සඳුනි ලංකාදරී මෙන්ඩිස්
සඳුනි ලංකාදරී මෙන්ඩිස්. මොරටුව විශ්වවිද්යාලයේ පහසුකම් කළමනාකරණය පිළිබඳ පළමු වැනි පන්තියේ සමාර්ථයක් ලද තරුණියකි. අනතුරුව College of quantity surveying සහ SLIIT ආයතනයේ බාහිර කථිකාචාර්ය වරියක වශයෙන් සේවය කළා ය.
දැන් සඳුනි ව්යවසායිකාවකි. 2023 වර්ශයේ 'Best upcoming wedding planner' සම්මානය දිනා ගන්නා ලද්දේ ඇය යි. ගාල්ල සවුත්ලන්ඩ්ස් විදයාලයෙන් අකුරු කළ ඇය දැන් ස්වකීය වෘත්තීය කටයුතු අස්සේ සිය පන්හිඳ තියුණු කරමින්, ළමයින් උදෙසා ළමා පොත් නිමහම් කරන්නට කැපව සිටින්නී ය. ළමා ෙපාත් ලිවීම බෝ අසීරු කාර්යයකි. එ නිසා ම බොහෝ ලේඛක ලේඛිකාවෝ ඒ කාර්යට අත නොතබති.
හැබැයි ඇය දරුවන් වෙනුවෙන් පොත් ලියන්නේ අපේ මව්බසින් නොවේ. සුද්දා ගේ ඉංග්රීසියෙනි. මේ අටුවා ව මෙසේ ලියන්නේ සඳුනි තව තවත් බලගැන්වීමේ උදාර
අරමුණිනි.
'It all starts with a dream' –
'ඒ සියල්ල ආරම්භ වන්නේ සිහිනයකිනි'
මේ ඇය විසින් දරුවන් ගේ නැණ නුවන වඩන්නට ලියන ලද ප්රථම ළමා ග්රන්ථය යි. දෙවනුව ඈ අකුරු කළේ, 'Jordan's Happiest Christmas' ('ජෝර්දාන්ගේ සතුටුම නත්තල') කෘතිය යි.
මේ පොත් දෙකෙන් ඒ සියල්ල ආරම්භ වන්නේ සිහිනයකිනි යන ඇගේ පළමු ළමා පොත ඉතා ටික දවසකින් ම පොත් සාප්පුවලින් දෙමාපියන් අතපත් වී හමාර ය.
සඳුනි මේ කෘති දෙක ම නිමහම් කර ඇත්තේ ජාත්යන්තරයේ ඉහළම ග්රන්ථ මුද්රණය කරන්නන් හා කරට කර සිටිමින් බව මොනවට පැහැදිලි වේ. පිටු 24 කින් හෙබි මේ හුරු බුහුටි අඟල් 8/8 ප්රමාණයේ ළමා පොත් ඇමරිකාව ප්රමුඛ පොත් කර්මාන්තයේ යෙදෙන ආයතන හඳුන්වන්නේ ළමා චිත්ර පොත් නමිනි. ඇගේ මේ නිර්මාණ ද්වය ම කතුවර ප්රකාශනයන් ය.
ඇගේ දක්ෂතාවය නිපුණතාවය හා සමාන හෝ වැඩි ලේඛන කුසලතාවයෙන් යුත් තරුණ තරුණියන්ට සඳුනි සපයන්නේ හොඳ එන්නතකි.
එනමුදු ඇය මෙන් ම, සම්මානනීය, බහුශ්රැත ලේඛකයින්, ශාස්ත්ර විශාරදයින් මෙන් ම පොත් ප්රකාශක සමාගම්ද මුහුණ දෙන බරපතල ම ගැටලුව මුද්රණ වියහියදම් නිසා පාඨක ප්රජාවට පොතක් පතක් මිල දී ගැනිමට තියෙන අපහසුවයි.
ඉදින් මෙවන් තත්වයක් පවතිද්දී වුව සඳුනි වැනි තරුණ ලේඛිකාවන්, ලේඛකයින් ලේඛන ක්සේත්රයට නැඹුරුවීම ද එක අතකින් ජාතියේ වාසනාවකි.
