරකම නිසයි. ඒ අය එහෙම කරන්නේ ඔවුන් දන්නවා කිසිම දිනක ජන සම්මතයෙන් බලයට එන්න බැහැ කියලා. මම මේ අවස්ථාවේ දේශපාලනය කථා කරන්නේ නැහැ. නමුත් මේක පරිවර්තනීය යුගයක් බව හා මේ වසර මැතිවරණ වසරක් බව සදහන් කළ යුතුයි. මේ වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම සදහා වාර්තාවක් සකස් කර තිබෙනවා. ඒ සදහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ මේ වන විටත් සිදු වෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් මුල් ළමා විය සංවර්ධනය වෙනුවෙන් වෙනම අංශයක් ආරම්භ වෙනවා. පෙර පාසැල් සේවය මේ රටේ ගුරු සේවයේ වෙන කොටසක් බවට පත් කරනවා"

කළුවැල්ල බෞද්ධ මධ්‍යස්ථානාධිපති" ගාල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති අති පුජ්‍ය කණුමුල්දෙණියේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ ආගමික වතාවත් සිදු කළහ.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, කෘෂි කර්ම රාජ්‍ය අමාත්‍ය නීතිඥ" මොහාන් සිල්වා" ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සම්පත් අතකෝරාල යන මහත්වරුන් මෙහිදී අදහස් පළ කළ අතර" අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පෙර පාසැල් ගුරුවරියන් එක්ව සිටියහ.