ජගත් ගේ සතියේ සටහන - 141

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් ඇමතිවයා වශයෙන් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ තුන්වැනි අයවැය පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
අයවැය ඉදිරිපත් කිරීමට පෙර ජනතාව තුළ අයවැය ගැන දැඩි උනන්දුවක් පෙනෙන්නට තිබුණේ නැහැ. ජනමාධ්‍යවලින් ද අයවැයට එතරම් ප්‍රචාරයක් නොලැබුණ නිසා බොහෝ දෙනා තුළ අයවැය ගැන තිබුණේ ඇල්මැරුණු සිතිවිලි.
එහෙත් පසුගිය 12 වැනිදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ඒ ගැන විශාල කතාබහක් ඇතිවුණා. රජයේ සේවකයින්ට වැටුප් හා දීඹනා වැඩි කරන බව ප්‍රකාශවීම නිසා ඔවුන්ගෙන් බොහෝ දෙනා අයවැය ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කළා.
එහෙත් මොනවා දී තිබුණත් සතුටු නොවන වෘත්තීය සමිති නොවැම්බර් 13 වැනිදා සිට ම අයවැයේ දොස් දකිමින් දැඩි ලෙස විරෝධය පළ කිරීමට පටන්ගෙන තිබෙනවා.

ගුරු සංගම්, විදුහල්පති සංගම්, සංවර්ධන නිලධාරීන්ගේ සංගම්, ඉංජිනේරු සංගම්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, පෙර පාසල් ගුරුවරුන්, විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සංගම් ආදි වෘත්තීය සමිති රැසක් මේ මස 23 වැනිදා සහ 30 වැනිදා සංකේත වැඩ වර්ජන පැවැත්වීමට තීරණය කොට ඇති බව ද වාර්තාවෙනවා.
මෙවර අයවැයෙන් රජයේ වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනා විශාල වශයෙන් ඉහළ දමා තිබෙනවා. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැන් ඉල්ලා සිටින්නේ රජයේ වෛද්‍යවරුන්ට තීරු බදු රහිත වාහන ලබා දෙන ලෙසත් ඩැට් දීමනාවෙන් හා අමතර සේවා වලින් උපයා ගන්නා ආදායමෙන් බදු අයකර නොකරන ලෙසත් ය.
අයවැයෙන් තම තමන්ට සහන නොලැබුණු බව පවසමින් සංවර්ධන නිලධාරීන්, ඉංජිනේරුවරුන් හා රජයේ පශු වෛද්‍යවරුන් පසුගිය සතියේ සංකේත වර්ජනයක් ද පැවැත්වූවා.
එහෙත් අයවැයෙන් සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වුණේ දරාගත නොහැකි ජීවන වියදමට ඔරොත්තු දෙන පරිදි බඩු මිලේ අඩුවීමක්. එහෙත් ඔවුන්ට ලැබුණේ උම්බලකඩ සමඟ වියළි හාල්මැස්සන් සඳහා පනවා තිබු බදු අඩුකිරීමක් පමණයි.
තිරිඟු පිටි මිල ඉහළ දැමීම නිසා පාන් ගෙඩියේ මිලත්, කිරිපිටි හා පරිප්පු ආදි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගණනාවක මිලත් වැඩි කෙරුණේ අයවැයට සති කිහිපයකට පෙර සිටයි.
ඒ අතර අයවැය ඉදිරිපත් කළ දිනට පසුදින ලාෆ් ගෑස් කිලෝ 12. 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1775 කින් ඉහළ දැමුණේ අයවැයට ඔච්චම් කරමින්.
අයවැයෙන් සාමාන්‍ය ජනතාවට සහන නොලැබීම ගැන ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් මහත් කණස්සල්ලකින්. ජනපති හමුවේ කරුණු කියලා
ඉහළ ගිය බඩු මිල හා ජීවන වියදම වැඩි වීමට එරෙහිව වෘත්තීය සමිති සංකේත වර්ජන සිදුකළත් සාමාන්‍ය ජනතාවට සිදුවුණේ රූපවාහිනී නාලිකාවලට වෙයිෂ් කට් දෙමින් විරෝධය පෑමට පමණයි.
එහෙත් අයවැය ගැන ආණ්ඩුව පවසන්නේ මෙවර අයවැයෙන් මහා මාර්ග සංවර්ධනය, අධිවේගී මාර්ග දීර්ඝ කිරීමට, වැව් ප්‍රතිසංස්කරණයට, ප්‍රවාහනය දියුණු කිරීමට විශාල ලෙස මුදල් වෙන්කොට ඇති බවයි.
කෙසේ වුවද අයවැයෙන් වැටුප් වැඩි නොවූ රාජ්‍ය නිලධාරීන්ට හා වෘත්තීය සමිතිවලට දැන් ආණ්ඩුව පවසන්නේ ඉදිරියේ දී ඒ ගැන කටයුතු කරනා බවයි.
අයවැයෙන් සාමාන්‍ය ජනතාවට සහන නොලැබීම ගැන ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් සිටින්නේ ද මහත් කණස්සල්ලෙන්. මේ ගැන අයවැයෙන් පසු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී මේ ගැන විමසා තිබෙනවා.
