ඉතිහාසයඋණුසුම් පුවත්කාලීනවිශේෂාංගසංස්කෘතික

බැතිබර නවම් පුන් පෝය අද යි

ඇසළ පෝදා ඉසිපතන මිගදායෙන් ඇරඹුණු සදහම් සුවඳ සත් මසක් ඇවෑමෙන් පසු....!

ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත්, මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම බුදුරජාණන් වහන්සේ වදාළේ   නවම් මහේ අද වැනි  පුන් පොහොය දිනක බව බෞද්ධ  ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

නවම් පෝය දින සිදුවූ සුවිශේෂ වූ කාරණා රාශියක්‌ අපේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. සැරියුත්, මුගලන් දෙනමට අග්‍රශාවක තනතුරු පිරිනැමීම, මෙහිලා සඳහන් වන ප්‍රධාන කාරණාවෙකි. ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවීමත්, ඕවාද ප්‍රාතිමෝක්‍ෂය මහා සංඝයාට දේශනා කිරීමත් මෙදා සිදුවුණු තවත් වැදගත් සිදුවීමකි.

පිරිනිවන් පෑමට තෙමසකට පෙර, ආයු සංස්‌කාරය අතහැරීමට ඉටා ගැනීම, බුදු රජාණන් වහන්සේ  ප්‍රකාශයට පත් කරන ලද්දේ ද නවම් මහේ අද වැනි දිනයක ය.

උඳුවප්, දුරුතු යන මාස ප්‍රධානව එළැඹි සිටි, ශීත සෘතුව ගෙවී යද්දී එළැඹෙන, හේමන්ත සෘතුව පසළොස්‌වක පෝය හෙවත් නවම් මාසේ පෝය උදාවත්ම බෞද්ධයාට වැදගත් වන බුද්ධ චරිතය හා බැඳුණු වැදගත් කාරණා රාශියක්‌ම සිතට නැඟෙන්නේ නිරායාසයෙනි. මෙම මාසය චන්ද්‍ර මාස රටාවේ හැටියට එකොළොස්‌වන මාසය වන අතර දහවල් කාලය දැඩි හිරු රැස්‌ පතිත වී උණුසුමත් රැය තුළ ශීතල ස්‌වභාවයත් ඇති කරන්නේ ස්‌වභාව ධර්මය වෙනස්‌කම් පාමිනි.

එදා ඇසළ පෝදා ඉසිපතන මිගදායේ දී, බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම මංගල ධර්ම දේශනාව, ශ්‍රවණය කළ පස්‌වග තවුසන් පැවිදිව ඇරැඹි, සංඝ සමාජය වසරක පමණ කාලයක්‌ ගතවෙද්දී, නානා විධ දර්ශනයන් හි පිහිටා, විවිධ ඇදහිලි විශ්වාස ඇතිව, විමුක්‌තිය සොයා ගිය පිරිස්‌, බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය අසා, යථාර්ථය අවබෝධ කරගෙන, පැවිදි වීමත් සමග සංඝ ශාසනය, සංකීර්ණ එකක්‌ බවට පත් වූවේ ය.

උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන්, තම පිරිවර දහසක්‌ සමග පැවිදි වීමත්, සැරියුත් මුගලන් දෙනම ඇතුළු දෙසීය පනහක භික්‌ෂු පිරිසද, යසකුල පුතු ඇතුළු පිරිස ද වශයෙන්, එක්‌දහස්‌ තුන්සියය ඉක්‌ම වූ සංඝ සන්නිපාතයක්‌, එදා නවම් මස පෝය දින රජගහ නුවර, වේළුවනාරාම පුණ්‍ය භූමියේ රැස්‌ව සිටි විට, එහිදී සුවිශේෂ කරුණු කීපයක්‌ම සිදුවූ වග ශාසන ඉතිහාසයේ සඳහන් ය..

බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව් හා වමත් සව් වශයෙන් සැරියුත් මුගලන් දෙනම තනතුරුවලට පත් කෙරුණේ එදින රැස්‌වූ ඒ මහා සංඝ සභාවේ දී ය. බුදුරජාණන් වහන්සේ එසේ සිදුකළ පදවි ප්‍රදානය, ප්‍රථම වතාවට සසුන්හි තනතුරු පිරිනැමීම යි.

