උණුසුම් පුවත්

ජේ. .ආර්. ‌‌ගේ මුනුබුරෙක් සජිත් එක්ක

බැඳුම්කර වංචාවටත් එහා ගිය පාඩුවක් වීසා ගැටලුව නිසා ඇතිවේවිද? සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි

බැඳුම්කර වංචාවටත් එහා ගිය පාඩුවක් වීසා ගැටලුව නිසා ඇතිවේවිද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි

අප රටේ වීසා නිකුත් කරන වැඩසටහනක් තිබුණත් එය වෙනස් කිරීම තුළ වෙනමම ඩොලර් 18.50ක් අය කර ඉන් ආදායමක් විදේශීය සමාගම්වලට යන බවත් මේ නිසා අප රටට විශාල ඩොලර් ප්‍රමාණයක් අහිමි වන බවත් මෙවැනි වෙනසක් සිදු කිරීමේ පදනම සහ අරමුණ කවරේද කියා ප්‍රශ්න කර සිටින බවත් කියා විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව මෙවැනි තීන්දු තීරණ ගත යුත්තේ දත්ත කේන්ද්‍රීයව විද්‍යාත්මක පසුබිමක බවත් ඒ තුළින් රටට වාසියක් සිදුවිය යුතු බවත් ලැබෙන වාසිය අවාසිය ගැන විශ්ලේෂණයක් සිදුවිය යුතු බවත් මෙය බැදුම්කර වංචාවටත් වඩා බරපතල මුදල් වංචාවක් බවට විවිධ කටකතා යන බැවින් මේ සම්බන්ධයෙන් රටට සත්‍ය දැන ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 177 වැනි අදියර යටතේ අද බියගම බොල්ලෑගල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ පුස්ථකාලයට අවශ්‍ය ඉංග්‍රීසි ග්‍රන්ථ ලබා ගැනීමට පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

මේ අවස්ථාවේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ මුනුබුරකු වන ප්‍රදීප් ජයවර්ධන මහතා ද මේ අවස්ථාවට එක්විය.

කතා කරන විවාදවලට මෙන්ම ක්‍රියාවෙන් කරන විවාදවලටත් මම සූදානම්

රටේ පාලකයා යනු තාවකාලික බාරකරුවෙකු බවත් තවදුරටත් අමනෝඥ ප්‍රතිපත්තිවලින් ඈත් වී සත්‍ය අවබෝධ කර ගත යුතු බවත් කවුරු හොඳ දේ කළත් එයට හොඳ යැයි පැවසිය යුතු බවත් විරුද්ධ පාර්ශ්වය හෝ කවුරුන් හෝ රටට සෙතක් සලසනවා නම් එයට ප්‍රශංසා කළ යුතු බවත් තමා කතා කරන විවාදවලට මෙන්ම ක්‍රියාවෙන් කරන විවාදයට ද සූදානම් බවත් රටට අවශ්‍ය වැඩ, විසඳුම්, උත්තර හා වැඩපිළිවෙළ ගැන රටේ ජනතාව අපේක්ෂාවෙන් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව, නායකයන් ඕනෑම අවස්ථාවක විවාදයකට සූදානම් බවත් ඊට අමතරව තුන්වැනි විවාදය ලෙස කතාවෙන් පමණක් නොව වැඩ කරන විවාදයකටම තමා සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අමද්‍යයප මම මත්පැන් බෙදන්නේ නැහැ

තමා අමද්‍යයප ප්‍රතිපත්තිය අනුගමනය කරන කෙනෙකු ලෙස මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි බෙදන්නේ නැති බවත් තමාගේ මේ බෙදිල්ලට අපහාස කරන්නේ තමා ඇත්ත කතා කරන නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලෝකෙන්ම අසාර්ථක වූ මාක්ස්වාදයට අපේ රටේ අත්පොඩි ගහනවා

පවතින තත්ත්වයෙන් රට ගොඩ ගෙන නැවත බංකොලොත් වීම වළක්වා ගැනීම සඳහා වන ක්‍රමෝපායන් ගැන කිසිවෙක් කතා නොකරන බවත් ඔවුන් කතා කරන්නේ ජනප්‍රිය සටන් පාඨ නිසා ඒවාට අත්පොඩි ලැබෙන බවත් ලෝකය පුරාම අසාර්ථක වූ කොමියුනිස්ට්වාදී මාක්ස්වාදී අදහස් දරන පුද්ගලයන් විසින් විජාතික දේශද්‍රෝහීන් යැයි පැවසුවොත් ඕනෑ තරම් අත්පුඩි ගහන්න පුද්ගලයන් සිටින බවත් එවැනි දේවල් කියන අන්ත සමාජවාදීන්ගේ දරුවන් පවා යන්නේ මුදල් ගෙවන පෞද්ගලික පාසල්වලට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමාජවාදීන්ගේ දරුවන්ට කැප රජයේ පාසල්වල දරුවන්ට අකැප නූතන අධ්‍යාපනය

අධ්‍යාපනයේ විප්ලවයක් කරන්න හදන විට කාඩ්බෝඩ් සමාජවාදීන් මහපාරට බැස උද්ඝෝෂණය කළ හැකි බවත් ඔවුන්ගේ දරුවන්ට නවීන නූතන අධ්‍යාපනය කැප වූවට රජයේ පාසල් 10126 දරුවන් 41 ලක්ෂයට ඒවා අකැප බවත් මෙසේ පාරට බස්සවන අයට පුරුදු ගොඩනැගීම නොව විනාශ කිරිම බවත් ඉදිකිරීම නොව ගිණි තැබීම බවත් ඒවාට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

තමා කිසිදු අවස්ථාවක රජයේ පාසල් පෞද්ගලීකරණය කිරිමක් සිදු නොකරන බවත් එවැනි වැරදි අර්ථකථන සිදු කරමින් මනස විකෘති කළ හැකි නිසා ඒවාට නොරැවටෙන ලෙසත් නිදහස් අධ්‍යාපනය පණ මෙන් සුරකින බවත් කිසිදු අවස්ථාවක එය විනාශ නොවීමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මහරජාණන්ට නොව පුරවැසියන්ට දීර්ඝායුවේවා

තමා 2019 ජනාධිපතිවරණ සමයේ කාන්තා සනීපාරක්ෂාව ගැන කතා කළ අවස්ථාවේ එය අවතක්සේරුවට ලක් කර උපහාසයට ලක් කර අපහාස සිදු කළත් තමා ඉන් නොසැලී දිගින් දිගටම ඒ පිළිබඳ අවධාරණය කළ බවත් අවසානයේ රජය එම පහසුකම් නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරා ගත් පාසල් දැරියන්ට මැතිවරණ වසරේ ලබා දීමට තීරණය කළ බවත් තමා මේ මාතෘකාව ගැන දිගින් දිගටම කතා කළේ නීරෝගිමත් කාන්තා පරපුරක් වෙනුවෙන් වුවත් ජනතාවට දීර්ඝායු වේවා නොව මහ රාජාණන්ට දීර්ඝායුවේවා කියා ඒ සංකල්ප අවතක්සේරු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 177ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1949ක් වැය කර තිබේ.