ඉතිහාසයඋණුසුම් පුවත්කාලීනවිශේෂාංගසංස්කෘතික

අසිරිමත් පොසොන් පුන් පොහො ය අද (29) යි

දැවැන්ත ගල් කුළු හි බුද්ධ ප්‍රතිමා නිමහම් කරන්නට තරම් දැක්මක් හෙළයේ ශිල්පීන් තුළ වගා දිගා වූ අයුරු

එදා මිහින්තලා පව්ව මුදුනින් නැගී මෙසිරිලක  දස දෙසට විහිදී ගලා ගිය අප ශාන්ති නායක අමා මෑණියන් වහන්සේ ගේ නිර්මල සදහම් අමෘතය පානයට හැකිවීමෙන්   හෙළදිව් වැසි සියලු ජනයා බෞද්ධයන් බවට පත් වූ හ.  ඒ අනුබුදු මහින්ද මහ රහතන් වහන්ෙස් විසින් ඒදවස රට කරවූ ෙෙදවන පෑ තිස් මහ රජගුමාණන්  හට ෙදසා වදාළ බුදු බණ පද වැළෙහි මහිමෙයනි.  අද වන් පුන් පසෙළාස්වක පුන් පොදාවක ඒ අසිරිමත් සදහම් ගඟ මිහින්තලාව  මුදුනෙන් විහිදී විසිරී පැතිර යෑමෙන් ෙහෙළයේ මිනිසුන් තුළ පැවති නුගුණ බැහැර ෙකාට ගුණධර්මවලින්  පෝෂිත ජන සමාජයක් ලොවට දායාද වීම කෙතරම් නම් අසිරිමත් සිදුවීමක් ද? ඒ මහින්දාගමනය නොවන්නට ඉදින්....!!!???

අනුබුදුහිමි මිහිඳු මා හිමිපාණන් ගේ සිරිලක් සම්ප්‍රාප්තිය හේතු කරණකොට හෙළදීපයේ සිදුවූ වෙනස්කස් රැසකි. මහින්දාගමනය නිසා දේශපාලනික, ආගමික හා සංස්කෘතික සිද්ධිමාලාවක් මෙබිමේ හි ඇති විය.

ඒ වන විටත් ගස්, ගල් හා සතා සීපාවට වන්දනාමාන කරමින් දිවි ගෙවූ හෙළදිව් ජන සමාජය බුදුන් දහම වැලඳ ගත්තේ ය.

.තිස්ස රජ මිහිඳු මහ රහතන් වහන්සේ දුටුයේ මිහින්තලා කඳු පාමුල සිටිය දී ය. ''තිස්ස... තිස්ස... තිස්ස..." යනුවෙන් තම නම කිසිවකු විසින් තෙපලද්දී හේ කලබලයට පත්වන්නට ඇත. රජ හා පිරිවර මිහින්තලා වනයේ එදා සැරිසැරුවේ දඩ කෙළියේ නිරත වෙමිනි. 

ඒ ක්‍රි.පූ. තුන් වන සියවස් හි අද වන් දොහක ය. කිසිවකු තමන් ආමන්ත්‍රණය කරන විට දඩ කෙළියේ නිරත තිස්ස රජ මුවකු පසුපස ලුහු බඳිමින් සිටිය අවස්ථාවයි. ස්වක්‍යී නම කියා කෙරුණු ආමන්ත්‍රණය නිසා හෙතෙම හඬ නැඟුණු දෙස විපරමින් බලද්දී නෙත ගැටුණේ මිස්සක පව්ව මත කසාවතින් බැබලෙමින් සිටිනා රුවකි. 

ස්වකීය විනෝදාහ්වාදය තකා සතුන් දඩයමේ යෙදී හුන් රජුට යළිත් වරක් සිය නම ඉතා සාන්ත අයුරින් ගලාවිත් දෙසවන් හි රැව් නැඟෙන්නට විය..

“සමණාමයං මහාරාජ .....”

