උණුසුම් පුවත්සෞඛ්‍යය

අගමැති උඩුගම ගිහින්

උඩුගම යි නියාගම යි රෝහල් දෙකේ අලුත් ගොඩනැගිලි විවෘත කරයි

නියාගම ප්‍රාදේශීය රෝහලේ තෙමහල් ගොඩනැගිල්ලේ පළමු අදියර සඳහා වැය කළ මුදල රුපියල් කෝටි නමයයි දශම පහකි. පළමු අදියර තුළ බාහිර රෝගී අංශය සායන සහ හදිසි ප්‍රතිකාර ඒකකයන්ද වන අතර එහි දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන විස්සක ප්‍රතිපාදන ලබාදීමට පියවර ගෙන ඇත.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -
ලංකාවේ ඉතිහාසය පුරා සෞඛ්‍ය සහ අධ්‍යාපනයට සුවිශේෂ බරක් යොදා තිබෙනවා. මේ ආයෝජනයන් දෙක නිසා ජාත්‍යන්තර මිනුම් දඬුවල අපි ඉදිරියෙන්ම සිටියා. ඒ තුළින් බිහි වූ වෛද්‍ය පරම්පරාවන් රටවැසියාට ලබා දුන් සේවාව අගය කළ යුතුයි. අපි ගමන් කළේ බොහොම අමාරු කාලයක්. ඒ අමාරු කාලය අප අමතක කළ යුතු නැහැ. ඒ අමාරු කාලේ අපේ ජාත්‍යන්තර ගනුදෙනු නැවතුණා. ජාත්‍යන්තර බැංකු, ලංකාවේ බැංකු එක්ක ගනුදෙනු කරන්නේ නැහැ කියලා තීරණය කළා. ඒ අපේ රට වැටිලා තිබුණු මූල්‍ය ආර්ථික අර්බුදය නිසයි. ඒ අවස්ථාවේ ආණ්ඩුවට පුළුවන්කම ඇතිවුණා ඒ අමාරු දුෂ්කර කාලය ගතකරලා යලිත් වරක් මේ කපා තිබූ පෙකණි වැල සම්බන්ධ කරන්න.
අද ඒ අමාරු තත්ත්වයෙන් රට නිදහස් කරගෙන ආර්ථිකය යළි ස්ථාවර තත්ත්වයකට පරිවර්තනය කරගන්න පුළුවන් වීම නිසා මේ අවුරුද්දේ විශාල මුදල් ප්‍රමාණයක් ග්‍රාමීය දියුණුවට යෙදවීමට 2024 අයවැය ලේඛනයෙන් මුදල් ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. විමධ්‍යගත අරමුදලට අනුව පළාත් සභා අරමුදල් සහ ව්‍යාපෘති සඳහා වූ මුදල් අලුතින් ආර්ථිකයට එන්නත් කරනවා.

අලුත් බඳවා ගැනීමේ යම් යම් සීමාවල් තුළ ඇතැම් බඳවා ගැනීම් වලට ඉඩකඩ ඇහිරී තිබුණත් වෛද්‍ය ක්ෂේත්‍රයේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ විවිධ ක්ෂේත්‍රයන් වල බඳවා ගැනීම් වැඩි කරන්න පියවර ගෙන තිබෙනවා. හෙද ක්ෂේත්‍රයට, විශ්ව විද්‍යාල උපාධියක් කරා ගමන් කළ හැකි සුවිශේෂ විශ්වවිද්‍යාල ප්‍රවේශයක් සකස්කර අනුමත කර තීරණයක් ගෙන තිබෙනවා. ඒ තුළින් හෙද ක්ෂේත්‍රය තවත් පුළුල් කළ හැකි ක්ෂේත්‍රයන් සඳහා ගමන් කරවීමට අපේක්ෂා කරනවා. ඉදිරි වැඩ පිළිවෙලක් ඇතිව එලෙස ගමන් කරන මොහොතකදී නියාගමට පොදු සෞඛ්‍ය සේවය ඉටු කර ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු කර ගැනීමට අද සිට අවස්ථාව හිමිවෙනවා.
සෞඛ්‍ය ඇමතිතුමා දකිනවිට රිචඩ් පතිරණ අමාත්‍යවරයාත්, ඉසුරු දොඩංගොඩ මන්ත්‍රීවරයා දකිනවිට අමරසිරි දොඩංගොඩ ඇමතිවරයාත් සිහිපත් වෙනවා. අපි එකම දවසේ පාර්ලිමේන්තුවට පත්වුණේ. අවුරුදු හතළිහකට කලින් එකම දවසේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි සහයෝගයෙන් කටයුතු කළා. පොදුජන ව්‍යාපාරයට ශක්තිය දෙන්න දායක වුණා. ඒ දෙපළගේ ආදරණීය දරුවන් ජාතික සංවර්ධන සංවාදයට හවුල් වීම අගය කරනවා. වෛද්‍ය ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් අභියෝගයට ලක්වෙලා තිබෙන ක්ෂේත්‍රයක්. සෞඛ්‍ය අංශයට ඒවායෙන් ප්‍රයෝජන හැකි අවස්ථාවන් තිබෙනවා. කරාපිටිය මහ රෝහල වගේ විශේෂ සේවාවන් රාශියක් මෙම රෝහලින් ලබාදීමට හැකිවන සේ නව දැනුම හා තොරතුරු තාක්ෂණ දියුණුව රෝහල තුළ ඇතිකරන්න අවශ්‍යයි. එය සාර්ථක කර ගැනීමට හැමදෙනාගේම සහයෝගය ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා. නිරෝගිමත් ලංකාවක් ගොඩනැගීමේ අභිප්‍රාය සඳහා නිරන්තරයෙන් කැපවෙන වෛද්‍ය ක්ෂේත්‍රයේ සියලු අංශ සහයෝගය ඒ වෙනුවෙන් රජයටත් මේ ක්‍රියාදාමයටත් එක්කර ගැනීමේ ඕනෑකම සඳහා අපි වැඩ කරනවා.
රට ගොඩනැගෙන්නේ සහයෝගයෙන් සහ එකමුතුවෙන්. රට ගොඩනැගුනොත් එහි ප්‍රතිඵලය ඔබටයි ඔබගේ දරුවන්ටයි.
සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී.ගමගේ, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සම්පත් අතුකෝරළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ, යදාමිණි ගුණවර්ධන, ඇතුළු හිටපු මන්ත්‍රීවරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, දකුණු පළාත් ප්‍රධාන ලේකම් නීතීඥ සුමිත් අලහකෝන්, ඇතුළු පිරිස සහ මහජනතාව මෙම අවස්ථාවට සහභාගි වූහ