උණුසුම් පුවත්දේශපාලන

ජාජබ යේ මාතර තරුණ හමුව

ජාතික ජන බලවේගයේ තරුණ ව්‍යාපාරය, මේ රටේ ප්‍රබලම තරුණ ව්‍යාපාරය පමණක් නොවෙයි මේ රට වෙනස් කිරීම සඳහා සූදානම් තරුණ ව්‍යාපාරයයි. එළඹෙන නව දේශපාලන පරිවර්තනය වෙනුවෙන් තරුණ පරම්පරාව ඒකරාශී කිරීම වෙනුවෙන් මාතරින් පටන් ගත් කාර්යය ලංකාවේ දැවැන්තම තරුණ පිබිදීම බවට පත්වන බව නොඅනුමානයි. අපේ රටේ තරුණ පරම්පාරව කල්පනා කළේ දේශපාලනය තමන්ගේ වැඩක් නොවෙයි. ඒක අම්මා තාත්තාට, පවුල් කිහිපයකට අයිති වැඩක් ලෙසයි. තරුණ පරම්පරාව තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියන සිහින මවමින්, සැලසුම් හදමින් සිටියා. අද ඔවුන් මවන ලද

සිහින ඔවුන්ගේ ඇස් ඉදිරිපිට විනාශ වෙමින් තිබෙනවා. අපේ සමාජයේ තරුණ කණ්ඩායම් කිහිපයක් ඉන්නවා. ඉහළ අධ්‍යාපනයක් සහිත යම් ප්‍රමාණයකට වත්කමක් තිබෙන, භාෂාවන් පිළිබඳ නිපුනතාවයක් තිබෙන, ජාත්‍යන්තරයත් එක්ක ඔරොත්තු දිය හැකි දැනුමක් තිබෙන කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් තමන්ගේ ජීවිත සුරක්ෂිත කර ගැනීම සඳහා ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් වන ඕස්ටේ්‍රලියාව, කැනඩාව, එංගලන්ත, නවසීලන්තය තමන්ගේ ගමනේ ඉලක්කය බවට පත්කරගෙන තිබෙනවා.

 

 

තව කණ්ඩායමක් ඉන්නවා, දෙමව්පියන්ගේ බර තමන් උරමතට වැටුණු. තමන්ගේ අනාගත සිහින, බලාපොරොත්තු කඩා වැටුණු කණ්ඩායමක් ඉන්නවා. ඒ අය තමන්ගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට ඊශ්‍රායලය, කොරියාව, මැදපෙරදිගට පැන ගන්න උත්සාහ කරමින් ඉන්නවා. තව කණ්ඩායමක් පාසල් අධ්‍යාපනය අතරමග නතර කරන්න සිදුවුණු, පාසල් කාලෙම ජීවිතේ ගැටගහගන්න කුමක් හෝ කාර්යයක යෙදෙන්න සිදුවූ කණ්ඩායමක්. ඔවුන්ට ජීවිතයක්, අරමුණක්, ඉලක්කයක් නැහැ. එම කණ්ඩායමට අද විශාල පිරිස් එකතු වෙමින් තිබෙනවා. ඒ කණ්ඩායම දේශබන්දුගේ ඉලක්කය වී තිබෙනවා. ඔවුන් අනාරක්ෂිත, ජීවිතය පිළිබඳ වටිනාකමක් නැති අයාලේ යන තරුණ පරම්පරාවක්. ජගත් මනුවර්ණ“කොඩිගහ යට” චිත්‍රපටයෙන් පෙන්නුවේ ඒ තරුණ පරම්පරාවේ ජීවිතය.

