ඉතිහාසය

ඉතිහාසය ජීවමාන කරන්න ජීවිතය පරදුවට තැබූ අපේ කාලයේ මිනිස්සු

ල්.ටී.ටී.ඊ. ළමා සොල්දාදුවන් ගැන මුලින් ම ලෝකයට හෙළි කළේ ඇල්ෆ්‍රඩ් සිල්වා

පුවත්පත් ඉතිහාසයේ මුල්ම වරට කොලම් අටක් පුරා පළ වුණ අරන්තලා භික්ෂු ඝාතනයේ  ඡායාරූපය ගත්තෙ බන්දු එස්. කොඩිකාර

ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදින්ගේ සංගමය ප්‍රථම වරට සංවිධානය කළ 2019 ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය සහ ඡායාරූප තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය 26 වැනි සිකුරාදා හෝර්ටන් පෙදෙසේ පිහිටි ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී පැවැත්විණි. මේ අවස්ථාවේ දී ජ්‍යෙෂ්ඨ ඡායාරූප මාධ්‍යවේදින් අටදෙනකු ඇගයීමට ලක් කරනු ලැබීය. සේන විදානග‍මගේ, එස්. චිත්‍රානන්ද, යූ.එන්. පෙරේරා, ඇ‍ල්ෆ්‍රඩ් සිල්වා, බන්දු එස්. කොඩිකාර, ශ්‍රීලාල් ගෝමස්, වෝල්ටර් පෙරේරා සහ සරණපාල පමුණුව එසේ ගෞරව ප්‍රණාමයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ ඡායාරූප මාධ්‍යවේදිහු වෙති. මොවුන් අතුරින් ශ්‍රීලාල් ගෝමස් අද ජීවතුන් අතර නැත. සරණපාල පමුණුව සහ යූ.එන්. පෙරේරා ගිලන් වී සිටිති. එබැවින් ඔවුන්ගේ මතකය අවදි කිරීම අසීරු වී තිබේ. එහෙත් සෙසු ඡායාරූප මාධ්‍යවේදීන්ට ඔවුන් මාධ්‍ය ජීවිතය තුළ ජීවිතය පරදුවට තබා ඡායාරූප ගැනීමට කළ වික්‍රමයන් ගැන හොඳ මතකයක් තිබේ. ඡායාරූප මාධ්‍ය ජීවිතය තුළ ඔවුන් මුහුණදුන් රසබර අත්දැකීම්, බියකරු සහ ත්‍රාසජනක අත්දැකීම් පිළිබඳව ආවර්ජනයක යෙදුණේ එමනිසාය. මෙම ලිපිය සැකසෙන්නේ ඔවුන්ගේ එකී අත්දැකීම් මුල් කර ගනිමිනි.

එදා 1987 ජුනි 02 වැනිදා ය. අම්පාර දිස්ත්‍රික්කයේ අරන්තලාව ප්‍රදේශයේ දී කොටි ත්‍රස්තවාදීන් විසින් භික්ෂූන් වහන්සේලාත් උන්වහන්සේ සමඟ සිටි ගිහියන් කීපදෙනෙකුත් වෙඩි තබා ඝාතනය කළේ එදා ය. එම ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ගණන 37කි. මුළු රටම කම්පා කළ මෙම අමානුෂික සිදුවීම ජනමාධ්‍ය ආයතනවලට පැහැර හැරිය නොහැකි ඉතා වැදගත් අවස්ථාවක් විය. එවකට දිවයින පත්‍රයේ ප්‍රධාන කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ මහතා පුවත්පත් කලාවේදියකු සමඟ ඡායාරූප මාධ්‍යවේදියකු එහි යැවීමට අදහස් කළේ එකී වැදගත් මොහොත ආවරණය කළ යුතු බැවිනි. එම කටයුත්ත සඳහා ඔහු ‍තෝරාගෙන තිබුණේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මරත්න විජේසුන්දර සහ ඡායාරූප මාධ්‍යවේදි බන්දු එස්. කොඩිකාර ය.

“ඇත්තට ම මම ඒ ගමන ගියේ ආයේ එන්න ලැබේවී කියන ජීවිත බලාපොරොත්තුව අත් හැරලා. කොටින්ම කිව්වොත් මම කාටවත් ම නොකියා බැංකු පොතයි මගේ හැඳුනුම්පතේ ඡායා පිටපතකුයි එක්ක ලියුමක් ලිව්වා අවශ්‍ය වුණොත් මගේ බැංකු ගිණුම බිරියගේ නමට පවරන්න කියලා.” ජ්‍යෙෂ්ඨ ඡායාරූප මාධ්‍යවේදී බන්දු එස්. කොඩිකාර භයංකාර ගමනක යටගියාව අවදි කළේ එසේ ය.

