කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිල විවෘත කළ අගමැතිනිය කළ කථාවට තුතිමල් වැස්සක්!!
විසිහත් වැනි කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිල විවෘත කිරීමට සපැමිණි අගමැතිනි, ආචාර්ය හරිණි අමරසූරිය මෙනෙවිය සමස්ත ජාතියේ ම ප්‍රසංශාවට ලක් වෙන්නා වූ කතාවක් කීවා ය. ඒ මුද්‍රණ කර්මාන්තය වැට් බද්දෙන් නිදහස් කරන්නට ඉදිරි අයවැයේ දී පියවර ගන්නට ආණ්ඩුවේ අදහසක් ඇති බව යි.
ඒක නං කදිම ය. බෝ කදිම ය. හෙළදිව් වැසි සකල ජනයා ම ඇගේ ඒ කතාවට සැලියුට් එකක් නොව දෙක බැගින් දැමීමට එක පයින් සූදානමින් සිටින බව ඉතා සතුටින් ගෞරව බහුමානයෙන් යුක්තව සටහන් කරන්නෙමු.
ඈ ඇගේ කතාව ආරම්භයේ දීම සඳහන් කළේ මේ පිළිබඳව ජනාධිපතිවරයා විසින් ඒ වග විශේෂයෙන් ම පවසන සේ කී බවකි.
හවුරුදු විස්සක තිහක තරම් කාලයක පටන් පොත්පත් මුද්‍රණයට අදාළ අමුද්‍රව්‍යවල මිල ඉහළ යන්නේ නොසිතූ නොවිරූ අයුරුනි. එමෙන් ම මුද්‍රණ කර්මාන්තයට ඇවැසි යන්ත්‍ර මෙන් ම ඒවායේ අමතර කොටස් ද ඉහළ නඟින්නේ රොකට්ටු වේගයෙනි. මෙසේ අහස උසට ඉහළ යන මුද්‍රණ කර්මාන්තයට ඇවැසි දෑ හි දරාගත නොහැකි වියහියදම් නිසා මේ කර්මාන්තය ශීඝ්‍ර අයුරින් පහත වැටෙමින් පවතී,
රටේ උගතුන්, බුද්ධිමතුන්, වියතුන්, ගත්කරුවන් මේ සම්බන්ධයෙන් දීර්ඝ කලෙක පටන් ම නේක නේක අවස්ථාවන් හිදී නන් අයුරින් සාකච්ඡා කොට පාලක උත්තමයින්ගෙන් සහනයක් ඉල්ලා සිටිය ද රට කරවූ හැම පාලන තන්ත්‍රයකම ලොක්කන්, ලොක්කියන් ඊට කන්දීමක් සිදු නොකොට අද වන තුරු බීරි අලියන් සේ සිටින්නේ පොතපත කෙරහි ඇති ඔවුන්ගේ වෛරයක් නිසාදැයි කියන්නට දන්නේ ඔවුන් ම පමණි.
ගොඩගේ ප්‍රකාශනයක් සේ, ඉකුත් ජනවාරි 01 වැනිදා ම විසින් රචිත 'රාජේශ්වරී හා මදාරා' නමින් එළි දැක්වුණු කෙටිකතා සංග්‍රහයේ මා තබා ඇති සටහනෙහි මෙසේ දක්වා ඇත.
සබඳ!
වත්මන් පරපුර ගැන ද මෙහිලා යමක් සඳහන් කිරීම වටී. අද වන විට අපේ තරුණ පරපුර කෙරෙහි සිත් හි වැඩෙන්නේ වේදනාවකි. දැඩි කම්පනයකි. ඔවුන් පොත පත ඇසුරට, දක්වන්නේ මහත් මැ වූ උදාසීන බවෙකි. ඊට වගකිය යුත්තේ ඔවුන් පමණක් නොවේ. දෙමාපියන් මෙන් ම, ගුරුවර ගුරුවරියන් ද වගකිව යුත්තේ ය. කෙටියෙන් කියන්නේ නම්, සමස්ත අධ්‍යාපන ක්‍රමය ම වත්මන් පරපුරේ ඛේදවාචකයට, වගකිව යුතු බව මගේ මෙන් ම, රටේ පොදු මහත් ජනතාවගේ අදහස බව, කනගාටුවෙන් වුව සටහන් කරන්නට සිද්ධ වී ඇත.
අපේ හිත මිතුරු දිවංගත මහාචාර්ය බන්දුසේන ගුණසේකරයෝ වත්මන් තරුණ පරපුර හා ඔවුන් ගේ ඇති, සමහර කාරණා ගැන මා හා දිගු කතාබස් අඩුම තරමින් සතියකට දිනක් හෝ සාකච්ඡාවට බඳුන් කළහ. ඔහු ඉතා වේදනාබරිතව හුන්නේ, හෙළබසට මොවුන් නොදැනුවත් ව හෝ කරන්නා වූ හානිය ගැන යි. ඊට බොහෝ දේ ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා ද සෑහෙන තරමකට වගකිවයුතු බව යි ඔහු නිතර පැවසූ අනුවේදනීය කතාව.