මේ රට ඉතා සුරක්ෂිත රටක් බවට පරිවර්තනය කළ යුතුයි. මේ රටේ තරුණ පරම්පරාවට තමන්ගේ අනාගතය පිළිබඳ අපේක්ෂාවන් පිරි තරුණ පරම්පරාවක් බවට පත් කළ යුතුයි. අපගේ ඇස් ඉදිරිපිට දියත් වෙමින් තිබෙන ඛේදවාචකය, අද අපට බලකොට තිබෙනවා මේක වෙනස් කිරීමට පෙරමුණ ගන්න. කොතනින්ද අපි මෙය වෙනස් කරන්නේ. මේක වෙනස් කළ හැකි වන්නේ, ගමන් කරමින් තිබෙන දේශපාලන මාවත නව දිශාවකට පරිවර්තනය කිරීමෙන් පමණයි. අම්මා, තාත්තගේ දේශපාලනය රටටත්, ජනතාවටත්, ඔබටත් උරුමකොට තිබෙන මේ ඛේදවාචකයෙන් මේ රට නිදහස් කර ගැනීම තමයි කළ යුතු පළමු අරගලය. එබඳු දේශපාලන පරිවර්තනයක් අපේ රටට අවශ්‍යයි. මේ රටේ දේශපාලනය ලියවිලා තිබෙන්නේ කාටද? මාතර විජේසේකර නම් එයාගේ පුතාට. සිරිසේන නම් එයාගේ පුතා මනෝජ් සිරිසේනට. මහින්ද රාජපක්ෂගේ ඥාති පුත්‍රයන්ට. පවුල් අතලොස්සක් අතේ මේ දේශපාලනය කැරකෙමින් තිබෙනවා. ඒ අතළොස්ස පහළ පංතියේ පෑගෙන තරුණයන්ගේ ගැලවුම්කරුවන් බවට නාමකරණය කරගෙන තිබෙනවා. ජනාධිපතිවරයාට පුතෙක් ඉපදුනොත් ඔවුන් හිතනවා ඒ දරුවාගේ නළලේ ජනාධිපතිකම කොටා තිබෙනවා කියා. ප්‍රේමදාසගේ පුතා, මහින්ද රාජපක්ෂගේ පුතා, විජේසේකරගේ පුතා එයාලා හිතාගෙන ඉන්නවා ඉපදෙනකොටම ජනාධිපතිකම, ඇමතිකම මහබඹා විසින් කොටලා තිබෙනවා කියලා. අපේ රටේ දේශපාලනය පවුල් කිහිපයක් අත ජාතික වශයෙනුත්, ප්‍රාදේශීය වශයෙනුත් බෙදී තිබෙනවා. අපේ හැකියාවක් තිබෙන, වුවමනාවක් තිබෙන තරුණ පරම්පරාවට දේශපාලනයේ දොරටු වසාදමා තිබෙනවා.

මේ සිටින කිසිම කෙනෙක් දේශපාලනය නළලේ කොටාගෙන ආව අය නොවෙයි. මහබඹා නළලේ කොටා දේශපාලන වගකීම් බාරගත් අය නොවෙයි. මේ දේශපාලනයට අපි අවතීර්ණ වන්නේ කුමක් නිසාද? අපේ ඇස් ඉදිරිපිට අයුක්තිසහගත, අසාධාරණ සමාජයක් තිබෙනවා. අපේ තරුණ පරම්පරාවන්ගේ ජීවිත විනාශ වෙමින් තිබෙනවා. අපි හැමෝම මේ දේශපාලනය තෝරා ගත්තේ මේ සමාජ පරිවර්තනය සඳහා මැදිහත් වෙන්න, නායකත්වය දෙන්න, එකතු කරන්න. මේක වෙනස් කිරීමේ අරමුණක් තිබෙනවා. ඒ සඳහා ධෛර්ය සම්පන්න වුවමනාවක් තිබෙනවා. මේ රටට වුවමනා කරන්නේ කුමන දේශපාලනයක්ද? තරුණ තරුණියන් පෝලිමේ තියල, උසද මිටිද බලලා, “උස නම් සිකියුරිටි. මිටි නම් කම්කරු.” විදිහේ රස්සා බෙදන දේශපාලනයක්ද මේ රටට ඕනෑ! ඒකද තරුණ පරම්පරාවට උරුම කර දී තිබෙන දේශපාලනය. ඡන්ද කාලෙදි හම්බන්තොට වරායේ රස්සා දෙනවා කියා කොයිතරම් ෆෝම් කොල පිරෙව්වාද? නිපුන රණවකලා කොයිතරම් ඇප්ලිකේෂන් පිරෙව්වාද? ඒ ගොල්ලන් උඩින් ඉඳගෙන අපිට කම්කරු රැකියා දෙනවා. එයාලට මොළේ තිබුණත් නැතත් ජනාධිපතිකම, ඇමතිකම, නළලේ කොටා තිබෙනවා. මේක වෙනස් කරන්න නම්, නව දේශපාලන පරිවර්තනයක් අත්පත් කර ගනිමු.

