උණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංගසතියේ සටහන

ඇමරිකාවේ හදිසි දයානුකම්පාව!!???

ජගත් ගේ සතියේ සටහන -  123

තිස් හවුරුදු යුද්දයේ දී පස්ස හැරවූ ඇමරිකාව දැන් තෑගි පිට තෑගි ‌දෙන්න පටන් අරන්

ඇමරිකා එක්සත් ජනපදය පසුගිය දා ශ්‍රී ලංකා නාවික හමුදාවට නවීණතම වෙරළාරක්ෂක නෞකාවක් ප්‍රදානය කළා. ඒ ශ්‍රී ලංකාවට ඉන්දීය සාගරයේ මත්ද්‍රව්‍ය කටයුතු ඇතුළු ආරක්ෂක කටයුතු සඳහා බවයි ප්‍රකාශ වුණේ.

පසුගිය සතියේ ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව ගුවන් හමුදාවට ජීවිතාරක්ෂක හෙළිකොප්ටර් 8 ක් පරිත්‍යාග කොට තිබුණා. ඒවා ශ්‍රී ලංකාවට භාරදීමේ උත්සවය රත්මලාන ගුවන් තොටුපොළේ දී පැවතියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන්. මෙම හෙළිකොප්ටර් භාරදීම සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කලාපය භාර සහකාර ලේකම් පෝල් කපූර් මහතා විශේෂ නියෝජිතයකු වශයෙන් සහභාගි වී සිටීම විශේෂ සිද්ධියක්.

මෙම උත්සවයට පැමිණි පෝල් කපූර් මහතා මෙහිදී ජනාධිපති හා ආරක්ෂක ලේකම් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් ද හමුවූ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය නිරීක්ෂණය කිරීමට ද ගොස් තිබුණා.

කොටි සංවිධානය සමඟ පැවති තිස් අවුරුදු යුද්ධයේ දී ශ්‍රී ලංකාවට කිසිදු ආධාරයක් ලබා නොදුන් ඇමරිකාව දැන් හදිසියේ මෙසේ ශ්‍රී ලංකාවට ආධාර දීමට ඉදිරිපත්වීම දේශපාලන නිරීක්ෂකයින් ගේ විමතියට හේතු වී තිබෙනවා.

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව චීනය සමඟ සමීප සබඳතා පවත්වා ගෙන යමින් චීන ජනාධිපති ෂී ජින් පින් ගේ සේද මාවත ව්‍යාපෘතියට පූර්ණ සහයෝගය දීම, චීන ආධාර ඇතිව හම්බන්තොට වරාය ඉදිකිරීම හා අධිවේග මාර්ග ඉදිකිරීම ආදිය නිසා ඇමරිකාවේ සතුටට හේතු වුණේ නෑ.

ශ්‍රී ලංකාව චීනය සමඟ සමීප සබඳතා පවත්වා ගෙන යාම ඉන්දියාවට ද ප්‍රශ්නයක් වී තිබුණා.

ගෝල්ෆේස් අරගලය  

මේ නිසා 2015 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයෙන් පහකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කිරීමේ දී දැවැන්ත කාර්යභාරයක් ඉටුකළේ ඇමරිකාව හා ඉන්දියාව යි. එහෙත් ඔවුන්ගේ ආධාරයෙන් පිහිටුවා ගනු ලැබූ යහපාලන ආණ්ඩුව අසාර්ථක වීමෙන් ඊළඟ ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති දූරයට පත් වුණේ ඇමරිකාවේ හා ඉන්දියාවේ බලාපොරොත්තු බිඳ දමමින්.

අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති නිසා ගෝඨාභය පාලන සමයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය දරුණු ලෙස කඩා වැටුණා. මෙහිදී ඉන්දියාව හා ඇමරිකාව යළි ක්‍රියාත්මක වී ඇමරිකානු ආර්ථික වැඩපිළිවෙල (US A Aid) මඟින් රාජ්‍යනොවන සංවිධානවලට අතදිග හැර මුදල් වියදම් කරමින් රට පුරා ආණ්ඩු විරෝධයක් ඇති කළා. 2022 මැයි 9 වනදා ආරම්භ වූ ගාලුමුවදොර අරගලය එහි ප්‍රතිඵලයක්.

මෙහිදී එවකට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චං, ගෝඨාභය ආණ්ඩුවට දැඩි බලපෑම එල්ල කළේ අරගලකරුවන්ට විරුද්ධව ක්‍රියාමාර්ග නොගන්නා ලෙසට බල කරමින්. එහි ප්‍රතිඵලයක් වශයෙන් අරගලකරුවන් ජනාධිපති මැඳුර, අගමැති කාර්යාලය, අරලියගහ මැඳුර අදා ප්‍රධාන ස්ථාන අත්පත් කර ගැනීමට සමත් වුණා.

අන්තිමේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටින් පලාගිය අවස්ථාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චං මහත්මිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවීමට ගොස් රටේ ජනාධිපති දුරය බාරගන්නා ලෙස ඔහුගෙන් ඉල්ලා තිබුණා.

අන්තිමේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ ඇමරිකාවේ හා ඉන්දියාවේ වැඩ පිළිවෙල නතර වුණා.

එහෙත් 2024 ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වීම හා ඉන්පසු පැවති මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ලබාගෙන මන්ත්‍රී ධූර 159 ක් හිමිකර ගැනීම නිසා ඇමරිකාව හා ඉන්දියාව තම උපාය මාර්ග වෙනස් කරගෙන තිබෙන බවයි පෙනෙන්නේ.