අරන්තලාවේ දී මිය ගිය භික්ෂූන් වහන්සේලාගේ ආදාහන කටයුතු සිදු කෙරුණේ අම්පාර නගර සභා ක්‍රීඩාංගණයේය. අවමංගල්‍ය පෙරහර නගර සභා පිටියට ළඟා වෙමින් තිබුණි. මෙම මෘතදේහ 37ම එකම ඡායාරූපයකට හසු කර ගැනීමට බන්දු එස්. කොඩිකාරට අවශ්‍ය විය. එහෙත් එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඔහු සිය අවශ්‍යතාව ධර්මරත්න විජේසුන්දරට පැවසීය. “නැඟපන් මගෙ කර උඩට” ධර්මරත්න විජේසුන්දර පිළිතුරු දුන්නේය. බන්දු එස්. කොඩිකාර ඔහුගේ කර මතට නැඟී එතනින් පාරේ තිබුණු ලයිට් කණුවකට ගොඩ විය. මෘතදේහ 37ම ඇතුළත් වන ආකාරයට ඡායාරූප ගැනිණි. මෙම ඡායාරූපය දිවයින පත්‍රයේ කොලම් 8කින් පළ කිරීමට එවකට ප්‍රවෘත්ති කර්තෘ ලෙස සිටි මෙරිල් පෙරේරා තීරණය කළේය. ප්‍රවෘත්ති ඡායාරූපයක් කොලම් 8කින් පළ වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසගත විය.

දශක 4ක් පුරා දවස, ලේක්හවුස්, ලංකාදීප, දිවයින සහ ලක්බිම යන පුවත්පත්වල සේවය කළ බන්දු එස්. කොඩිකාර සුවිශේෂි සහ තීරණාත්මක අවස්ථා ඡායාරූපවලට හසු කර ගැනීමට දක්ෂයෙකි. එහෙත් එක්තරා තීරණාත්මක අවස්ථාවක් ඔහුගේ කැමරාවෙන් ගිලිහී ගියේය. එය කැමරාවට හසු කර ගත්තේ එවකට ලේක්හවුස් ආයතනයේ සේවය කළ ඡායාරූප මාධ්‍යවේදි සේන විදානගමගේ ය. එම ඡායාරූපය නිසා ම ඔහු අන්තර්ජාතික වශයෙන් ද ප්‍රසිද්ධියට පත් වූ අතර විදේශීය ප්‍රවෘත්ති ඒජන්සි රාශියක දොරටු ඔහු වෙනුවෙන් විවෘත විය. එකී ඓතිහාසික ඡායාරූපය වන්නේ 1987 ජූලි 30 වැනිදා ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට ශ්‍රී ලංකා නාවික සෙබළ විජයමුණිගේ විජිත් රෝහණ ද සිල්වා තුවක්කු බ‍ඳෙන් පහර දීමට තැත් කරන සිදුවීමයි. මෙම අවස්ථාව ඡායාරූපයට හසු කර ගත් එක ම ඡායාරූප ශිල්පියා සේන විදානගමගේ පමණි. විදෙස් මාධ්‍යවේදින්ට පවා එය ඡායාරූපගත කිරීමට හැකි වූයේ නැත.