මම මේ දේශපාලනයට අවතීර්ණ වුණේ පාසල් සමයේදීයි. මා ඇතුළු බොහෝ පිරිසකගේ මුළු තාරුණ්‍යයම මේ නව පරිවර්තනය සඳහා වෙහෙස වුණා; පොරබැදුවා. විවිධ පරාජයන් හමුවේ, ඇස් ඉදිරිපිට මරණය සිදුවෙමින් තිබියෙදී අත් නොහැර දේශපාලන පරිවර්තනයක් සඳහා මේ දේශපාලනය තෝරා ගනිමින් මේ ගමන්මගේ ආවා. විවිධ අපහසුතාවයන්ට මුහුණ දෙමින්, අවලාද විඳිමින් ආ අපට අද ජයග්‍රහණය පේනමානයට පැමිණ තිබෙනවා. අපට මෙය ජයග්‍රහණය කළ හැකියි. මේ අවුරුද්දේ ඔක්තෝබර අග වෙන කොට අලුත් ආණ්ඩුවක්, අලුත් පාලනයක්. මේ ආණ්ඩුවට පැවරෙනවා ප්‍රධාන වැඩකටයුත්තක්. මේ සමාජය මුළුමනින්ම පරිවර්තනයකට භාජනය කළ යුතුයි. එය කළ හැකි වන්නේ ජනතාවගේ සක්‍රීය මැදිහත්වීමකින් පමණයි. ආණ්ඩුවක් හදලා, අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම සඳහා අවශ්‍ය වැඩ කළ යුතුයි. ‘එක්ස්’ පරම්පරාවේ අපි සුරක්ෂිත රැකියාවක්, ඉතුරුම් සහිත බැංකු ගිණුමක්, සංවිධිත සමාජ සංස්ථාවක්, තිබෙන සමාජය ඇතුලේ යමක් උකහාගෙන ජීවත්වෙන කෙනෙක් බවට පත්වෙනවා. ‘ඉසඩ්’ පරම්පරාවේ ඔබ විනිවිදභාවය අපේක්ෂා කරනවා. ඔබ රජයේ රැකියාවක් සඳහා සම්මුඛ පරික්ෂණයකට යනවා. ඔබ හැලෙනවා, වෙනත් කෙනෙක් තේරෙනවා. අපේ පරම්පරාව ඒක එහෙම තමයි කියා ඉවසනවා. ‘ඉසඩ්’ පරම්පරාවේ අය ඒක එහෙම වුනේ කොහොමද කියා විමසනවා. අරගලයට ගොස් ඇසුවේ “රෝහලට බෙහෙත් ගත්තේ කොහොමද?” කියලා. ඒ විනිවිදභාවය අවශ්‍යයි. මේ රස්සාවට මේ අය තෝරාගත්තේ කොහොමද? කොන්ත්‍රාත්කරුවා තෝරා ගත්තේ කොහොමද?, ඔබ ලියන ලද පේපර් එකට ලැබුණු ලකුණු ප්‍රමාණය කොපමණද?, අද ප්‍රශ්න කරනවා. ‘ඉසඩ්’ පරම්පරාව අපේක්ෂා කරනවා විනිවිදභාවය. එය ඔබගේ පරම්පරාවේ ලක්ෂණයක්. අපි බිහිකරන්නේ වර්තමාන තාරුණ්‍යය අපේක්ෂා කරන විනිවිදභාවය ආරක්ෂා කරන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්.

