උණුසුම් පුවත්

ජනතාවගේ ණයබර 35% කින් ඉහළට

ශ්‍රී ලංකාවේ ජනතාව පෞද්ගලික හා පරිභෝජනයට අදාළ විවිධ ආයතනවලින් ණය ගැනීම ඉකුත් අවුරුදු දෙක තුළ 35% කින් පමණ තියුණු ලෙස ඉහළ ගොස් ඇතැ යි පේරාදෙණිය විශ්ව විද්‍යාලය සිකු කළ පර්යේෂණයකින් අනාවරණය කරගෙන ඇත.

මෙම සමීක්ෂණයට අනුව 2024 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ ජනතාවගේ පෞද්ගලික ණය රුපියල් කෝටි 1, 81, 500 ක් ව පැවති අතර එය මේ අවුරුද්දේ මාර්තු මාසය වන විට රුපියල් කෝටි 2, 45, 000 දක්වා රුපියල් කෝටි 63500 කින් ඉහළ යෑමකි.

මෙම සමීක්ෂණය පවත්වා ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකාවේ ජනතාව ආර්ථික පීඩනය මධ්‍යයේ එදිනෙදා වියදම් පිරිමසා ගැනීම සහ පෞද්ගලික අවශ්‍යතා උදෙසා ක්‍රෙඩිට් කාර්ඩ් පත් මත විශ්වාසය තැබීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ද එම සමීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇත.

වාහන, ශීතකරණ, රූපවාහිනී යන්ත්‍ර වැනි කල් පවත්නා භාණ්ඩ මිලදී ගැනීමට ශ්‍රී ලංකාවේ ජනතාව 2024 අවුරුද්දේ දී රුපියල් කෝටි 4000 ක පමණ ණය ලබාගෙන ඇති අතර එම මුදල මේ අවුරුද්දේ මාර්තු මස වනවිට රුපියල් කෝටි 12300 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද වාර්තාවේ දැක්වේ.

ක්‍රෙඩිට් කාඩ් පත් මගින් වියදම් කිරීම ද 2024 දෙසැම්බර් මාසයේ දී රුපියල් කෝටි 16800 ක් වී තිබු අතර පසුගිය මාර්තු මාසය වන විට එම කාඩ්පත් වියදම 19700 දක්වා ඉහළ ගොස් ඇතැ යි ද එම පර්යේෂණ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් ය.

මේ අතර ශ්‍රී ලංකාවේ සියලුම වානිජ බැංකු ජූලි මස 1 වැනිදා සිට ක්‍රෙඩිට් කාර්ඩ් සඳහා අය කරන පොලිය 3% කින් ඉහළ නංවා ඇත.