 ඒ දෙනමට ප්‍රථම සංඝ සමාජයට ඇතුළු වූ, හිමිවරුන් සිටියදී, නවක දෙනමකට පදවි පිරිනැමීම "මූණ බලා" සිදුකළ එකක්‌ බවට, බුදුහිමියන් හට සංඝයාගෙන් චෝදනා එල්ල විය. විශේෂයෙන් ම බුදු හිමියන් හා ගිහිකළ, එක්‌ව සිටි ඡන්න හිමියන් (ඡන්න ඇමැති) තනතුරු ප්‍රදානයේ දී, තමා අමතක කළ බවට චෝදනා කරමින්, බුදු සසුන්හි පළමුවරට අර්බුදකාරී තත්වයක්‌ ඇති කළ බව සඳහන් ය.

බුදුන් වහන්සේ ඊට පිළිතුරු දෙමින්, මේ අවස්‌ථාව දක්‌වා සංඝ සමාජයට ඇතුළත් වූ, කිසිම හිsමිනමක්‌ පෙර අත් භවවල දී, අගසව් තනතුරු පතා නැතැ යි ද, සැරියුත් මුගලන් දෙනම, අගසව් තනතුරු පතමින් පින් රැස්‌කළ බව, පැහැදිලි කරමින්, අපදාන පාලි දේශනාවෙන්, අතීත කතාව ගෙනහැර දක්වා, සංඝයා අතරවූ දුර්මත නැති කළහ..

අගසව් තනතුරු ලැබූ සාරිපුත්ත, මොග්ගල්ලාන වහන්සේලා, අනෝමදස්‌සි නම් බුදුවරයාණන් වහන්සේ සමයේ,, සරද හා සිරිවර්ධන යන නම් ලැබූ මහා සිටුවරු වූහ. අනේක විධ වූ සැප සම්පත් වින්දනය කරමින්, බොහෝ කලක්‌ වැස ඉන් කළකිරී, ප්‍රවෘජා භූමියට පත්වූහ. එහිදී ගෞතම නම් වන අනාගතයේ ලොව පහළව වදාරන්නා වූ, බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක තනතුරු උදෙසා, අනෝමදස්‌සී බුදු හිමියන් ගෙන් නියත විවරණ ලද්දෝ ය.   එම තනතුරු පතා සසර පුරා සැරිසරමින්, පින් දහම් හි හැසිර ගෞතම බුද්ධ රාජ්‍ය සමයෙහි, සරද තවුසා උපතිස්‌ස නමින් ද, සිරිවර්ධන තවුසා කෝලිත නමින් ද ඉපිද,. සසර පුරුදු ලෙසින් දෙදෙනා මිත්‍රයෝ ද වූහ. එකල්හි ද සැප සම්පත් අනුභව කොට, එදා රජගහ නුවර පැවැති ගිරග්ගසමඡ්ජ නම්වූ ප්‍රීති උත්සවයට, සම්බන්ධව විනෝද වෙද්දී, එලෙස විසීම නිසරු බව අවබෝධ වූවෝ, විමුක්‌තිය සොයා සංජය පිරිවැජි යටතේ, පිරිවැජි වෙස්‌ගෙන භාවනායෝගී වූහ. කල්ගත වෙද්දී දෙදෙනා විමුක්‌තිය සොයා වෙන්ව, දෙමඟක ගමන් ගත්තෝ ය. උපතිස්‌ස පිරිවැජියාට, අස්‌සජී තෙරුන් වහන්සේ හමුවී පැහැද, හේතු ප්‍රත්‍ය ධර්මය විස්‌තර වන "යෙ ධම්මා හේතුප්පබවා" නම්වූ ගාථාව අසා පැහැද, ධර්මය අවබෝධ වී, සිය මිතුරා සමග තවත් සිය ගණනක්‌, අතවැස්‌සන් කැටුව බුදුරජාණන් වහන්සේ බැහැදුටහ.

එදවසැ වේළුවනාරාමයෙහි ධර්ම සභා මධ්‍යයේ, බුදු හිමි වැඩ වසන්නා වූ ඈතින් එන පිරිස්‌ දැක "අර එන්නේ මාගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවක දෙනම යෑයි වදාළ සේක. පැමිණි පිරිස ඒහි භික්‌ෂු භාවයෙන් පැවිද්ද ලද අතර සැරියුත් හිමි දකුණත් සව් ද, මුගලන් හිමි වමත් සව් ලෙසට ද නම්කරනු ලැබූ සේක.

සාරි නම් බැමිණියගේ පුතා සාරිපුත්ත (සැරියුත්) නමින් ද, මොග්ගලී බැමිණියගේ පුතා මොග්ගල්ලාන (මුගලන්) නමින් ද හැඳින්වූයේ, මවුවරුන්ට ගරු කිරීමක්‌ හැටියට ය. පැවිදිව සත් දිනකින් මුගලන් හිමිපාණෝ රහත් ඵලයට පත් වූහ. දීඝනක පරිභ්‍රාජකයාට දේශනා කළ දහම් අසා, සැරියුත් හිමිපාණෝ ද රහත් ඵලය ලදහ.. අගසව් දෙනම පිළිබඳව බුදුරජාණන් වහන්සේ වරෙක මෙලෙසට වදාළහ..

