ආරක්ෂකඋණුසුම් පුවත්කාලීනතාක්ෂණය

ව්‍යාජ ඇමරිකානු ඩොලර් නෝට්ටු ජාවාරමක් පොලිසිය අල්ලා ගනී

කලෙක සිට කරගෙන ආ ජාවාරමට කාන්තාවක් කොටුවෙලා

ඇමරිකානු ඩොලර් 7 ලක්ෂයක් වටිනා ව්‍යාජ ඩොලර් 100 නොට්ටු මිටි (බණ්ඩල්) 63 ක් සමඟ ශ්‍රී ලාංකේය කාන්තාවක් පසුගිය සඳුදා කෙටිකාවත්ත ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ කාලයක් තිස්සේ විදේශීකයින් ද සහාය ඇතිව සිදුකර ගෙන ගිය හොර ඩොලර් නෝට්ටු ජාවාරමක සුළමුල හෙළිකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද හොර ඩොලර් නෝට්ටුවල රුපියල් වටිනාකම රුපියල් විසිඑක් කෝටි දසලක්ෂයක් බව පොලිසිය පවසයි.

මෙම හොර ඩොලර් නොට්ටු තොගය පකිස්ථානු ජාතිකයකු විසින් තමන්ට ලබාදුන් බව එම කාන්තාව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 342 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ව්‍යාපාරිකයෝ කළුකඩ වෙළඳ පොළෙන් වැඩි මිලට ඩොලර් මිලදී ගැනීමට පෙළඹ සිටිති.

එවැනි පුද්ගලයින්ට මේ කාන්තාව ව්‍යාජ ඇමරිකානු ඩොලරයක් රුපියල් 284 කට විකුණා ඇති බව ද පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇත.

පිටරටින් මුද්‍රණය කොට ශ්‍රී ලංකාවට හොරෙන් ගෙන එන මෙම ව්‍යාජ ඩොලර් සාමාන්‍ය ඩොලරයේ මිලට වඩා අඩුවෙන් විකිණීමේ මෙම ජාවාරම මොවුන් කලක සිට කරගෙන ගොස් ඇති බව ද පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

මෙම ව්‍යාජ ඩොලර් අලෙවි කිරීමේ ජාවාරම ගැන කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ද අවධානය යොමුවී ඇති බව ද වාර්තා වේ.