“මහරජ අපි ඔබට අනුකම්පාවෙන් ජම්බුද්වීපයේ සිට මෙහි පැමිණි බුද්ධ ශ්‍රාවකයෝ වෙමු.”

එවදන් ඇසෙත්ම රජ අත වූ දුනු හී ගිලිහුණේ . ක්ෂනයිනි. රජගේ කුරුමාණම වැරදිණි. මුව පොව්වා පලා ගියේ ය. ඒ සතා ගේ දිවි රැකිණි.  ඒ සමඟ ම ඇරඹුණේ හෙළදිව් හි පළමු වැනි බුද්ධි පරීක්ෂණය යි.  මිහිඳු මා හිමිපාණන් රජුන් විමසන්නට වූ ඒ දවස පොසොන් පුන් පෝ දාවකි. 

 ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස සමඟ මිස්සක පව් මුදුනේ කසාවතින් බැබළෙමින් මිහිඳු මා හිමියෝ වැඩ සිටියහ. ඒ දසුනින් රජ වික්ශිප්ත වන්නට ඇත.

බුද්ධි පරීක්ෂණයෙන් තිස්ස රජ සමත් විය. ඒ ගැන බොදුනුවන් හට අමුතුවෙන් කිව යුතු නැත යනු අපගේ හැඟීම යි. 

රජුගේ දැනුම බොහොම ඉහළ බව කළ විමසීමේ නී ලද  පිළිතුරුවලින් සෑහීමට පත් අපගේ අනුබුදු හිමිපාණෝ හත්ථි පදෝපම සූත්‍රය පව් මුදුනේ වැඩ සිටිමින් ම දේශනා කළ හ. 

ඒ දම් දෙසුම  හෙළදිව් හි දසත පුරා පැතිර යෑමෙන් තිස්ස රජු ප්‍රමුඛ රට වැසියන්  මිථ්‍යා දෘෂ්ටියෙන් මිදී  සම්‍යක් දෘෂ්ටියට පත් විය. 

මිහිඳු හිමියන් විසින් දේශනා කරන ලද ප්‍රථම බණවර චුල්ල හත්ථි පදෝපම සූත්‍රය යි.   සම්බුද්ධත්වයට පත් සිදුහත් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ  ඉසිපතනයේ මිගදායේ දී පස්වග මහණුන් වෙත දෙසා වදාළ මංගල මහා දම් දෙසුම තරමට ම හෙළදිව් වැසියාට අසන්නට ලැබුණු චුල්ල හස්ථි පදෝපම සූත්‍රය  දම්සක් පැවතුම් සූත්‍රය තරම් ම වටනේය. මන්ද සමාජ සුසිරිත් වඩා සම්මත දිවි පෙවෙතකට මෙරට වාසීන් යොමු කරවීමට ඒ දම් සුතුර පාදක වූ බැවිනි. පොසොන් සඳ එළියෙන් අප හෙළ - බොදු ලකුණ හෙළි කරවමින් “සුළු ඇත් පද උවම් සුතුර” හෙවත් “චුල්ල හත්ථි පදෝපම සූත්‍ර” දෙසුම ඇරඹෙයි.

මහින්දාගමනය හේතුවෙන් මෙසිරිලක බෝ වෙනස්කම් සිදු විය. අපේ  සංස්කෘතික හැදියාව, අපේ  අධ්‍යාපනය, අපේ  ජීවන ක්‍රමය, ලාංකීය සමාජ හැදියාව,  ලාංකේය ආර්ථිකය,  හා පාලන ක්‍රමයේ  අතිවිශාල පෙයළියකට නතු විය.  ලක් වැසි ජනතාවගේ භෞතික හා අධ්‍යාත්මික දිවි පෙවෙත කෙරෙහි  අතිශය ප්‍රබල බලපෑමක් මහින්දාගමනය නිසා සිදු විය.