"එතදග්ගං භික්‌ඛවෙ මම සාවකානං භික්‌ඛූ නං පඤ්Æ වන්තානං යදිදිං සාරිපුත්තො ඉද්ධිමන්තානං මහා මොග්ගල්ලානො" (අංගුත්තර නිකාය)

"මහණෙනි, මාගේ ශ්‍රාවකයන්ගෙන්, මහා ප්‍රාඥයන් අතුරෙන් සැරියුත් තෙරුණුවෝ ද, සෘද්ධිමතුන් අතුරෙන් මුගලන් තෙරණුවෝ ද අග්‍රවෙති. තවද "සෙවෙථ භික්‌ඛවෙ සාරිපුත්ත මොග්ගලීලාතො භජථ භික්‌ඛවෙ, සාරිපුත්ත මොග්ගල්ලානො.." යන ලෙසට සැරියුත් මුගලන් වහන්සේලා, ඇසුරු කිරීමේ වැදගත්කම ද, සච්ච විභංග සූත්‍ර දේශනාවේදී බුදුන් වහන්සේ දේශනා කළ සේක.

මෙලෙසට ශාසනයේ චිරස්‌ථිතිය උදෙසා, අගසව් තනතුරු ආදී තනතුරු, ප්‍රදානය කරන්නට සිදුවු බව, බුදු රජාණෝ අපේක්‌ෂා කළහ. එමතුද නොව්.  තනතුරු නො ලද හිමිවරුන්ගේ, දුර්මත නැති කිරීම් උදෙසා,‌ ප්‍රථම "ඕවාද ප්‍රාතිමෝක්‌ෂය" (අවවාද කිරීම) දේශනා කළේ ද, නවම් පෝ දිනයේ ය.

නවම් පෝය වැදගත් වන අනෙක් කරුණ‌ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා ආයු සංස්‌කාරය අතහැරීමට තීරණය කර ප්‍රකාශ කිරීමය. මෙම අනුවේදනීය අවස්‌ථාව වන විට බුදුරජාණන් වහන්සේට වයස අවුරුදු අසූව, සම්පූර්ණ වීමට මාස තුනක්‌ තිබිණි. මෙම අවස්‌ථාව වන විට බුදුරජාණන් වහන්සේ අග්‍ර උස්‌ථායක ආනන්ද හිමියන් සමග, රජගහ නුවර චාපාල චෛත්‍ය නම්වූ ස්‌ථානයේ වැඩ විසූහ. මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් ලෙසට, බුදුවරයකුගේ ආයු සංස්‌කාරය අත්හැරීම් අටක්‌ පිළිබඳව, ආනන්ද හිමිට දේශනා කොට තිබේ.

 "ඡන්ද, වීරිය, චිත්ත, විමංසා" යන සතර සෘද්ධිපාද වැඩූ බුදුවරයකුට කල්පයක්‌ කාලයක්‌ වැඩ සිටිය හැකි බවද බුදුහිමි තෙවරක්‌ම ආනන්ද හිමිට ප්‍රකාශ කළද "එසේ කල්පයක කාලයක්‌ වැඩ සිටින ලෙසට" බුදු හිමියන්ගෙන් ආනන්ද හිමිට ඉල්ලා සිටීමට තරම් සිහි කල්පනාවක්‌ ඒ මොහොතේ පහළ නොවූයේ දුකට පත්ව වික්‌ෂිප්තව සිටි නිසා බව පසුව අනාවරණය විය. ප්‍රථම ධර්ම සංගායනා අවස්‌ථාවේදී මේ ගැන ආනන්ද හිමියන්ට චෝදනා එල්ල වී ඉහත කී ලෙසින් පිළිතුරු දීමට ද සිදු වූයේය.

 නවම් පුර පසළොස්‌වක පෝය දින බුද්ධ චරිතය හා සම්බන්ධ සුවිශේෂ සිදුවීම් රාශියකට මුල්වූ බව පෙනේ.  වසර හතළිස්‌ පහක්‌ පුරා ධර්මය දේශනා කරමින් ලෝක සත්වයාට  විමුක්‌ති මාර්ගය පෙන්වා සිය දහසක්‌ ලෝ සතුන්ට යහපත සලසා දුන් ශාස්‌තෘවරයාණන් වහන්සේගේ ජීවිතයෙහි අවසාන තුන්මස ඇරැඹෙන්නේ මෙකී ඓතිහාසික පෝ දා පටන් ය.