මේ ‘ඉසඩ්’ පරම්පරාව අපේක්ෂා කරනවා නිර්මාණශීලිත්වය. එක තැනකට කොටුවුණු, එකතැනකට සීමාවුණු පරම්පරාවක් නොවෙයි. ඔබ තුළ ගොඩනැගෙන නිර්මාණශීලිත්වය වේගයෙන් ප්‍රකාශයට පත්කිරීමට ඔබට අවශ්‍යයි. අපේ පරම්පරාව අපට හදා දීපු පාරේ යනවා. මේ පරම්පරාව අතුරු පාරවල් ගණනාවක ගමන් කරනවා. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් උඩට ආව විශාල පිරිසක් ඉන්නවා. ඒ ආවේ වෙනත් විශාල පාරවල්වලින්. හැබැයි අපේ සමාජය, ඔබේ නිර්මාණශීලිත්වය උකහා ගත හැකි සමාජයක්ද? අපේ නායකයෝ ක්‍රිස්තු පූර්ව යුගයේ මනෝභාවයෙන්, පැරණි සමාජ සංකල්පවලින් කටයුතු කරන අය. එයාලා වේදිකාවට නගින කොට ඇඟිලි පහේ නවරත්න මුදු පහයි. එක එක දේවාලවලින් දීපු කඹ ගැටගහපු අත්. බැසිල් රාජපක්ෂ නඩුවකින් බේරෙන්න දේවාලෙකට යනවා. නඩුවට එක ගානේ සුර ගැටගහලා. මේ අසාර්ථක ගෝත්‍රික නායකයන් ඔබගේ නිර්මාණශීලීත්වයට අගුලු දාලා තිබෙන්නේ. මේ දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වන සමාජ ආර්ථික හැඩතල ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් ගොඩනගනු ඇත.

ස්වාධීනත්වය ‘ඉසඩ්’ පරම්පරාවේ ලක්ෂණයක්. අපේ තරුණ කාලය ගුරුවරුන්ට, දෙමාපියන්ට විසින් හදන ලද රාමුවක් තුළ, ඔවුන් විසින් හදන ලද මාවතේ ගමන් කළ යුතුව තිබුණා. බැඳීම් සහිත පුරවැසියන් ලෙස ජීවත් විය යුතුව තිබුණා. නව පරම්පරාව සාම්ප්‍රදායික රැකියාවලට කැමති නැහැ. තවදුරටත් ස්වාමියෙකුට යටත්ව, එකම විදිහට රස්සාව කරන්න කැමති නැහැ. ඔබ ස්වාධීනත්වය ඉල්ලා සිටිනවා. අපේ ආර්ථික මොඩලයම සකස් කර තිබෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා ඉලක්ක කර ගෙනයි. අපේ ආර්ථිකයේ එන්ජින් එක බවට පත්වෙලා තිබෙන්නේ ඔවුනුයි. අයි.ටී.වලින් ලෝක වෙළඳපොළේ පංගුවක් අත්පත් කර ගැනීම අපේ ආර්ථික දැක්ම බවට පත්වෙලා තිබෙනවා. සංචාරක කර්මාන්තය, හෝටල් කර්මාන්තයේ සිට සංචාරක ව්‍යාපාරයක් බවට පත් කරන්න අවශ්‍ය දැක්ම අපි හදා තිබෙනවා. ස්වාධිපත්‍යයක් සහිත ස්වාධීන රැකියාවක නියැලීමේ අයිතිය තහවුරු කර තිබෙනවා. ඔබ වේගයෙන් හැදෙන පරම්පරාවක්. ඔබ වේගවත්ව වර්ධනය වුණාට රටේ ආර්ථිකය ඉබිගමනෙන් ඔබේ පිටුපසින් එනවා. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? ඔබලාට දෙන්න ගැලපෙන රස්සා නැහැ කියනවා. මෙතන ප්‍රශ්නය තිබෙන්නේ, ඔබේ දැනුමට සරිලන ආර්ථිකයක් ගොඩනඟන්න එයාලා අසමත් වෙලා තිබීම. ආර්ථිකය එක තැන පල්වෙනවා. ඔබ ඔබටත්, රටටත් ඵලක් නැති කෙනෙක් බවට පත්වෙනවා. ඔබේ වේගයෙන් වර්ධනය වීම සමානවම වේගයෙන් සමාජ ආර්ථිකය පර්වර්තනයන් අත්පත් කර ගත්තේ නැතිනම් ඔබට මේ සමාජය උචිත නොවෙන සමාජයක් බවට පත්වෙනවා. ඔබේ වර්ධනය හා සමානව වේගවත් ආර්ථිකයක් අපි නිර්මාණය කරන්නම්.