ඒ ගැන සංවාද පිට සංවාද කොපමණ තිබුවත්, මදි පාඩු බව අපේ හැඟීම යි.
දරුවන් සතුව පවතින සැඟවුණු දස්කම් කොපමණ ද? ඒත් ඒවා හරියට උකහා ගෙන, ඔවුන් ගේ නිර්මාණශීලීත්වය තව තවත් ඔප මට්ටම් කිරීමට, අප කවුරු කවුරුත් යුහුසුලු විය යුත්තේ ය.
පසුගිය මාරාන්තික 'කෝවිඩ්' ඛේදවාචකය සමයේ, අපේ තරුණ පරපුර මොන තරම් නවතම නිර්මාණ රටට හඳුන්වා දුන්නෙහි ද? ඒත් ඒ සියල්ල මාධ්‍ය සංදර්ශන වූවා පමණක් නොවේ ද?. මොවුන් ගේ මේ හැකියාවන් රටේ අනාගත සංවර්ධනයට යොදා ගන්නට පියවර ගන්නේ නම්.....
දරුවන් කියවීමට, ලිවීමට වඩාත් නැඹුරු කරන්නට, නිසි රිසි වැඩ පිළිවෙළක අවශ්‍යතාවය, අන් කවරදාටත් වඩා වැඩියෙන් අද ඉස්මතුව පවතින බව පෙනේ. අප පැටි සංදියේ පටන් අසූව දසකය දක්වා පැවති, සාහිත්‍ය පිපාසය කෙතරම් ද? එවක කිසියම් ගද්‍ය හෝ පද්‍ය හෝ කෘතියක් මුද්‍රණ ද්වාරයෙන් එළිදැක් වූ විට ඒ නිර්මාණ මිල දී ගන්නට මොන තරම් උවමනාවක්, උනන්දුවක් පැවති යේ ද? එදවස පොත් දෙදාහක් මුද්‍රණය විණි නම්, සති කීපයකින් දෙවැනි තෙවැනි මුද්‍රණය දක්වා නිකුත් කරන්නට ප්‍රකාශකයින්ට සිදු විණි. ඒත් අද....?
අද පොත් දෙදාහ කෙසේ වෙතත්, පොත් ප්‍රකාශකයින් ඒ සංඛ්‍යාව අඩකට නොව පොත් පිටපත් දෙසිය පනහක් වත්, මුද්‍රණය කරන්නේ ද යන්න විමසා බැලිය යුතුව ඇති වඩා වැදගත් කාරණාවකි. කෙසේ වුව ද මෑතක පටන් දැන් දැන් තරුණ පරපුරෙහි, එක්තරා ප්‍රමාණයක් පොත් පත් කියවීමටත්, නිර්මාණකරණයේ යෙදෙන්නටත්, කිසියම් ආකාරයක නැඹුරුවක් දක්නට තිබේ. එය ඉතා අගයනේ ය. බෝ අගනේ ය. බොහොමත් ම අගනේ ය.
විශේෂයෙන් ම මුහුණු පොත හරහා ස්වකීය පිටුවෙහි කවි ලිවීමත්, නවකතා ලිවීමත් දක්නට ඇත. එමෙන් ම පොත් පත් කෙරෙහි ඇල්මක් දක්වන පිරිස් ගොනුවී Writers & Readers Community, Authors Wrters, Readers Corner, Readers Group හා තවත් සමාජ මාධ්‍ය සංවිධාන ගොඩනැඟී ඇති බව පෙනේ.
ඇත්තට ම එය කෙතරම් නම් සුබ ලකුණක් ද? සුබ ආරංචියක් ද??
නව පරපුර මෙසේ හෝ පාඨක සමාජ බිහිකර ගැනීම ඔස්සේ, ඔවුන් පොත් පත් ඇසුර ලබන්නට යොමුවීම, මට මෙන් ම ඔබට ද යහපත් රටක, දේශයක් වෙළා පැවති අඳුර දුරුවී, දෙසක්, බසක්, රැසක් ආලෝකමත් වීමට හේතු කාරණා විය නොහැක්කේ ද?
ඔවුන් බුහුටි අත් දුරකතනය හෙවත් ජංගම දුරකතන ඔස්සේ හෝ මෙසේ ඒකරාශිවීම අගනේ ය. ඒත් අර පොතක පතක තියෙන තීන්ත සුවඳ නම්, බුහුටි ජංගම දුරකතනයකින් ආග්‍රහණය කළ නොහැකි ය.