සඳුනි යනු අදින් හවුරුදු පනස් හතකට පෙර දිවංගත කීර්තිමත් කොළඹ යුගයේ කවියකු, නවකතා, කෙටිකතා, ශාස්ත්රීය විචාර ග්රන්ථ පනහක් ජාතියට දායාද කළ සුප්රකට ගත්කරු වැවදෙණියේ ඇල්. ඩී. මැන්දිස් සූරීන් ගේ මිනිබිරියකි. ඈ හෙළදිව හා අදහස් දක්වමින් සඳහන් කළේ ඇගේ මුත්තණුවන් ගේ අතින් ගිලිහුණු පන්හිඳ අතැතිව ලේඛිකාවක සේ දෙස් විදෙස් ළමා පරපුර වෙනුවෙන් අකුරු කරන වගයි.
මේ සඳුනි, අප හා ඇය ගැන ස්වයං හැඳින්වීම යි.
මා උපන්නේ ගාල්ලේ, මහමෝදර රෝහලේදී ය. මාගේ පියා ගාල්ලේ, බූස්සේ වන අතර, මාගේ අම්මාගේ ගම කෑගල්ලේ ය. මම උපන් දා සිටම හැදුණේ, වැඩුණේ ගාල්ලේ ය. මා 1998 සිට 2011 දක්වා ගාල්ල, සවුත්ලන්ඩ්ස් බාලිකාවේ ඉගෙන ගත්තෙමි.
මාගේ ළමා කාලයේ විනෝදාංශය වූයේ මුහුදේ පිහිණීමයි. වත්මනේදී නම් කුඩා ළමයින් සඳහා පොත් ලිවීමයි.
පාසල් අධ්යාපනයෙන් පසුව මා මොරටුව විශ්ව විද්යාලයට ඇතුළත්ව 'පහසුකම් කළමණාකරණය' උපාධිය, 1 වැනි පන්තියේ සාමාර්ථයක් ලබා ගතිමි.
ඉන් පසුව College of quantity surveying සහ SLIIT ආයතනයේ බාහිර කථිකාචාර්ය වරියක වශයෙන් සේවය කළෙමි.
එසේම මා පටන් ගත් තනි ව්යාපාරයට 2023 වර්ෂයේ 'Best upcoming wedding planner' සම්මාන ලැබුණි.
2021 වසරේ මා විසින් 'It all starts with a dream' යනුවෙන් ' -'ළමයෙකුගේ සිහිනයක් සැබෑ කර ගන්නේ කෙසේද?' සහ 2023 වර්ශයේ 'Jordan's Happiest Christmas' - 'නත්තලේ සැබෑ අරුත කුමක්ද?' යන අදහස් ප්රකාශනය වන අයුරින් ඉංග්රීසි භාෂාවෙන් පොත් දෙකක් ලියා පළ කළෙමි. පළවන කෘතියේ පිටපත් මේ වන විට අවසාන වී ඇති අතර දෙවන කෘතියේ පිටපත් බොහෝ දුරට මේ නත්තලේ අවසාන වනු ඇත.
මාගේ අනාගත බලාපොරොත්තුව, මාගේ වැඩිදුර අධ්යාපන කටයුතු සිදුකරන අතරතුර කුඩා දරුවන් වෙනුවෙන් ඉංග්රීසි භාෂාවෙන් හොඳ පොත් පෙළක් පළ කිරීමයි. ඒ සඳහා ප්රකාශකයෙකු සොයාගෙන එම කටයුත්ත කිරීමට අදහස් කරමි.
මාගේ සීයා 1960 දශකයේ සුප්රසිදධ ලේඛකයෙකු වූ වැවදෙණියේ ඇල්. ඩී. මැන්දිස් මහතා ය. එතුමන්ගේ අඩි පාරේ ගමන් කරමින් මතු පරපුරේ දරුවනට හොඳ පොත් තිළිණ කිරීම මාගේ පරමාර්ථයයි.