ආදි මිනිසා විමුක්තිය අරමුණු කර ගනිමින් විවිධ අදෘශ්‍යමාන බලවේගයන්ට හා විශ්වාසයන්ට නැඹුරු වුවත් ඉන් ඔවුන් ලත් විමුක්තියක් නොමැත්තේය. සැබෑ විමුක්තිය ළඟා කර ගන්නට නිවැරදි දර්ශනයක් හා පැහැදිලි චින්තනයක් අවැසිය.

මහින්දාගමනයෙ ලක්දිව දැවැන්ත සමාජ පුනරුදයකට හේතුභූත විය. 

උන් වහන්සේ මෙරටට වැඩම කොට පසු දින අනුරාධපුරයට වැඩමවා රජගෙදර විශේෂ මණ්ඩපයක සිටි බිසෝවරුන් ඇතුලු 500 ක් කාන්තාවන් පිරිසකට “විමානවත්ථු, පේතවත්ථු හා සච්ච සංයුක්ත” යන ධර්ම දේශනා කළහ.

ඉන් අවසන “අනුලා” දේවිය ඇතුළු 500 ක් කාන්තාවෝ සෝවාන් වෝ අනාගාමී විය. ඉන් දෙවන දිනයේදී රජුගේ ඇත් හලේදී රට වැසියා වෙනුවෙන් “දේව දූත” සූත්‍රය දේශනා කළහ. ඉන් අනතුරුව 1000 ක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉන් පසු රාජ උයනේදී “බාල පණ්ඩිත” සූත්‍රය දේශනා කිරීමෙන් 1000 ක් කාන්තාවන් සෝවාන් විය.

මේ වන විට 2500 කට අධික පිරිසක් මාර්ගඵල ලබා සිටියහ. තුන්වන දිනයේ දී මිහිදු හිමියන් රජමාළිගයෙන් දන් වළඳා “නන්දන” වනයෙහි වැඩ සිට “ආසීවසෝපම” සූත්‍රයද හතර වන දිනයේදී “අනමතග්ගිය සංයුක්තිය” දේශනා කළ අතර ඉන් අනතුරුව 1000 ක් දෙනා ධර්ම අවබෝධය ලැබීය.

පස්වන දින “ධම්ම චක්ක පවත්තන” සූත්‍රය දේශනා කළේය. එසේ දින හතක් තුළදී 8500 කට අධික ප්‍රමාණයක් මාර්ග ඵල අවබෝධය ලැබීය. මෙසේ මිහිදු හිමියන්ගේ ලංකා ගමනය නිසා අනුරාධපුර මහා විහාරය ඇතිවිය. මිහිදු හිමියන් වැඩවිසූ උයන “ජෝතිය” උයන ලෙසින් හැදින් විනි. තවද පොසොන් පුන් පොහොය දිනයේ දී සිදුවූ සුවිශේෂීවු සිදු වීම් කිහිපයකි. ඉන් එකක් නම් අප මහ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු වී සිව්වන සතියේ “රුවන්ගෙයි” වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදු පියාණන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීමද, ලක්දිව ප්‍රථම මහණ උප සම්පදාව වන “භණ්ඩුක” උපාසක මහණ උප සම්පදාවද මෙම උතුම් පොහොය දිනදී සිදු විය.

 මිහිඳු හිමියන්ට මෙම දැවැන්ත පරිවර්තනය කිරීමට රජුගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලැබිණි. ඒ උදෙසා මිහිඳු මාහිමිපාණෝ ඉතා බුද්ධිමත් හා ක්‍රමානුකූල වැඩපිළිවෙළක් ඇරඹූහ. මහ වන පෙත්  හි වූ ගල්ලෙන්  සුද්ද  පවිත්‍ර කොට මහාසංඝරත්නයට වැඩ වාසය කිරීමට ධර්ම ප්‍රචාරයෙහි යෙදෙන්නටත්  ඉඩකඩ සැකසිණි.

