උණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංගසතියේ සටහන

ගෝඨා අද හෙට ම CID?

ජගත් ගේ සතියේ සටහන - 121

සුරේෂ් සලේට කිසිම ආකාරයක විශේෂ වදහිංසා දී නෑ - කැබිනට් ප්‍රකාශක දොස්තර නලින්ද

දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කොට සිටින හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පසුගිය සතියේ රටේ ප්‍රධාන මාතෘකාවක් වූයේ ඔහු විසින් අරඹා ඇති උපවාසය  සහ ඔහුගේ සහායට විමල් වීරවංශ ඇතුළු විසින් කොටුවේ දුම්රිය පොළ ඉදිරිපිට පවත්වනු ලැබු සත්‍යග්‍රහය නිසයි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සේ සළකා අත්අඩංගුවට අත්අඩංගුවට ගනු ලැබු සලේ මේ වනවිට දින 110 ක පමණ කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කරන අතර ඔහුගේ බිරිඳ, පුතා හා සහෝදරයා චෝදනා කරන්නේ රැඳවුම්භාරයේ සිටිය දී ඔහුට අමානුෂික ලෙස සළකන බවයි.

මේ පිළිබඳව කැබිනට් ප්‍රකාශක ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ''රැඳවුම් නියෝග යටතේ සිටින කෙනෙක් හැටියට සුරේෂ් සලේට කිසිම ආකාරයක විශේෂ වද හිංසා පැමිණවීමක් සිදුකොට නැති බවත්, කිසිම අනීතික ක්‍රමයක් අනුගමනය කර නැති බවත්, ප්‍රකාශ කළා. සලේ පිළිබඳව කටයුතු කරන්නේ සාමාන්‍ය රැඳවුම් නියෝග ලබාගෙන රජය භාරයේ සිටින පුද්ගලයකු සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයට පමණක් බව ද ඇමතිවරයා කියා සිටියා.

සුරේෂ් සලේ විසින් අරඹා ඇති උපවාසය හා විමල්, ගම්මන්පිල ඇතුළු පිරිස ඇරඹු සත්‍යග්‍රහය පිළිබඳව ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ ද ප්‍රකාශ කළා.

''සුරේෂ් සලේ සම්බන්ධයෙන් මේ ඝෝෂාව වැඩිවුණ කාලය ගැනත් අපි අපි අවධානය යොමුකළ යුතු යි. සුරේෂ් සලේ අත්අඩංගුවට ගන්නෙ පසුගිය පෙබරවාරි 25 වැනිදා. ඔහුට දින 90 ක රැඳවුම් නියෝග නිකුත් කරන්නේ පෙබරවාරි 27 වැනිදා. ඒ දින 90 මැයි 27 වැනිදා අවසන් වුණා. මැයි 27 වැනිදා යළිත් දින 90 ක රැඳවුම් නියෝග ලබා ගන්නවා. මේ සියල්ල සිද්ධ වෙන්නෙ නියමිත පිළිවෙලකට. ඒ ගැන ප්‍රශ්න කරන්න බැහැ. ඒ වගේම පළමු දින 90 දී නොතිබුණු ඝෝෂාවක් දැන් ඇති කරන්න යම් යම් හේතු තිබෙනවා. මේවා හොඳට බැලුවොත් මොහු මෙපමණ කාලයක් රැඳවුම් නියෝග යටතේ ම යි සිටියේ. ඔය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තමයි හිටියේ. රැඳවුම් නියෝග යටතේ සිටින අනෙක් අයට වගේ ම තමයි ඔහුටත් සැළකීම් කළේ.

හැබැයි ජුනි 03 වනදා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හිටපු හමුදා බුද්ධි නිලධාරීන් තුන් දෙනකුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ගැනීමත් එක්ක මේ ඝෝෂාව වෙනත් මට්ටමකට ඇවිත් තියෙනවා. සුරේෂ් සලේ ඇතුළෙ හිටපු දින 90 ක කාලය තුළ නොතිබුණු කලබලයක්, ශබ්දයක් ගෝඨාභය ඇතුළු තිදෙනකුට විරුද්ධව විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමත් එක්ක ඇති කරල තියෙනවා. යම්කිසි කණ්ඩායමක් ඒ වෙනුවෙන් කටයුතු කරන බවක් පේනවා" යැයි ද ඇමතිවරයා කියා සිටියා.

එහෙත් සුරේෂ් සලේ මහතාගේ පැත්තෙන් මේ පිළිබඳව චෝදනා එල්ල කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න යන මහත්වරුන්ට යි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් අාඥාවක් නිකුත් කරන ලෙස සලේ මහතා විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති පෙත්සම පසුගිය 11 වැනිදා විභාගයට ගැනුණා.

ශානියි රවියි තොරතුරු ලැබී තිබියදීත් නිසි විමර්ශන සිදු කර නෑ - ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අබියාචනාධිකරණයේ දී

 මෙහිදී පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම වලට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී ඒ පිටුපස අන්තවාදී ත්‍රස්ත කල්ලියක දෘෂ්ටිවාදය පවතින බවට තොරතුරු හෙළිදරව් වී තිබියදීත් එවකට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ ශානි අබේසේකර මහතා ඒ පිළිබඳ නිසි විමර්ශන සිදුකොට නැතැ යි චෝදනා කළා.

2026 අප්‍රේල් 20 වැනිදා සිට 2019 අප්‍රේල් 30 දා දක්වා කාලසීමාවේ දී සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා 97 ක් පොලිස්පතිවරයා වෙත යොමු කර තිබු බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමක එම අන්තවාදී ක්‍රියා වලට සහය දක්වන පුද්ගලයින් 129  දෙනකුගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබු නමුත් මේ සම්බන්ධයෙන් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ එහි නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් නිසි විමර්ශන සිදුකොට නැති බව ද ජනාධිපති නීතිඥවරයා තවදුරටත් චෝදනා කළා.

සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කිතුනු දේවස්ථාන, සංචාරක හෝටල් හා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්,  පිහි ප්‍රහාරයක් හා ට්‍රක්රථ ප්‍රහාරයක් එල්ල කර කිරීමේ සූදානමක් ඇති බවට ඉන්දීය බුද්ධි අංශ විසින් 2019 අප්‍රේල් 4 වැනිදා මෙරට බලධාරීන්ට දැනුම් දී තිබු බවත්, එම ප්‍රහාරයට සහභාගි වීමට නියමිත් සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් ගේ නම් ගම් පවා එම තොරතුරු මඟින් හෙළිකර තිබු බවත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා.

එහෙත් මෙම ප්‍රහාරවලට සුරේෂ් සලේ සම්බන්ධ වී ඇති බවට කිසිදු පරීක්ෂණයකින් හෝ පරීක්ෂණ කොමිසමකින් ඉදිරිපත් කළ වාර්තාවලින් අනාවරණය වී නොමැති බව ද ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා තව දුරටත් කියා සිටියා.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත්කරන ලද හිටපු මහාධිකරණ විනිසුරු ජයනි ද අල්විස් කමිටුව විසින් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න යන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නිර්දේශ කර තිබු බවත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

එවැනි තත්වයක් තිබිය දී පසුගිය ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයේ දේශපාලන වේදිකාවල නැඟී ඡන්ද ප්‍රචාරක කටයුතු කළ ශානි අබේසේකර හා රවි සෙනෙවිරත්න යන දෙදෙනාට මේ ආණ්ඩුව යටතේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට භාරදීම දේශපාලන අංශවල දැඩි විවේචනයට ලක්වී තිබෙනවා.

පාස්කු ප්‍රහාරය ආණ්ඩුවට දෙකොන පත්තු වන විලක්කුවක්?

ඇමති බිමල් රත්නායක මහතා ප්‍රකාශ කොට තිබුණේ රවි සෙනෙවිරත්න හා ශානි අබේසේකර යන දෙදෙනාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු ලබා දී පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම බාරදුනේ කතෝගික සභාවේ ඉල්ලීම අනුව බවයි.

පාස්කු ප්‍රහාරය රාජපක්ෂලා පිටින් යැවීම සඳහා ආණ්ඩුව ශානිලා මඟින් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන කටයුතු කරන නමුත් එයින් ආණ්ඩුව පඹ ගාලක පැටලී සිටින බව පෙනෙන්නේ යැයි දේශපාලන විචාරකයින් පවසනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳව ශානිලා ඉදිරිපත් කරන කරුණු අධිකරණයක් ඉදිරියේ ඔප්පු කිරීමට තරම් සාධක නොමැති බැවින් මේ සම්බන්ධ නඩු විභායක දී එම කරුණු ඔප්පු කිරීම මහත් අභියෝගයක් වනු ඇති බව පවසන නීතිවේදීන් පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාර සිද්ධිය ආණ්ඩුවට දෙකොන පත්තු වන විලක්කුවක් වී ඇති බව යි.

ගෝඨා අද හෙට ම CID?

මේ අතර පාස්ක්‍ර ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු විශ්‍රාමික පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ප්‍රකාශයක් මඟින් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වලදී තමා වෙත එල්ල වුණු බලපෑම් ගැන සටහන් සහිතව කරුණු දක්වා ඇති බව දැනගන්නට තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අද හෙට ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වලින් වාර්තා වෙනවා.

යූඇන්පියේ 80 වන සංවත්සරය සැප්තැම්රයේ

හදවත් සැත්කමකින් පසු දීර්ඝ විවේකයක් ගත කළ හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ මල්පාරේ පිහිටි කාර්යාලයට පැමිණදේශපාලන කටයුතු ආරම්භ කළා.

ඔහුගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව සැළකිලිමත් වූ පක්ෂයේ ප්‍රධානීන් එහි පැමිණි සියලු දෙනාට ම මුව ආවරණ ලබාදීම විශේෂයක් වුණා.

දැන් මගේ කඳත් ශක්තිමත් - රනිල්

 එදින සවස එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණේ ද රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ලබන සැප්තැම්බර් මාසයට යෙදි ඇති එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා. එසේම පක්ෂය ප්‍රතිසංවිධානය කොට ආයතන මට්ටමින් සංවිධාන කටයුතු ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බවයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ.

මෙම රැස්වීමෙන් පසු මාධ්‍යවේදීන් රාජිත සේනාරත්න මහතාගෙන් විමසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ළඟදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වෙනවා ද යන්න යි. එයට පිළිතරු දුන් රාජිත සේනාරත්න මහතා ''නායක තුමාට මේ වෙලාවේ පාර්ලිමේන්තු ඇවිත් කරන්න දෙයක් නැහැ. එතුමාට ජනාධිපති වශයෙන් රට භාරදීමට යි කටයුතු කළ යුත්තේ" යනුවෙන්.

පසුගියදා පක්ෂයේ උප සභාපතිවරයකු වන නවීන් දිසානායක මහතා සජිත් ගේ කඳට රනිල්ගේ හිස සවිකොට රට ඉදිරියට ගෙන යා යුතු යැයි කළ ප්‍රකාශය ගැන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ''දැන් මගේ කඳත් ශක්තිමත්" බව යි. ශල්‍යකර්මයෙන් පසු නායකතුමා දැන් අවුරුදු 10 කින් තරුණ වී ඇති බව මෙහිදී හරීන් ෆ්‍රනාන්දු මහතා මාධ්‍යවේදීන් සමඟ ප්‍රකාශ කළා.

  - ජගත් -