ඇමරිකාවේ අනුදැනුම මත ඉන්දියාව ජාතික ජන බලවේගය ආණ්ඩුව සමඟ සමීප සබඳතා ඇති කරගත් අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවටත්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවටත් පැමිණියා.  ඒ අතර ඉන්දීය විදේශ ඇමති සුබ්‍රමනියම් ජෙය ෂංකර් මහතා කීප වරක් ම ලංකාවට පැමිණියා. එපමණක් නොව ඉන්දියාව ශ්‍රී ලංකාවට ණය ආධාර, වතුකරයේ ජනතාව සඳහා නිවාස යෝජන ක්‍රම, රජයේ නිලධාරීන් 150 කට පරිපාලනය ගැන ඉන්දියාවේ දී පුහුණුවක් ගබාදීම ආදී ආධාර රැසක් පසුගිය කාලය තුළ පිරිනමා තිබෙනවා.

ඉන්දීය අගමැති මෝදි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ආරක්ෂක ගිවිසුම් ඇතුළු ගිවිසුම් 8 ක් ශ්‍රී ලංකාව සමඟ අත්සන් කරණු ලැබුවා.

ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලයේ දයානුකම්පාව

ඒ අතර ඇමරිකානු සෙනෙට් මණ්ඩලය පසුගියදා ශ්‍රී ලංකාව ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි වාර්තා වෙන්නේ.

මේ වන විට ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට උත්සාහ දරමින් සිටින බවත් ණය ප්‍රතිව්‍යුහගත කරණය සහ රටට ආයෝජන ගලා නොඒම ආදි ප්‍රශ්නවලින් පීඩා විඳින බවත් ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ දී සාකච්ඡා වී තිබෙනවා.

මේ තත්වය යටතේ චීනය ද ශ්‍රී ලංකාවට ආධාර දීමට ඉදිරිපත් වී සිටින බැවින් ඊට පෙර ඉන්දියාව හාරහා ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට ද තීරණය වූ බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග පවසනවා. එසේම ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබාදිය යුතු බව ද ඇමරිකානු සෙනෙට් සභාව තීරණය කරලා.

ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාව අසළින් වැටී ඇති මුහුදු මාර්ගය ඉතා වැදගත් බැවින් ඉන්දියාවේ ද සහාය ඇතිව එහි නාවික ආරක්ෂාව තර කිරීම ශ්‍රී ලංකා රජය ලවා කර ගැනීමට ද සෙනෙට් මණ්ඩලයේ අදහසයි.

ඇමරිකාව පසුගියදා ශ්‍රී ලංකාවට වෙරළාරක්ෂක නෞකාවක් සහ ජීවිතාරක්ෂක හෙළිකොප්ටර් 8 ක් ලබාදී තිබෙන්නේ මේ අනුව යි. තවද හමුදාමය පුහුණු මෙහෙයුම්, බුද්ධි සේවා හා යුද උපකරණ ලබාදීම ද ඇමරිකානු වැඩ පිළිවෙලට ඇතුළත්.

ඇමරිකාවේ කොක්කෙන් නැතිනම් කෙක්කෙන් කරන සෙල්ලම

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් පෝල් කපූර් මෙරටට පැමිණියේ ඇමරිකානු සෙනෙට් සභාවේ තීරණ ක්‍රියාත්මක කිරීමේ මුල් පියවරක් වශයෙන් බව ද වාර්තා වෙනවා.

එමෙන්ම කොළඹ වරාය ද ඇමරිකානු අවධානය යොමුවී ඇති වැදගත් මර්මස්ථානයක් බවත් පසුගියදා මෙරටට පැමිණි ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් පෝල් කපූර් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය නිරීක්ෂණ කර ඇත්තේ ද ඒ අනුව බවත් ආරංචි මාර්ග පවසනවා.

කොළඹ වරායේ බටහිර ජැටිය ඉදිකිරීමට ප්‍රංශ සමාගමක් හරහා ඇමරිකාවේ මර්කස් නැව් සමාගම සාකච්ඡා කොට ඇති බව ද දැනගන්නට තිබෙනවා.

මන්ත්‍රීවරුන් 159 ක් සහිත ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පෙරළා දැමීම අපහසු කාර්යයක් බැවින් ආධාර දීම මඟින් ඒ ආණ්ඩුවේ සහාය ලබා ගැනීම ඇමරිකාවේ උපාය මාර්ගය වී ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

මීට පෙර ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ගේ විශේෂ නියෝජිතයකු වශයෙන් මෙරටට පැමිණි සර්ජියෝ ගෝර් ද ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ වරායේ බටහිර ජැටිය නිරීක්ෂණ කොට තිබු අතර ඇමරිකාවේ ආසියා පැසිපික් කලාපය භාර ගුවන් හමුදා ප්‍රධානී කෙවින් ෂ්නයිඩර් ද ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ අපේ මුහුදු තීරයේ වැදගත්කම් නිරීක්ෂණය කිරීමට බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඇමරිකාව මෙසේ කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ ශ්‍රී ලංකාව තමන් වෙත නම්මවා ගැනීමට ගන්නා මේ උත්සාහය ගැන අසල්වැසි ඉන්දියා මෙන් ම චීනය  කුමන පියවරක් ගනීවිදැ යි දේශපාලන විචාරකයින් විමසිල්ලෙන් පසුවෙනවා.

 - ජගත් -