එතැනින් පටන් ගත් සමාජ ශෝධන ක්‍රියාවලිය බොහෝ පුළුල් වී ගල්ලෙන් පරිශ්‍රයන් විහාරාරාම බවට පත් විය. ලක්දිව මහා විහාර බිහිවීම ඇරඹිණි. ගම කේන්ද්‍ර කොට ගත් සංවර්ධනය ඇරඹිණි. මේ අනුව සමාජ, ආර්ථික, ආගමික, සංස්කෘතික හා දේශපාලන ප්‍රගමනයක් ඇති විය. මහාවංශය ඇතුළු පොත පත ලිවීම ආරම්භ වෙමින් පොදු ජනයා වඩ වඩාත් ධර්මය වෙත නැඹුරු කිරීමේ ප්‍රවාහයට පදනම වැටුණි.වෙහෙර විහාර , මහදාගැබ් ඉදිවෙමින් සාමාන්‍ය ජනතාව හාසංඝරත්නය අතර සමීප සබැඳියාවක් ඇති විය. “වැවයි දාගැබයි - ගමයි පන්සලයි” යන සංස්කෘතික සංකල්පය බිහි වූයේ එතැන් සිටය.සැඟවී තිබූ සිංහලබෞද්ධ ලකුණ මෙය යැයි අපට පෙනෙන්නට විය. ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත කෘෂිකාර්මික ජීවන රටාවකට මිනිසා ක්‍රමයෙන් හුරු විය. බෞද්ධ දර්ශනයෙන් මිනිසා තුළ මානසිකව ඇති වූ සංවර්ධනාත්මක පිබිදීම සංවේදී මිනිස් සමාජය බිහි කිරීමට සමත් විය.

දැවැන්ත ගල් කුළු හි බුද්ධ ප්‍රතිමා නිමහම් කරන්නට තරම් දැක්මක් හෙළයේ ශිල්පීන් තුළ වගා දිගා වූ අයුරු කෙතරම් විස්මයජනක ද?  මෙත් කරුණාවෙන්ව සපිරි ශිලාමය බුදු රුවක් නිර්මාණය කරන්නට තරම් ඒ සංවේදී  බවක් ගල්වඩුවාට ඇතිවූයේ ඔහු ගේ අධ්‍යාත්මික සංවර්ධනය බුදු දහමේ ආශිර්වාදය නිසා නොවෙද?  

වෙහෙර විහාර, පන්සල්, දාගැබ් ආදී නව නිර්මාණ ඉදිකරන්නට අපේ මිනිසුන් යුහුසුලු වූයේත්, හෙළ මානව සමාජය දැවැන්ත  සංවර්ධනයකට ද ලක්වූයේත් නව ප්‍රවේශයකට  අපේ ජන විඥානය යොමු වූයේත්, අපට උරුම වූ නව සංස්කෘතිය හේතුවෙනි. 

අහස සිඹින මහ දාගැබ්, මහ සයුර පරදවන මහ වැව්, බුදු ගුණ ජීවමානව සටහන් වූ මහ බුදු පිළිම, සරු සාර කෙත් වතු, දම්පද රැගත් පත පොත, අතීතයේ ලොව පිළිගත් විශ්වවිද්‍යාල ආදී වූ එකී නොකී මෙකී සියලු දෑ පොසොන් උදාවත්, මහින්දාගමනයත් හේතුවෙන් සිදු වූ අති දැවැන්ත ප්‍රාතිහාර්යයක් ම ය. .

රජු දැහැමි විය. රට වැසියන් ද දැහැමි විය. රාජ්‍ය පාලනය ද දැහැමි විය. පොසොන් දර්ශනයෙන් සැබැවින්ම නව ශිෂ්ටාචාරයක් අපට උරුම විය. ඒ උරුමය අපි දු එලෙසම රැක ගෙන අනාගත පරපුරට දායාද කොට දීමේ වගකීමෙන් යුක්තව කටයුතු කරමු.

  • සුගතපාල මැන්දිස් -