ලැබී ඇති වීඩියෝව මූලික සාකච්ඡාවට පමණක් සීමා වෙලා - ශ්‍රී ලංකා නීතිඥ සංගමය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් පිරිසක් අතර ඉකුත් 12 වැනිදා පැවැති සාකච්ඡාවට සංස්කරණය නොකළ අදාළ සම්පූර්ණ වීඩියෝ පටය ලබාදෙන ලෙස එම සංගමය ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඊයේ ජනාධිපති මාධ්‍ය ඒකකය වෙත යවා ඇති එම ලිපියෙන් නීතිඥ සංගමය දන්වා ඇත්තේ, අදාළ සාකච්ඡාවට සම්බන්ධ වීඩියෝ පටයක කොටසක් තමන් වෙත ලැබී ඇති නමුදු එය සම්පූර්ණ පටිගත කිරීම නොවන බවයි.
සංගමයට ලැබී ඇති වීඩියෝව මූලික සාකච්ඡාවට පමණක් සීමා වී ඇති බවත්, එහි කොටස්වල ශබ්ද පරිපාලනය ද ඉතා අපැහැදිලි බවත් සඳහන් ය.
සාකච්ඡාව පුරා ඉදිරිපත් වූ සියලු කරුණු දැක්වීම්, නිරීක්ෂණ, ප්‍රතිචාර මෙන්ම නීතිඥ සංගමයේ නියෝජිත පිරිස විසින් අවසානයේ සිදුකරන ලද විශේෂ ප්‍රකාශය ද ඇතුළත් වූ සම්පූර්ණ වීඩියෝව ලබාදෙන ලෙස එකී ලිපියෙන් ඉල්ලා ඇත.
කිසිදු ආකාරයකින් සංස්කරණයකට ලක් නොකොට මෙම දර්ශන පෙළ ඉහළම ශ්‍රව්‍ය හා දෘශ්‍ය ගුණාත්මක භාවයෙන් යුතුව ලබාදීමට කටයුතු කරන ලෙස ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් කරන ලද ඉල්ලීමයි.

