ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවේ පසුවූ ශානිගෙන් අපක්ෂපාති පරීක්ෂණයක් වෙන්නේ නෑ
2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවෙන් හෙළි වූ තොරතුරු මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ තබාගැනීම වළකා ලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පිරිසක් නම් කොට ඇත.
තමන් ශ්‍රී ලංකාවෙන් පිටවීම වළකා ලන නියෝගයක් කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කොට ඇති බවට ජනමාධ්‍ය මඟින් තොරතුරු දැනගන්නට ලැබී ඇති බවත්, මේ තත්වය තුළ චැනල් 4 නාලිකාවෙන් හෙළිවූ තොරතුරු මත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන මොහොතක හෝ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ අවදානමක් පවතින බවත් එම පෙත්සමේ දැක්වේ.
රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා තමන් ජනාධිපතිවරයා වශයෙන් සිටිය දී ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අයකු බවත් සඳහන් කරන පෙත්සම්කරු මෙම තත්වය යටතේ ඔහුගෙන් සාධාරණයක් සහ අපක්ෂපාති පරීක්ෂණයක් බලාපොරොත්තු විය නොහැකි බව කියා ඇත.
එමෙන්ම කිසිදු ආකාරයකින් තමන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැති බැවින් තමා අත්අඩංගුවට ගැනීමට යාම නීතිවිරෝධී බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමෙහි සඳහන් කර තිබේ.