“රජීව් ගාන්ධි ලංකාවට ආවේ ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කරන්න. එය අත්සන් කළේ ජූලි 29. ඊට පෙර දවස් දෙකක විතර ඉඳලා ඊට විරුද්ධව ලංකාවේ පෙළපාළි, සත්‍යග්‍රහ තිබුණා. ගිවිසුම අත්සන් කළෙත් ඇඳිරි නීතිය දාලා. රජීව් ගාන්ධි අගමැතිවරයා ලංකාවෙන් පිටත් වීමට පෙර සමුගැනීමේ උත්සවය ආවරණය කිරීමට මාව පිටත් කළේ ඒ කාලේ ඩේලි නිවුස් පත්තරේ ප්‍රධාන කර්තෘ මණික් ද සිල්වා. ඔහු මට කිව්වා ‍රටේ තිබෙන වාතාවරණය හොඳ නැහැ, මේ ගිවිසුමට හැමෝම විරුද්ධයි, මොකකින් මොකක් වේවිද දන්නේ නැති නිසා හොඳ අවධානයෙන් කල්පන‍ාවෙන් ඉන්න කියලා. ඒ නිසා මම සියලු කටයුතු අවසාන වන තුරු හොඳ කල්පනාවෙන් කැමරාව සූදානම් කරගෙන හිටියා. රජීව් ගාන්ධිට මෙම සෙබළා පහර දීමට උත්සාහ කළේ උත්තමාචාරය අවසාන වන මොහොතේ. සියලුම කටයුතු අවසන් නිසා ගොඩාක් ඡායාරූප ශිල්පීන් කැමරා බෑග්වලට දමා ගත්තා. ඒත් මම මණික් ද සිල්වාගේ උපදෙස් පිට අවසාන තත්පරය දක්වා ම කැමරාව අතේ තියාගෙන සූදානමින් හිටියා. ඒ වෙලාවේ මම දැක්කා රජීව් ගාන්ධිට පහර දෙන්න තුවක්කුව ඔසවාගෙන ඉදිරියට පා තබන ආකාරය. මම ටක් ගාලා ක්‍රියාත්මක වුණා. හැබැයි තුවක්කු බඳ රජීව්ගේ උරහිසට වදින ආකාරය හසු කර ගැනීමට මට බැරි වුණා. ඒ කාලේ රීල් දාලානේ අපි ෆොටෝ ගත්තේ. අද වගේ ඩිජිටල් කැමරා තිබුණා නම් ඒ සිදුවීම් පෙළ එක දිගට ගන්න තිබුණා.” යනුවෙන් ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී සේන විදානගමගේ විස්තර කළේය.

ප්‍රවෘත්ති ඡායාරූප ගැනීමට ගිය ඇතැම් අවස්ථාවලදී ඔහු මැර ප්‍රහාරයන්ට පවා ලක් විය. තොටළඟ බෝම්බය පුපුරා ගිය අවස්ථාවේ ඔහු සේවය අවසන් කර නිවෙසට ගියා පමණි. එහෙත් ඔහු නැවත ලේක්හවුස් ආයතනයට පැමිණ කැමරාව රැගෙන බෝම්බය පිපිරූ ස්ථානයට ගොස් ඡායාරූප ගෙන තිබ‍ුණේ සිය රාජකාරියට උපරිම අයුරින් කැප වෙමිනි. ඉන්පසුව ඔහු කොළඹ ජාතික රෝහලට ගියේ එහි සිදු වන දෑ ඡායාරූපයට නැඟීමට ය. එහෙත් මැර කණ්ඩායමක් පැමිණ ඡායාරූප නොගන්නා ලෙස පවසමින් ඔහුට පහර දී තිබුණි. එදා සේන විදානගමගේව බේරා ගන්නා ලද්දේ එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරි තනතුරක් හෙබවූ අනුර සේනානායක ය.

“මම ලේක්හවුස් එ‍ෙක් වැඩ කරන කාලේ දවසක් කොළඹ විශ්ව විද්‍යාලයේ ළමයින්ගේ උ‍ද්ඝෝෂණයක ඡායාරූප ගන්න මට පැවරුණා. කෝකටත් කියලා මම කැමරාව කලිසම් සාක්කුවේ දමාගෙන ගියේ. හිතුවා වගේම පොලිසියෙන් මට යන්න දෙන්න බැහැ කිව්වා. මම පොලිස් නිලධාරියාට කිව්වා මට ටොයිලට් එකට යන්න අවශ්‍යයි කියලා. ඒ පාර පොලිස් නිලධාරියාත් මා එක්ක ටොයිලට් එක ළඟට ආවා. මම ටොයිලට් එක ඇතුළට ගිහින් කොමඩ් එක උඩ හිට ගෙන ෆෑන්ලයිට් එක හරහා ශිෂ්‍ය පෙළපාළියේ ෆො‍ටෝ ගත්තා. පස්සෙ ආයෙමත් කැමරාව සාක්කුවේ දාගෙන හෙමින් සැරේ එළියට ආවා.” යනුවෙන් සිය මතකය අවදි කළේ ලේක්හවුස් ආයතනයේ වසර 39ක් පුරා ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස සේවය කළ වෝල්ටර් පෙරේරා ය. මේ ආකාරයට වෝල්ටර් පෙරේරා ආරක්ෂක නිලධාරින්ගේ ඇස් වසා ඡායාරූප ගන්නා විට එල්.ටී.ටී.ඊ, සාමාජිකයන්ගේ ඇස් වසා ඡායාරූප ගැනීමට ගොස් වැරදුණු අවස්ථාවක් අපට විස්තර කළේ ජ්‍යෙෂ්ඨ ඡායාරූප මාධ්‍යවේදී ඇල්ෆ්‍රඩ් සිල්වා ය.

