උණුසුම් පුවත්

කතානායකට විශ්වාසභංගයක්

මන්ත්රීවරුන් අද (26) අත්සන් කරල

සජබ හි සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කථානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තබද්දී

 

 

 

 

අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ විධායකය" ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ප්‍රධාන කුළුණු 3 ක්‍රියාත්මක වන බවත් අණපනත් සම්මත කර ගැනීම ව්‍යවස්ථාදායකය හරහා ක්‍රියාත්මක වන අතර එය නීත්‍යානුකූලව හා ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක කිරීම කතානායකවරයා ප්‍රමුඛ බලධාරීන් සතු වගකීමක් වුවත් මාර්ගගත සුරක්ෂිතතා පනත අද දවසේ නීතියක් බවට පත් වූයේ අනීතික ක්‍රමවේදයක් තුළ බව විපක්ෂ නායකවරයා පැවසීය.

එම කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශ සහ යෝජනා මුළුමනින්ම බැහැර කොට මෙම පනත කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සම්මත වී ඔහු එයට අත්සන් තබා රටේ නීතියක් බවට පත් කර ඇත්තේ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අනීතික ක්‍රමවේදයක් තුළ බවත් ඒ තුළින් කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පවා උල්ලංඝනය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති ආකාරයට උත්තරීතර නීතිය අනුගමනය කරමින් නිවැරදිව ක්‍රමවත්ව අණපනත් සම්මත කර ගැනීම සිදු කළ යුතු වුවත් එය ඔහු හිතාමතාම උල්ලංඝනය කර ඇති බවත් එම නිසා මාර්ගගත සුරක්ෂිතතා පනත සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය තුළ කතානායකවරයාගේ ක්‍රියාකලාපය ගැන ඔහුට අප්‍රසාද පළ කරමින් ඔහු තුළ ඇති විශ්වාසය භංග වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

අවස්ථා ගණනාවකදී සභාගර්බය තුළ හා ඉන් පිටත මේ වැරදි දේ නිවැරදි කර ගන්නා ලෙස තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් යෝජනා ඉදිරිපත් කළත් ඔහු හිතාමතාම එම යෝජනා බැහැර කිරීම නිසා මෙවැනි විශ්වාසභංග යෝජනාවකට මුල පුරන බවත් මෙය ඊළඟ පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡාවට ලක් කරන බවත් ඉන් පසුව කඩිනමින් එය විවාදයට ගෙන ඔහුව තනතුරෙන් ඉවත් කිරිමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.