''අයවැය හදන කොට තිබෙන ලොකුම වැය තමයි රාජ්‍ය සේවක වැටුප් සහ දීමනා. අපි ආණ්ඩුව ගත්තට පස්සෙ වැටුප් වැඩි කළා. ඒකට රුපියල් බිලියන 330 ක් වැය වෙනවා. මේක අයවැයට දරා ගන්න අමාරු වුණත් එය රාජ්‍ය සේවකයින්ට ලබා දුන් පොරොන්දුවක්. මෙවර අයවැයෙන් අපි යෝජනා කළ අමතර දීමනා සඳහා තවත් රුපියල් මිලියන 82000 ක් වැය වෙනවා. අපි මේ දීමනා වැඩි කළේ ඒවා වැඩි නොකළොත් රාජ්‍ය සේවය පවත්වා ගෙන යන්න අමාරු වන නිසයි. අලුතෙන් මතුවී ඇති තත්වය නිසා ඉංජිනේරුවන් තාක්ෂණික නිලධාරීන් වැන්නන් පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ ලේකම් සමඟ මේ දිනවල සාකච්ඡා කරගෙන යනවා. එයින් අපට සුබදායී තීන්දුවක් ගන්න පුළුවන් වේවි" යැයි ජනාධිපතිවරයා ඔවුන්ට පැවසූ බවයි වාර්තා වෙන්නේ.
ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ සෙසු රාජ්‍ය සේවකයින් ගේ වැටුප් ප්‍රශ්න, වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව මඟින් ලබාදෙන නිර්දේශ අනුව විසඳීමට යි.
මේ අතර වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳගැටලු සම්බන්ධයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් හා වෘත්තීය සමිතිවලින් පැමිණිලි 25000 ක් පමණ ලැබී ඇතැ යි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පලාත් පාලන ඇමති මහාචාර්ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසනවා.
ක්ෂේත්‍ර රාශියක වැටුප් හා විශ්‍රාම වැටුප් විෂමතා පිළිබඳව කොමිසමට ලැබී ඇති බවත් කොමිසමේ විසඳුම් ඇතුළත් අතුරු වාර්තාවක් දෙසැම්බර් හා ජනවාරි අතර රජයට බාරදීමට නියමිත බවත් අබේරත්න මහතා සඳහන් කළා.
රාජ්‍ය සේවයේ බොහේ ගැටලු වැටුප් කොමිසම මඟින් විසඳාගත හැකි බව පැවසූ ඇමතිවරයා සියලු වෘත්තීය සමිතිවලට සිය ප්‍රශ්න දෙසැම්බර් 31 කට පෙර ඉදිරිපත් කළ හැකි බව ද කියා සිටියා.
මෙම වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කරන්නේ හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන අශෝක පිරීස් මහතා යි.
රජයේ නිලධාරීන්ට වැටුප් වැඩිවීම් දීමනා ඉහළ දැමීම ආදිය මඟින් නොයෙක් පහසුකම් සැපයුවද ඔවුන්ගෙන් ආණ්ඩුව අපේක්ෂා කරන සේවය ඉටුවෙනවා ද යන්න ප්‍රශ්නයක් බව දේශපාලන විචාරකයින් පවසනවා.
ගිය වසරේ අයවැයෙන් වෙන්කළ බිලියන 1380 න් වැඩ අරන් ඇත්තේ 30% වුණේ මන්ද?
රජයේ නිලධාරීන් ගේ අකර්මණ්‍යවීමට හේතු?
පසුගිය වසරේ අයවැයෙන් රටේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 1380 ක් වෙන් කළ නමුත් ඉන් වැයකොට තිබෙන්නේ රුපියල් බිලියන 388 ක්. එය වෙන්කළ මුදලින් 30% ක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.
ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීමේ දී නිලධාරීන් දක්වන උදාසීන බව හා ඔවුන් ඍජු තීරණ ගැනීමට බියවීම මෙයට ප්‍රධාන හේතුන් බව ද එම දේශපාලන විචාරකයින් තව දුරටත් පෙන්වා දෙනවා.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ දී රජයේ නිලධාරීන්ට මුදල් රෙගුලාසිවලට පිටින් ගොස් තනි තීරණගෙන කටයුතු කිරීමටඅවස්ථාව ලැබී තිබුණා. මහාමාර්ග, අදිවේගී මාර්ග, වාරිමාර්ග සංවර්ධන කටයුතු එකල වේගයෙන් සිදුවීමට එය ප්‍රධාන හේතුවක් වී තිබුණා. මෙම කටයුතුවල දී නිලධාරීන්ට ද විශාල වාසි සැලසුණු බව ප්‍රකට කරුණක්.
එහෙත් වර්තමාන ආණ්ඩුව දූෂණයට එරෙහිව හොරුන් ඇල්ලීමට යාම නිසා බොහෝ නිලධාරීන් ලිපි ගොනුවක් පවා අත්සන් කිරීමට පස්ස ගසන බවත්, තමන්ට ද හිරේ යාමට සිදුවේ ය යන බිය නිසා ඔවුන් අකර්මණ්‍ය වී ඇති බවත් පවසනවා.
මේ තත්වය යටතේ රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ බිය නැති කොට විශාල ප්‍රතිසංස්කරණයන් සිදුකළ යුතු බවයි ආර්ථික විශලේෂකයින් පවසන්නේ.
ආණ්ඩුව ද රාජ්‍ය සේවයේ පවතින මෙම තත්වය නොදැන සිටිනවා නොවෙයි. ''අපට ආණ්ඩු බලය ලැබුණට රාජ්‍ය බලය ලැබුණෙ නැහැ"යැයි කේ. ඩී. ලාල්කාන්ත වැනි ඇමතිවරුපසුගිය දිනවල ප්‍රසිද්ධ රැස්වීම්වල දී ප්‍රකාශ කළේ මේ තත්වය ඔවුන් දන්නා නිසා බව ද ඔවුන් කියා සිටියා.
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆


(ඉහළ ම ඡායාරූපය වසර කිහිපයකට පෙර සිළුමිණ හිටපු කතුවර දෙටු පුවත්පත් කලාවේ දී තිලකරත්ත කුරුවිට බණ්ඩාර මහතා ප්‍රමුඛ කතු මණ්ඩලයේ දසුනක්)