“1987 ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කළ දවස්වල යාපනයේ ලොකු රැස්වීමක් තිබුණා. ඒ කාලේ මම වැඩ කළේ වීක්එන්ඩ් ඉංග්‍රීසි පත්තරේ. ඉක්බාල් අතාස් සහ මම මේ රැස්වීම ආවරණය කරන්න ගියා. ඒ රැස්වීම තිබ්බෙ අඩි 20ක් විතර උසින් හදපු වේදිකාවක. ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ, සංවිධානයේ නායකයන් පිරිසක් එදා වේදිකාවට නැග්ගා. විදේශීය මාධ්‍යවේදිනුත් ගොඩාක් දෙනෙක් ඇවිත් හිටියා. එදා රැස්වීමේදී වේදිකාවට නඟින්න ඉස්සෙල්ලා ඔවුන් ප්‍රභාකරන්වත් පරීක්ෂා කළා. මම එය ෆොටෝ ගන්න හදන‍කොටම කොටි සාමාජිකයන් ඇවිත් මට විරෝධය පළ කළා. ඒ නිසා ඒ වටිනා අවස්ථාව ගිලිහුණා.” යනුවෙන් එකී අවස්ථාව විල්ෆ්‍රඩ් සිල්වා විස්තර කළේය.

එහෙත් ඔහුට ඊට පසු අවස්ථාවක ප්‍රභාකරන්ගේ ඡායාරූප ගැනීමට අවස්ථාව උදා විය. ඒ මෙම රැස්වීමෙන් පසුව ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ, නායකයන් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. කෙසේ හෝ ඉක්බාල් අතාස් සමඟ යාපනයේ සංචාරය කරන විට අවස්ථා 3කදී ඇල්ෆ්‍රඩ් සිල්වාට ප්‍රභාකරන් හමුවී තිබේ. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ළමා සොල්දාදුවන්ගේ ඡායාරූප ගෙන ඔවුන්ව ලෝකයට හෙළිදරව් කිරීමේ ගෞරවය හිමි වන්නේ ද ජ්‍යෙෂ්ඨ ඡායාරූප මාධ්‍යවේදි ඇල්ෆ්‍රඩ් සිල්වාට ය.

“ඒ වතාවෙත් අපි නැවතිලා හිටියේ ඥානම් ‍හෝටලයේ. මහ රෑ එල්.ටී.ටී.ඊ, එකෙන් අපිට කතා කරලා කිව්වා ඔවුන්ගේ නායකයකු වන රහීම්ව ඉන්දියන් හමුදාවෙන් නිදහස් කරනවා, ෆොටෝ ගන්න එන්න කියලා. අපිව එක්කං යන්න කොටි සංවිධානයෙන් වාහන 3ක් ආවා. අපි මැද වාහනේ. අපිට ඉස්සරහිනුයි පිටිපස්සෙනුයි අනිත් වාහන 2. ඒ අය අපිව අරගෙන මහ කැලෑ මැද්දෙන් වේගයෙන් යනවා. ඔය අතරේදී රහීම්ව නිදහස් කරන්නේ නැහැ කියලා ඔවුන්ට පණිවිඩයක් ලැබුණා. ඒ පාර අපේ වාහන ආපහු හරවා ගත්තා. ඒ හරවද්දී අපිට ඉස්සරහින් ගිය ඩෙලිකා වෑන් එකේ දොර ඇරිලා තුවක්කුවක් අතේ තියා ගත්ත පොඩි කොල්ලෙක් වෑන් එකෙන් එළියට වැටුණා. හැබැයි කොල්ලා පිනුමක් ගහලා නැගිට්ටා. අපි බැහැලා වෑන් එක ළඟට ගිහින් බැලුවා. පොඩි පිරිමි ළමයි 10 දෙනෙක් වෑන් එකේ හිටියා. මම ඒ අයගේ ෆොටෝ ගන්න ඕනෑ කිව්වාම ඊට පහුවෙනිදා උදේ 10.00ට ගාන්ධි පිළිරුව ළඟට අපිට එන්න කිව්වා. ඊට පහුවෙනිදා අපි ගාන්ධි පිළිරුව ළඟට ගිහින් ෆොටෝ ගත්තා. ඊට පස්සෙ ළමා සොල්දාදුවො ගැන වීක්එන්ඩ් පත්තරේ පිටු 2ක් පුරා පළ කළා. ළමා සොල්දාදුවන් ගැන පාර්ලිමේන්තුවේදි ප්‍රථම වතාවට රංජන් විජේරත්න අමාත්‍යවරයා කතා කළේ මගේ ඡායාරූප පළ වූ පසුවයි.” යනුවෙන් විස්තර කළේ ඇල්ෆ්‍රඩ් සිල්වා ය. ඔහු වීක්එන්ඩ්, සන්ඩෙ ටයිම්ස් යන පුවත්පත්වල සේවය කළ 40 වසරක අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ ඡායාරූප මාධ්‍යවේදියෙකි.

