ඉතිහාසයඋණුසුම් පුවත්කාලීනවිශේෂාංගසංස්කෘතිකසාහිත්‍යය හා කලාව

ජිනපාල ෙග් කතන්දරය, හිනිදුම කොල්ලා, පනංගල අයියා ගැන කී වැවදෙණියේ ඇල්. ඩී. මැන්දිස්

වැවදෙණියේ ප්‍රාඥයා ගේ සාහිත මෙහෙයට ඔහු ගේ 57 වැනි ගුණ සැමරුමේ දී හෙට (20) ගරුබුහුමන් පිදෙන වගයි

''ගම්බද සමාජය සතු සිතුම් පැතුම් ද, කියුම් කෙරුම් ද අද බොහෝ දෙනා ගේ විමසිල්ල පිළිබඳ සංකේතයක් වී ඇත."
''ගම්බඳ සමාජය සතු අංග කීපයක් පොත ලිවීමේ දී වස්තු බීජය වූයේ ය. හුදෙක් ගැමි සමාජයට ද්වේෂ සහගත ව බැණ වැදීමට මට ඕනෑකමක් නැත. එහි ඇති සුන්දර දෙය පමණක් බලා එයින් ආස්වාදයක් ලබන්නටත් මට උවමනාවක් නැත."
''ගැමියකුව ඉපිද, ගැමියන් අතර ම හැදුණුවැඩුණු මට, මෙතෙක් ඇසුණු දෙය ද, පෙනුණු දෙය ද, වස්තු විකාශනයේ දී බෙහෙවින් වැඩදායක විය. චරිත නිරූපණයත්, භාෂා විලාසයත් මා ආටෝප නෙකළේ එබැවිණි."

යනුවෙන් වැවදෙණියේ ඇල්. ඩී. මැන්දිස් නම් අපේ අග්‍රගන්‍ය ප්‍රාඥායා සිය ‘අවිචාරය’ නමැති නවකතාවේ සංඥාපනයේ දක්වා ඇත. ඒ 1961 දී ය. ඒ අදින් හවුරුදු හැටපහකට උඩදී ය.
ඔහු විසින් 1961 වසරේ දී ලියන ලද ‘අපේ වගතුඟ හි සංඥාපනයේ මෙසේ සිය අදහස් බහා ඇත.

“මගේ ජීවිතය පිළිබඳ සිද්ධීන් කීපයක් දිග ලිපියක් පරිද්දෙන් සකස් කළ යුතු යැයි මා තුළ ඇති වූ හැඟීමෙහි ප්‍රතිඵලයක් වශයෙන් මේ පොත ලියැවිණි.

ජීවිතයේ මට මුණගැසී ඇති අමුත්තන් කීප දෙනකුගේ වගතුග මෙහි එයි. ඒ චරිත කිසිවක් කාල්පනික ගණයට අයත් වන්නේ නැත.

කල්පිත සිද්ධින්ට සැබෑ සිද්ධීන්ගේ, ස්වරූපය ආරෝපණය කොට, පාඨකයාගේ තාවකාලික විශ්වාසය දිනා ගැනීම මේ පොතේ පරමාර්ථය නොවන්නේ ය.

මෙහි හැම විස්තරයක් ම කෙරෙන්නේ මා දැකපු අන්දමට ය.

සුළු සිද්ධියක් වස්තු බීජය කොට ගෙන, පාඨකයාගේ කුතුහලය වැඩෙන පරිදි ගතානුගතික සම්ප්‍රදාය ඔස්සේ දිග හැරෙන කථා ශරීරයකුත් මෙහි නැති බව ද කියයුතුය. යනුවෙන් ඔහු සඳහන් කරයි.
ඔහු තවත් දෙවසරකට පසු (1963) පාඨකයින් අතට පත් කරන ‘දොළේ ගෙදර’ නවකතාවේ සංඥාපනයෙහි මෙසේ සිය අදහස් දක්වයි.

“නව කතාවකින් මනැස විග්‍රහ නො වෙතොත් එයින් වැඩක් නැතැ යි අපේ බහුශ්‍රතයේ කියති. එක එක චරිතයට අයත් මනැස් විග්‍රහ විය යුත්තේ සිද්ධි විකාශනයෙන් බව තවත් කෙනෙක් කියති.
මේ පොත ලිවීමේ දී අනුන්ගේ මනැස් විග්‍රහ කෙරුමට මට ඕනෑකමක් නො තිබිණි. මගේ මනැස පමණක් මම විග්‍රහ කරමි”

වැවදෙණියේ ඇල්. ඩී. මැන්දිස් යනු අපේ ගමෙන්, අපේ පළාතට, රටට බිහිවූ අග්‍රගන්‍ය ප්‍රාඥයෙකි. කවියෙකි. කෙටිකතා කරුවෙකි. නවකතා කරුවෙකි. පරිවර්තකයෙකි. පුවත්පත් කලාවේදියෙකි. ගවේෂකයෙකි. විමර්ශකයෙකි. හෙළ බසින් මෙන් ම ඉංග්‍රීසි බසින් ද වැඩ ගත්තෙකි. හසළ දැනුමැත්තෙකි. අපූර්වත්වයෙන් සිය නිර්මාණ රටට දායාද කළ වියතෙකි. පරිපූර්ණත්වයෙන් සරසවි දේවියගෙන් බෝ ආශිර්වාද ලද ඇගේ පුත්‍රයෙකි.

ලේඛකයෙක්, කවියෙක්. කෙටිකතා කරුවෙක්. නවකතා කරුවෙක්. මේ ආදී වශයෙන් ඔහු ගැන විස්තර කරද්දී, ඇල්. ඩී. මැන්දිස් ඉතා ඉහළ කුසලතාවන්ගෙන් සපිරි ගුණගරුක මිනිහෙක් බව සඳහන් නො කර ම බැරි ය.. ඔහු විසින් ලාංකේය සුවහසක් පාඨක දනන් වෙත තිළිණ කරන ලද නිර්මාණ බොහෝ ගණනකි. ගණනින් හරියට ම කියනවා නම් ග්‍රන්ථ පනහකි.
සුරතල්ලු (1961) ලියමින් හෙළ සාහිත කෙත අස්වැද්දීමට, සාහිත කෙතට නමෝවිත්තියෙන් පිවිසි වැවදෙණියේ ඇල්. ඩී. මැන්දිස් නම් ඔහු ‘අපේ වගතුඟ (1961) අවිචාරය (1961), දොළේ ගෙදර (1963) ජිනපාලගේ කතන්දරේ, මංජුලා, නස්පැත්තිය (1967), හිච්චි බබා (1962) උපාධිය (1966), සිරි කාලකණ්ණි, හිනිදුම කොල්ලා, ආදී නවකතා හා කෙටිකතා ද, ලංකා ලෝක ඉතිහාස සාරය, එළු අත්තනගලු වංශ, හංස සන්දේශ හා දෛවයෝග විචාර ග්‍රන්ථ ද, නිදහස් ලංකා හා ‘පෙර මග‘ පi සංග්‍රහ ද්වීත්වයත්, ‘බටහිර පිම්ම’ නම් පරිවර්තන කෘතියත් ඔස්සේ, හෙළයේ පාඨකයින් රස සයුරේ ගිල්වන ආකාරය, ඔහුගේ නිර්මාණ පරිහරණය කරන විට අපූරුවට පෙනේ.
ඔහු සතු දැනුම පෘථුල ය.

Full Notes on the Poets Way (Stage -) A Guide to A Tale of Two Cities, Essentials of the Plate of Gold, English Prose Selections Simplified, Questions & Model Answers - Tale of Two Cities, Questions & Model Answers - Plate of Gold - Questions & Model Answers - Prose Selections, Aids to the Study of Madame Curie, Essentials in English  Language, Critcism in Practice

හේ තමන් උකහා ගත් දැනුම මෙසේ බෙදා දෙන්නට ලෝබ නොවූ කෘතහස්ථ ලේඛකයෙකි වැවදෙණියේ ඇල්. ඩී.

ඔහුගේ නිර්මාණවලට පාදක වූයේ උපන් බිම වැවදෙණිය ය. එකල පවුල් හතර පහකින් පමණක් සැදුම් ලත් වැවදෙණිය නම් කුඩා ග්‍රාමයත්, ඒ ගම වටකොට ඇති රුපීවල, රත්මලාන වත්ත, පුංචිවත්ත, මොන්රෝවියා වත්ත, කපුමුල්ල, වැල්ලබඩ, බූස්ස, ඕවකන්ද, ගම්මැද්දේගොඩ, හෑගොඩ, දැල්කඩ, මලිදූව, මැදවල, කදුරුපේ, මානම්තොට, ගලබඩය වත්ත, දොඩන්දූව, පොල්ගස්දූව, මේ ආදී ගම්බිම් හා කොළඹ රටේ, ගෙන්දගම් පොළොවේ මරදාන, සන්තබස්තියම, ආදුරුප්පු වීදිය, කොටහේන, කොටුව ස්ටේසම, හා ගම්පහ නගරාශ්‍රිත ප්‍රදේශයන් ය.

ඔහුගේ බස් වහර බොහොම සරල ය. සුමග ය. මටසිලිටු ය. ඔහු ගේ වදන් ඔස්සේ අප ගෙන යන්නේ ඔහු උපන් බිමට යි. ඒ බිම් හි වැසි ජනතාවගේ හැසිරීම්, පිළිවෙත්, දුක් අඳෝනා, ඔවුන් ගේ නේකාකාර අමන කම් හා කුහක කම්, දුෂ්ට කම්, ඔහු අපට වටහා ගන්නට සිය පන්හිඳ ඉතා පහසුවෙන් මෙහෙයවීමට හුරුකමක් පුරුද්දක් පෙන්වා ඇත. ඔහුගේ කවර කෘතියක් අතට ගත්ත ද ඒ සියල්ල පැණි මුසු කොට සුන්දර පරිසර වැණීම්වලින් කුල්මත් කරවයි. හේ අප ආනන්දයෙන් ආනන්දයට පත් කර පාඨකයා කැන්ඳා ගෙන යන්නේ කුතුහලය දනවමින් හිත් හතන් ඇඳ බැඳ ගනිමිනි.

වැවදෙණියේ ඇල්. ඩී. ගේ හැම නිර්මාණයක ම පාහේ පාඨකයා හාස්‍යයෙන් යුතුව ඊළඟ පිටුවට කැන්දන් යන්නේ ඔහුගේ වැකි අතර සඟවා ඇති සියුම් උපහාසය අපට හිතා ගන්නට පොළඹවමිනි. ඒ ඒ චරිත කියවන විට අප සිත් හි අදාළ පුද්ගලයා ගේ රූපකාය ඉබේම ඇඳෙනු වළක්වාලිය නොහැකි පරිද්දෙනි. සිය බිරිය ද හාස්‍යයට ලක් කරමින් ඔහු නිමහම් කරැති හැම කෘතියක ම පාහේ දොළේ ගෙදර බාප්පා, දොළේ ගෙදර බාලම්මා, පොරෝලිස් මාමා, කත්තිරිනා, හීන් මාමා, බාල මාමා, අම්මා, අප්පු පිස්සා, බීරි බාප්පා, රතු නැන්දා (බිරිඳ නෝනා ගේ මව) ගිරිගෝරිස්, ඕවකනදේ හින්නිමහත්තයා, වැල්ලබඩ රිජිස්ටර් රාලහාමි, සුධර්මන් මහත්තයා, ජෝවිස් මුදලාලි, ජිනපාල, ඈ තවත් චරිත ගණනාවක් ඈඳා ඒ චරිත විසිතුරු කොට අද පෑවූ හිරු හෙට පායන්නේ අලුත් දවසක් උදාකරමින් සේ උක්ත චරිත කැටයම් කර කර සැරසුවා වූ නවකතා හා මාලාවකි. ඒවායින් කිහිපයක් ඔහු ලියන ලද, කෙටිකතා නිර්මාණයන් හි දිගු බව ද පැහැදිලි ව ම පාඨකයාට පෙනේ.

“හික්කඩුවේ අමරසේන හඳුනා ගත්තාක් මෙන් අල්විස් පෙරේරා ද මට හඳුනා ගන්නට ලැබුණේ මා පාසල් ශිෂ්‍යයකුව සිටි කාලයේදී ය.

ඒ කාලේ “ලංකා සමය” නමැති සතිපතා පත්‍රය පළ වූයේ ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ සංස්කාරත්වයෙනි. සතිපතා පත්‍රයක් වූ “ලංකා සමය” පාසල් සිසුන් අතර ඉතා ප්‍රිය බවට පැමිණියේ ය.

මොකක් හෝ මාතෘකාවක් උඩ ආරම්භ කෙරෙන කවි වාදයක් නිසා ‘ලංකා සමය’ තරුණ කවියන් අතර ආන්දෝලනයක් ඇති කළ බව කිව යුතුය. (පිටුව 124) අපේ වගතුග
ලංකා සමය මගින් ඇති වූ කවි ආන්දෝලනය පැවති අවදියේ ය මට අල්විස් පෙරේරා හඳුනා ගන්නට ලැබුණේ.

දිනක් මට අල්විස් පෙරේරාගෙන් ලිපියක් ලැබිණි. මෙන්න මේ කවි කීපය ද එහි තිබිණැයි මට මතකය.

පින් පළ තිබී ඉපදී කිවියර                            ප වු ළේ
නන් ලෙද වයන නිතොර ම රස කවි               ද වු ළේ
සුන් දර සැප විඳින සරසවි සහ                      හ වු ළේ
මැන් දිස් වැවදෙණියෙ හිතවත් කවි            කො වු ළේ

කවිය හා තවත් කවි තුනක් අල්විස් පෙරේරා මහතා විසින් ඒ ලිපියෙහි ලියා ඇති අයුරු අපේ වගතුග කියවන විට දැකිය හැක.

ගාල්ල දිස්ත්‍රික්කයේ, වැල්ලබඩ පත්තුවේ, රජ්ගම කපුමුලුගොඩ, වැවදෙණියේ දී ඔහු උපත ලබන්නේ තිරිමාදුර ගුණේහාමි හා ලියන ආවිස් මැන්දිස් මාපිය දෙපළට දාව ය. එදා දවස 1918 ජූලි 17 වැනිදා ය. මේ ලියුම්කරු ඔහුට වඩා හරියට ම හවුරුදු තිහක් බාල ය. පවුලේ වැඩිමලා ඇල්. ඩී. මැන්දිස් හෙවත් ලියන ඩාලින් මැන්දිස් ය. ඔහුට බාල සොවුරන් දෙදෙනෙකි. සොවුරියන් දෙදෙනෙකි. මගේ මතකය නිවැරදි නම් වැඩිමල් සොවුරා පැටිසන් මැන්දිස් ය. බාල සොවුරා බැනට් මැන්දිස් ය. ලොකු නැගණිය ආර්ලින් නෝනා හෙවත් ආර්ලින් මැන්දිස් වන අතර බාල නැගණිය විමලා මැන්දිස් ය. ඇය ගුරුවරියකි. බැනට් මැන්දිස් රැකියාවේ නියුතු වූයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ ය. හේ ඉතා දක්ෂ ඡයාරූප ශිල්පියෙකි. මේ පවුලේ තවත් සොවුරියක් උපත ලද නමුදු ඈ පුංචි සන්දියෙහි ම මියගිය බව මා අසා ඇත.

ඩාලින් මැන්දිස් බූස්ස, වැල්ලබඩ පාසලෙන් ද, රජ්ගම දේවප්‍රතිරාජ විද්‍යාලයෙන් ද, අකුරු කරමින් ම, ළමා වියේ දී ම පන්හිඳට පෙම් බැන්දෙකි.

ඔහු ලංඩන් මෙට්‍රික්‍යුලේෂන් විභාගයෙන් ඉහළින් ම සමත්වූවෙකි. සිංහල මෙන් ම ඉංග්‍රිසි ද නිපුණතාවයෙන් පොහොනා හේ මව්බසින් මෙන් ම ඉංග්‍රීසි බසින් ද දක්ෂතා රටට මෙන් ම ලොවට ද පෙන්වූවෙකි.

ඔහු එකල බොහොම සුපතලව පැවති කොළඹ යුගයේ කවියෙකි. රජ්ගම ටී. ලියනගේ, හික්කඩුවේ බී. එච්. අමරසේන, හක්මන බැන්ටිස් රණවීර, ගාල්ලේ ජෝන් රාජදාස, මීමණ ප්‍රේමතිලක, පී. බී. අල්විස් පෙරේරා වැනි කොළඹ යුගයේ කවියන් හා කවිකමෙන් ම අත්වැල් බැඳගෛන වැවදෙණියේ ඇල්. ඩී. මැන්දිස් යනුවෙන් සිය නාමයත්, ග්‍රාමයත්, මෙරටෙහි ප්‍රචලිත කරන්නට නිබඳව ම කටයුතු කළ නිර්මාණ කරුවෙකි.

මා පැටි සන්දියේ ඔහු දැනහඳුනා ගත්තේ අපේ ලොකු අම්මලා ගේ ගෙදරදි ය. ඔහුගේ බාල මාමා මගේ ලොකු අප්පා ය. ඔහු විසින් රචිත අපේ වගතුග නවකතාව මා ද ලේඛකයකු කිරීමට තරම් හේතු කාරණා වූ බව සිහිපත් කරන්නේ වැවදෙණියේ ඇල්. ඩී. මැන්දිස් නාමයට ගෞරවයක් සේ සටහන් තබමිනි. ඔහු ගේ කෘතිවලට මා පෙම් බැන්ද බව කිවමනා ය. මා සහභාගි වූ රූපවාහිනී හා ගුවන්විදුලි වැඩ සටහන් ගණනාවක දී ම මේ බව සඳහන් කළේ බෝ සතුටකිනි.

ඔහු අවසන් වරට මා දුටුවේ කොළඹ නොරිස් පාරේ පිහිටි ඇම. ඩී. ගුණසේන පොත් හලේ තෙවැනි මහලේ දී ය. ඒ 1967 වසරේ මැද බාගයේ දී ය. ගුණසේන සහ සමාගම විසින් පවත්වා ගෙන ගිය ‘සිරිසර විදුහල පිහිටියේ ඒ මහලේ ය. එය එකල පැවති තැපැල් මාර්ගික අධ්‍යාපන ආයතනයකි. එහි විදුහල්පති ඩාලින් මැන්දිස් මහතායි.

ඊට පසු මා දැක්කේ ඔහුගේ නිසසල දේහය යි. ඒ තවත් හවුරුදු දෙකක් ඉක්ම ගිය පසු 1969 නොවැම්බර් මහේ මැද දොහක ය. ඔහුගේ නිහඬ නිසසල දේහය ඔහුගේ ලේඛනගිරි නමැති නිවසේ සාලයේ තැන්පත් කර තිබිය දී ය. ඒ නිවස පිහිටියේ අංගොඩ බටලන්දහේනේ ය. මාත් කැටිව ඔහුට අවසන් බුහුමන් දැක්වීමට ගියේ රුපීවල පදිංචි එම්. එල්. මැන්දිස් අයියා යි. අප දෙදෙනා රැකියාව කළේ බාබර් වීදියේ පිහිටි එම්. ඩී. මෙන්ඩිස් සහ සමාගමේ ය. හේ එහි කළමනාකාරවරයා යි. මා එහි සේවකයෙකි.

වැවදෙණියේ ඇල්. ඩී. මැන්දිස් දෙටු සොවුරාණන් ගේ කෘතියක් අතට ගත් කිසියම් පාඨකයෙක් වේද හේ එය යළි මේසය මත තබන්නේ මුළුමණින් ම කියවා හමාර කළ පසු බව සඳහන් කරන්නේ මා ඔහුගේ කෘති බොහෝ ගණනාවක් කියවා ලද අත්දැකීමෙනි. ඔහු නිර්මාණකරණයේ දී ඊට උපයෝගී කර ගන්නා ගැමිබස් වහර කෙතරම් පරිපූර්ණ ද යන්න කෙසේ විස්තර කරම් ද? ඔහුගේ වාග්කෝෂය එතරම්ම වහරින් පොහොසත් ය.

බලන්න මේ වැකි කිහිපය

“එදා බාලම්මා සෙක්කුපළට යෑම සඳහා ගල් ළිඳ පසු කළාය. වතුර නෑමට පැමිණ සිටිකෙල්ලන් උන්ගේ රෙදි උනා දමා තිබුණේ ළිඳ අයිනේවැටී තිබුණු අඩි පාර් ම ය. ඇතැමකු රෙදි වනා තිබුණේ පාර අයිනේ වූ කැප්පෙටියා පඳුර මතය.

පාරේ තිබුණු රෙදි නොපෑගෙන පරිදි බාලම්මා අයිනට වී ළිඳ ළඟ අනෙක් ගලකට අඩිය තැබුවා ය. ඒ ගල පෙඳ සෙවෙල් සහිත එකකි. පාදය ගල මත ලිස්සා යත් ම, මිනීමස් පර්තයක් වැනි සිරුර මෙල්ල කර ගැනීමට උන්දැට නුපුළුවන් විය. පළමු කොට බිම ඇනුණේ රබානක් මෙන් පුළුප් වූ උන්දැගේ සට්ටම් දෙකයි.

කෙල්ලන්ට හිකිහිකි ගා සිනා ගියේ බාලම්මාගේ කටින් පිට වුණු කෙඳිරිය නිසා නො වේ. උන්දැගෙන් පිට වූ වාතයටය. ඒ වාතය පිට වුණේ තරමක ශබ්දයක් නංවමිනි. (දොළේ ගෙදර - පිටුව 228)
වැවදෙණියේ නිර්මාණකරුගේ නවකතාවේ වේවා කෙටිකතාවේ වේවා නව නළු රස නමයෙන් ම පිරී ගිය කෘති බව කියවන්නාට මැනවින් ප්‍රත්‍යක්ෂ වේ. හැබැයි ඔහුගේ කතාවල අනුරාගී නිර්මාණ නැත්තේ ය. ඒත් ඔහු ගේ කවිය වේවා කෙටිකතාව වේවා නව කතාව වේවා එක හුස්මට කියවා අවසන් කිරීම හැර පාඨකයාට කිරීමට අන් කිසිවක් නැත.

මියැදෙන තුරුම කවියෙන්, කෙටිකතාවෙන් මෙන් ම නවකතාවෙන් ද ලාංකේය සාහිත කෙත අස්වද්දිමින් සිය පාඨකයින් ගේ නැණ නුවන ඇබින්දකින් හරි එසවෙන බව බෝ පැහැදිලි ය. ඒ තරමට ම ඒවා සාහිත්‍ය රසාස්වාදයෙන් පිරී තිබේ.

රාජ්‍ය සේවකයකු, ගුරුවරයකු, පුවත්පත් කලාවේදියකු මෙන් ම අති සාර්ථක සාහිත්‍ය නිර්මාණ කරුවකු වූ වැවදෙණියේ ඇල්. ඩී. මැන්දිස් වියතාණන් මේසා මාහැඟි මෙහෙයක් ලාංකේය ජන සමාජයට කරන ලද්දේ පනස් එක් හවුරුදු කලක් දිවි පෙවත ගත කරමිනි. ඔහු සිය දිවි සැරියත්, ලිවි සැරියත් හමාර කර අදට හවුරුදු පනස් හතකි. ඔහු ගේ නාමයට උපහාර දක්වමින් රජ්ගම ප්‍රාදේශී්‍ය ලේකම් කාර්යාලයේ සංස්කෘතික මණ්ඩලයේ මෙහෙයවීමෙන් සමරු උළෙලක් පැවැත්වීම ඉතා ප්‍රශංසනීය උතුම් සත් ක්‍රියාවෙකි. මෙහිලා මැන්දිස් සිරිමතාණන් ගේ පවුලේ ඇත්තන් විසින් ලිපියක් ලියන්නැ යි මට ද ඇරයුම් කොට සමරු කලඹක් නිකුත් කරමින් ඔහු ගේ නාමය සම්භාවනාවට පාත්‍ර කිරීම වෙසෙසින් ම ඇගැයිය යුතුම් සත් පුරුෂ ක්‍රියාවකි. ඊට දායක වූ හැම දෙනා කෘතගුණවේදී මිනිසුන් බව ගෞරවයෙන් සටහන් තබමි. රජ්ගම ප්‍රාදේශීය ලේකම්වරයාණන්ට, සංස්කෘත නිලධාරියන් දෙදෙනාට, එහි කාර්ය මණ්ඩලයට හා සංස්කෘති මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සැමට මේ පුණ්‍යකර්මය ඉදිරි කටයුකුවලට ශක්තියක් වේවා යනු අපගේ පැතුම යි.

                                                                                                          - සුගතපාල මැන්දිස් -

පුවත්පත් කලාවේදී
‘පන්හිඳ‘
ශ්‍රීමත් අර්නස්ට ද සිල්වා මාවත,
ඕවකන්ද,
රජ්ගම.
2026. 09. 05