කෙසේ නමුත් මුහුණු පොතේ මෙවන් යහපත් දෑ වලට, ඇති ඉඩකඩ පැසසිය යුත්කකි. මුහුණු පොතේ ලියන ලද කවි හා කතා එකතු කොට, ඒවා මුද්‍රණද්වාරයෙන් සමාජගත කරන ලද පුවත් කීපයක් ද, අසන්නට ලැබීම හිතට ගෙන දුන්නේ අමුතු ආකාරයේ සංතුෂ්ටියකි.
එහි මා දක්වා ඇති අදහස මාස අටකට පසු සඵල වන බවට අගමැතිනිය අද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී ප්‍රකාශ කරද්දී එය දෙකනේ තවරා ගැනීමත් සමඟ දැනුණු සංතුෂ්ටිය නම් විස්තර කළ නොහැකි තරමි.
ඇගේ ඒ ප්‍රකාශයෙන් මා මෙන් ම සාහිත්‍යයට ලැදි සුවහසක් දනන් කුල්මත් වන්නට ඇති වග නිබොරුවක් ම ය. ගත්කරුවන්, සාහිතවේදීන්, පොත් ප්‍රකාශකයින්, මෙන් ම ඒ හා බැඳුණු තවත් කී නොකී පිරිස්වල හිත්හතන්වලට ආචාර්ය හරිණි අමරසූරිය මෙනෙවිය පිරිත් පැන් ඉසීමක් කළ බව කියනුම වටී.
අපි ඇය හමුවේ මේ රඟන්නේ 'කස්තිරම' කි. අඩවුවක් අල්ලන්නට අපිදු සැදී පැහැදි සිටින්නම් හ. ඒ්ත් මේ කස්තිරම අඩවුවකට පෙර රඟ මඬල සැකසීමක් බව අගමැතිවරියට පවසන්නේ ඇය අපේ රටේ අගමැතිවරියි පමණක් නොව ලක්ෂ සංඛ්‍යාත දූදරුවන් ගේ බාල පරපුරේ නැණ නුවණ පෑදීමේ වගකීම් කන්දරාව හිස මත තබා ගෙන සිටින බලවන්තිය එතුමිය බව සඳහන් කරමිනි.
''සාහිත්‍ය කන්නදැ' යි ඇසූ පාලකයකු හුන් රටේ සාහිත්‍යය නැංවිමෙහිලා ඇවැසි පොතපතට කුඩම්මාගේ සැලකිලි දක්වමින් හෙළ සාහිත කෙත වල්බිහිකරන්නට ඔහු ගේ ඊනියා පා සටහන් ඔස්සේ ම මේ වන තුරු රටකරවූ උත්තමයින් පියවර ගත්තේ පොතින් පතින් ඥානනය වූ සමාජයක් බිහිවීම ඒ පාලකයන්ට අසීරු වන බව ඔවුන් දත් නිසාවෙන් ද?
ඉදින් වත්මන් පරපුරේ මෙන් ම මතු පරපුරේ ද සුබසිද්ධිය දකිනු රිසි උගතුන්ගෙන් පිරුණු වත්මන් පාර්ලිමේන්තුවේ ඉදිරි ගමනට අගමැතිනිය දුන්නා වූ එන්නත ප්‍රශස්ථ මට්ටමේ එකකි.
ඒත්!
රට කරවූ ඇත්තන් මෙන් ම කරවන ඇත්තන් ද කප්පරක් ප්‍රකාශ හුදි ජනයා හමුවේ කරමින් ඔවුන් නිර්වින්දනය කරන්නේ නම් ඉදින් සබඳ.....!!????
එනිසා ම අපි බලා හිඳිමු. එළඹෙන අයවැයෙන් ශ්‍රී ලාංකේය සාහිත්‍ය කලාවට, මුද්‍රණ කර්මාන්තයේ උන්නතියට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාණන්ගේ භාණ්ඩාගාරයෙන් ඇවැසි කටයුත්ත ඒ ආකාරයෙන් ම සිදුවන දිහා. මන්ද ඔහු මල නොතලා රොන් උරණ බඹරිඳු විලසින් රට කරවන්නට ඇවැසි මුදල් උපයා සපයා ගැනීමේ දී වැට් සහනයෙන් හෝ කිසියම් සහනයක් සාහිත කෙත අස්වද්දන ගොවිරාලලාට සලසනා තුරු. මෙය අසුබවාදීව බැලිල්ලක් නොව සහ සුද්දෙන් ම මතු පරපුරේ උන්නතියට, සංවර්ධනයට ඇවැසි මානව සම්පතෙහි අධ්‍යාත්මය පෝෂණයවනු දකින රිසින් කරනා අකුරු කිරීමක් ම පමණි.
අගමැතිනිය විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විවෘත කරමින් පැවසූ වදන් ඇගේ නොවේ. ඇය සඳහන් කළේ එය ජනධිපතිවරයා විසින් ඇය හරහා ජනතාවට පවසන්නැයි කෙරුණු ඉල්ලීමක් බව යි. 