මේ සමාජයේ තිබෙන අනෙක් විශේෂ ලක්ෂණය නම්, ඉතා ඉක්මනින් අනුවර්තනය වෙන්න සමත් වෙනවා. වේගයෙන් අනුවර්තනය විය හැකි සමාජයකට වේගයෙන් පරිවර්තනය විය හැකි සමාජයක් අවශ්‍යයි. සමාජය වේගයෙන් පරිවර්තනය වෙන්නේ නැත්නම් ඔබගේ ශක්‍යතාවය, ඔබගේ හැබෑව, ඔබගේ විභවයට අනුව සමාජය අවශ්‍ය පරිවර්තනය ගෙනත් දෙන්නේ නැතිනම් ඔබ ‘එක්ස්’ පරම්පරාව බවට පත්වෙනවා. ඔබගේ පරම්පරාවේ නම්‍යතාවයක් තිබෙනවා. නමුත් ආර්ථිකයත්, නායකයාත් ගල්ගිල්ලා වගේ නම් ඒ ආණ්ඩුවලින් ඵලක් නැහැ. ඒ වගේම ඔබ අනෙක් පරම්පරාවලට වඩා මානසික සෞඛ්‍ය ගැන හිතන කෙනෙක්. ඔබට වින්දනය, සතුට, ආදරය, මානුෂික තෘප්තිය අවශ්‍යයි. 2010 - 2024 කාලයේ ඉපදුණු ‘ඇල්පා’ පරම්පරාව ඊටත් වඩා වෙනස් වේවි. 2024 - 2039 දක්වා ඉපදෙන ‘බීටා’ පරම්පරාව ඊටත් වඩා වෙනස් වේවි. අපි අද දේශපාලනය කරන්නේ ‘ඉසඩ්’ පරම්පරාවේ දරුවන් එක්ක. අනාගතය ඇල්පා පරම්පරාවේ අයට අයිතියි. හැබැයි නායකයන් ගෝත්‍රිකවාදී නායකයන් වෙලා, නූතනත්වය දකින්න අසමත් නායකයන් නම් නූතන පරම්පරාවේ දරුවන්ට අනාගතයක් ගැන හිතන්න බැහැ.

නව තාරුණ්‍යය විනිවිදභාවය අපේක්ෂා කරනවා. නම්‍යශීලිත්වය අවශ්‍යයි, ඔබගේ වේගවත් වර්ධනයට ගැලපෙන වේගවත් සමාජ පරිවර්තනයක් අවශ්‍යයි. ඔබගේ නිර්මාණශීලීත්වය මුදාහැරීම සඳහා සමාජයක් අවශ්‍යයි. අන්න ඒ නව සමාජය කැටුව එන එක තමයි ජාතික ජන බලවේගයේ අපේක්ෂාව. ‘එක්ස්’ පරම්පරාවේ අපි ‘ඉසඩ්’ පරම්පරාවේ ඔබට මේ සුක්කානම බාරදීලා ගෙදරට වෙලා, පුටුවක වාඩිවෙලා ‘ඉසඩ්’ පරම්පරාවේ කට්ටිය මේ රට පාලනය කරන්නේ කොහොමද කියලා බලන්න ආසයි. ‘ඉසඩ්’ පරම්පරාව අතට මේ බැට්න් එක අරන් දෙන්නේ කොහොමද, ඒ බැට්න් එක ඒ ගොල්ලෝ නිකම් අත්හරින්නේ නැහැ. ඒ නිසා පැරණි ගෝත්‍රික පරම්පරාවෙන් මේ බැට්න් එක අපේ අතට අරගෙන ‘ඉසඩ්’ පරම්පරාව අතට මේ බැට්න් එක මාරුකරලා මේ රට වේගයෙන් ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා බලන්න කැමති සුන්දර දසුනක්. ඒ යුගයට නොගැලපෙන, ඒ යුගයට මැච් වෙන්නේ නැති, ඒ යුගයත් එක්ක ගැටෙන්න බැරි දේශපාලකයන් බවට පත්වෙලා ඵලක් තිබෙනවාද? ‘එක්ස්’ පරම්පරාවේ අපේ වගකීම ‘ඉසඩ්’ පරම්පරාව අතට මේ දේශපාලන සුක්කානම බාරදීමයි. පළමුකොට ගෝත්‍රික පරම්පරාවෙන් ‘එක්ස්’ පරම්පරාවේ අපේ අතට බලය ගනිමු. ඉතා කෙටි කාලයක් ඇතුළත මේ රටේ පාලන බලයේ සුක්කානම ‘ඉසඩ්’ පරම්පරාව අතට ලබාදෙමු. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙමු.