ආර්ථිකඋණුසුම් පුවත්කාලීනනව නිපැයුම්

2027 අයවැය මඟින් අපනයන කරුවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා විශේෂ සහන රැසක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ තුන්වැනි අයවැය නොවැම්බර් 12 දා. ප්‍රාග්ධන වියදම ට්‍රිලියන 2 ක්.

ජාතික ජන බලවේග ආණ්ඩුවේ තුන්වැනි අයවැය ලබන නොවැම්බර් මස 12 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා වන ඉහළ ම ප්‍රාග්ධන වියදම මෙවර අයවැයෙන් ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව 2027 වර්ෂය සඳහා වෙන් කිරීමට අපේක්ෂිත ප්‍රාග්ධන වියදම රුපියල් ට්‍රිලියන 2 ක් බව මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග කියයි. මෙය 2025 වසරේ ප්‍රාග්ධන වියදමට සාපේක්ෂව සියයට 48 ක දැවැන්ත වර්ධනයක් බව ද සඳහන් වේ.   

මෙවර අයවැය මඟින් අපනයන කරුවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා විශේෂ සහන රැසක් ලබාදීම හා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩුකිරීම සඳහා වූ යෝජනා ද ඇතුළත් බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ තුන්වන අයවැය සකස් කිරීම මේ දිනවල භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් සිදුකර සිටී. මුදල් ඇමතිවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ ඒ අමාත්‍යාංශවල ඇමතිවරුන් හා නිලධාරීන් වෙන වෙනම කැඳවා මේ දිනවල සාකච්ඡා කරමින් අදහස් හා යෝජනා ලබා ගන්නා බව ද ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

2027 රජයේ වියදම් ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළමු වර කියවීම, ඔක්තෝම්බර් 7 වැනිදාට නියමිත ය.

විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාව, නොවැම්බර් මස 12 වැනිදා සිදු කෙරෙනු ඇත.

අයවැය දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 13 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වේ. අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 21 දා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග දක්වයි.