“මම ලේක්හවුස් එකේ වැඩ කරන කාලේ වරක් රුවන්මැලි සෑයේ සුදුහුනු පිරියම් කරන අවස්ථාවක ෆොටෝ එකක් ගන්න දයා ගුණතිලක මාධ්‍යවේදියාවත් මාවත් අනුරාධපුරේ යැව්වා. ඒ ෆොටෝ එක ගුවනින් ගිහින් ගන්න තිබුණේ. අපිට ෆොටෝ ගන්න යන්න සූදානම් කර තිබුණේ ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක්. අපි ඒකට ගොඩ වුණා. එය විවෘත යානයක්. ‍දොරවල් නැහැ. මම එක් කැමරාවක් බෑග් එකේ දමාගෙන කරේ එල්ලාගෙ හිටියේ. අනිත් කැමරාව ෆොටෝ ගන්න සූදානමින් අතේ තියාගෙන හිටියා. මම දොර ළඟ වාඩි වෙලා ෆොටෝ ගන්නවා. දොර නැති නිසා ජීවිත අවදානමකුත් තිබුණා. ඔන්න දැන් හෙලිකොප්ටරය රවුම් කරකවනවා. මාවත් ඇලවෙනවා. මගේ කරේ තිබුණු බෑග් එක දොරෙන් එළියට එල්ලිලා තියෙනවා. මගේ බෑග් එකට දයා ගුණතිලක කකුල තියාගෙන තද කරගෙන හිටියා. එදා මම ෆොටෝ ගත්ත විදිහ මට නම් ජීවිතේට අමතක වෙන්නේ නැහැ.” යනුවෙන් මාධ්‍ය ජීවිතයේ මුහුණ දුන් ත්‍රාසජනක අත්දැකීමක් විස්තර කළේ ජ්‍යෙෂ්ඨ ඡායාරූප මාධ්‍යවේදි එස්. චිත්‍රානන්ද ය. ඔහුගේ ඡායාරූප මාධ්‍ය ජීවිතයයේ වයස වසර 50කි.

වරක් ඡායාරූප මාධ්‍යවේදී සේන විදානගමගේට එක්සත් ජාතික පක්ෂ රජය පැවැති කාල‍යේ විරුද්ධ පක්ෂයෙන් සංවිධානය කළ පාද යාත්‍රාවේ ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවක ගුටි කෑමට පවා සිදු විය. පාද යාත්‍රාවේ ඡායාරූප ගැනීමට සංවිධායකවරුන් අවසර දී තිබුණේ ආරම්භක උත්සවය සහ අවසානය පමණි. එම වකවානුවේ ඒ.එෆ්.පී. පුවත් ඒජන්සියේ කටයුතු කළ සේන විදානගමගේ අවසාන අවස්ථාවේ පිළිගැනී‍ෙම් උත්සවයක ඡායාරූප ගන්නා විට කෙනෙක් ඔහුගේ ගෙලට පහර දී ඔහු රැගෙන මහින්ද රාජපක්ෂ මහතා ළඟට ගියේය. “අපිට ෆොටෝ ගන්න එන්න කියලා මෙහෙමද සලකන්නේ කියලා මම ඇහුවා.” යනුවෙන් පැවසූ සේන විදානගමගේ ව මැරයන්ගෙන් මුදවාගෙන තිබුණේ අනුර බණ්ඩාරනායක ය. පුවත්පතක පළ වී තිබුණු ඡායාරූපයක් ගන්නා ලද්දේ සේන යැයි වරදවා වටහා ගත් පිරිසක් ඔහුට පහර දුන් බව පසුව අනාවරණය විය. එම වැරදීම සම්බන්ධයෙන් සමාව ඉල්ලීමට තරම් මහින්ද රාජපක්ෂ මහතාත් අනුර බණ්ඩාරනායක මහතාත් කාරුණික වූ බව සඳහන් කිරීමට සේන විදානගමගේ අමතක කළේ නැත.

තර්ජන ගර්ජන මධ්‍යයේ ජීවිත පරදුවට තබා ඡායාරූපකරණයේ නිරත වූ මෙම ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදින්ට ගරු බුහුමන් ලැබීම සතුටුදායක ය.